Monday, March 13, 2017

රංජා ඔන් දිවුලපිටිය කරළියේ.

ඔබතුමාගේ ප්‍රකාශයක් හින්දා මුලු රාජ්‍ය පරිපාලන සේවයම කැළඹිලා. ඇමතිතුමා මොකද්ද මේ කරගත්තේ?
මම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තේ ජනතා සටන්වලට නායකත්වය දීලයි. ලිංවල වතුර නෑ, කුඹුරුවල වතුර නෑ කියලා මුලින්ම මේ ප්‍රශ්නෙ ගැන මට කීවේ ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒකට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න මටත් එන්න කිව්වා. ඉතිං දිවුලපිටියේ අකරගමේ තිබ්බ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නත් මම බැඳිලා ඉන්නවා ඒ මගේ ප්‍රදේශය හින්දා. පා.ම ඉන්දික අනුරුද්ධ, වසන්ත දංගල්ල, ඉන්දික අනුරුද්ධගේ සහෝදරයා සහ තාත්තා යන හතර දෙනෙක් එකතු වෙලා තමයි අකරගම පස් ජාවාරම කරන්නේ. මේක මහා විශාල පස් හොරකමක්. කියුබ් 61000ක් පස් කපලා තියෙනවා. ඒවා මුතුරාජවලට දානවා. ඒ ගැන බලන්න සති කිහිපයකට කලින් මුතුරාජවල ගියාම පස් හොරු ටික මට බාධා කළා. ලක්ෂ 62ක ජනතාවක් අපිට ඡන්දෙ දුන්නේ ඒ දේවල්වලට මැදිහත්වෙලා ඒවා වළක්වන්නයි.
ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා නිළ වශයෙන් විසඳගන්න ක්‍රම තියෙනවා. ඔබ හිතන්නෙ කාටහරි දෝෂාරෝපණය කරලා බැණවැදිලා ප්‍රශ්න සමථයට පත් කරන්න පුලුවන් කියලද?
එහෙම කළේ නැත්තම් අද සමාජ කතිවකාවක් ගොඩනැගෙන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නෙන් ආණ්ඩුවටවත් බේරන්නෙ බෑ. හංගලා තිබ්බ ජනතා ප්‍රශ්න මම නිරාවරණය කරලා සමාජගත කළා. පාරේ රස්තියාදු ගගා ඉඳලා පස්කපලා කෝටිපති පත්වෙච්ච පස්හොරු ටික ආගමික නායකයන්, දේශපාලඥයන්, අනෙකුත් ප්‍රභූවරුන්ට වරදාන වරප්‍රසාද දීලා නිහඬ කරලා තියෙනවා. ජාවාරමෙන් හම්බ කරගත්ත සල්ලි පොලියට දෙනවා.
ඔබ චෝදනා කළා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පස් කපනවා කියලා. ඔහු කියනවා ඔබට එරෙහිව නඩු දානවා කියලා. එතකොට මෙතන කවුද ඇත්ත කියන්නේ කියලා ජනතාවට ප්‍රශ්නයක්.
කවුද ඇත්ත කියන්නෙ කියන එක තීරණය වෙන්නෙ පැටිකිරියත් එක්ක. හැම කෙනෙක්ටම චරිත සහතිකයක් තියෙනවා. ගොබෙල්ස් කිව්වම කවුරුත් දන්නවා බොරු කියන්නෙක් කියලා. ඒබ්‍රහම් ලින්කන්ට තියෙනවා තවත් වෙනමම චරිත සහතිකයක්. එතකොට ඉන්දික කියන්නේ, දූෂිත, පොලියට මුදල් දෙන, පොලිසියේ පැමිණිලි තියෙන හොරකම් කරලා අහුඋණ චරිතයක්, මම මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන යන හැම දිස්ත්‍රික්කෙම ජනතාව අංක කරන ඥාති සංග්‍රහ නැති චරිතයක්. මේ චරිත දෙකෙන් පොදු ජනතාව තීරණය කරයි කවුද ඇත්ත කියන්නෙ කියලා. කැමැති කෙනෙක්ව ජනතාවට විශ්වාස කරන්න පුලුවන්. ඒ වුණත් මට මේ හැම දෙයක්ම ඕනෑම තැනක ලියකිවිලි, වාර්තා එක්ක ඔප්පු කරන්න පුලුවන්.
ඒ වුණාට ඉන්දික මන්ත්‍රීවරයා කියනවා ඔබේ හිතවත්තුත් මේ පැත්තේ පස් කපනවා කියලා. තාම ඒකට උත්තර දුන්නේ නෑ නේද?
මම පැහැදිලිව කියලා තියෙනවා පස් හොරු අතර එක්සත් ජාතික පක්ෂයේ වසන්ත දංගල්ලත් ඉන්නවා කියලා. වසන්ත දංගල්ල මගේ හිතවතෙක්. ඔහුත් එතැන පස්කපනවා. දැන් ඔහු මං එක්ක තරහයි. මම පක්ෂය එක්ක නෙවෙයි ඉන්නේ මහජනයා එක්. ඒ හින්දා මම කවදාවත් පාක්ෂිකයාව රකින්නේ නෑ වැරදි කරද්දි.
ඔබ රාජ්‍ය නිළධාරීන් එක්ක මේ විදිහට ප්‍රශ්න දාගන්නේ මාධ්‍ය සංදර්ශන තියලා ප්‍රසිද්ධිය ලබාගෙන ඡන්දේ වැඩි කරගන්න කියලයි විපක්ෂයේ අය චෝදනා කරන්නේ.
මම කරන වැඩ කරන්න සුදුසුකම් නැති හන්දයි කතා හදනේනේ. ඒ අයට වැලි ගොඩ දාන තැන්වලට යන්න බෑ ඒ අයත් සල්ලි අරගෙන තියෙනවා. ඒ අයත් වැලි ගොඩ දානවා පස් කපනවා. තාත්තයි පුතයි බූරවා අරං ගමනක් ගිය කතාව වගේ තමයි මේ චොදනා. ආසනේට ගිය නැතුවම කියනවා ආසනේ පැත්තට එන්නෙ නෑ කියනවා. පස් කපනවා... බොරලු කපනවා... වතුර නෑ... කෝ ඇමතියා කියලා ප්‍රශ්න කරනවා. උද්ඝෝෂණයට සම්බන්ධ වුණාම අන්න මූණ පෙන්නන්න ආවා කියලා. මූණ පෙන්නුවාම කියනවා ආපු එකා කීයක්වත් දුන් නෑ කියලා. මේක තමයි ලංකාවේ සම්ප්‍රදාය. එක එක කතා කියනවා. ඒත් අවසාන ප්‍රතිපලේදි මම දිනනවා.
මේ ප්‍රශ්නෙදි පාදේශීය ලේකම් පැහැදිලිව කීවා ප්‍රශ්නයක් තියෙනවා නම් ලිකිතව දන්වන්න කියලා. එහෙම තියෙද්දි ඔබ හෙන ගහන්පං කියලත් බැන්නා. පාදේශීය ලේකම් එක්ක පරණ කෝන්දතරයක්වත් තිබ්බද?
ප්‍රෙද්ශීය ලේකම් කාන්තාවක්. මම තරම් කාන්තාවන්ට ගරුකරන වෙන කවුරුත් පාර්ලිමේන්තුවේ නෑ. කාන්තාවන් වෙනුවෙන් මම සටන් කරපු බවත් ජනතාව දන්නවා. නමුත් මහජන දේපලා හොරකම් කරන අයට මගෙන් සමාවක් නෑ. ඒ අයට ගෞරවයකුත් නෑ.
ප්‍රාදේශීය ලේකම් කියනවා පස්කැපීමේ කටයුතු එයාගේ විෂයට අදලා නැහැ කියලා. අදාල වෙන්නේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයට කියලා. එහෙම නම් ඇයි ඔබ ප්‍රාදේශීය ලේකම්තුමිය සමඟ පැටලෙන්න ගියේ?
පතල් හා භූවිද්‍ය කාර්යංශයේ සභාපතිවරයා මහතා පැහැදිලිව කීවා සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ටම පස් කියුබ් 100 වෙනකම් අවසර දීලා තියෙනවා කියලා. චක්‍රලේකයෙන්ම තියෙද්දි ඇයට කියන්න බෑ මේ විෂය මට අයිති නෑ කියලා. ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිළධාරි යන දෙදෙනා තමයි පතල් හා භූවිද්‍ය කාර්යංශයට නිර්දේශ කරන්නත් ඕනේ. එතැන සිද්ධ වෙච්ච ජාවාරම ගැන අවස්ථා ගණනාවක්ම පැමිණිලි කරලත් මේ විෂය මට නෙවෙයි අයිත කිය කිය බෝලේ පාස් කරමින් කියුබ් 500 සිට 61000 වෙනකම්ම නෑසූකන්ව හිටියේ කූට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්න නිසා. ඒවගේම තමයි එක් රාජ්‍ය සේවකයෙක් එකතැන ඉන්න පුලුවන් අවුරුදු 4යි. ඒත් ඇය එතැන අවුරුදු හතක් ඉන්නවා. ඇගේ දේපල ගැනත් අප දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරලා තියෙනවා ඒවා ගැනත් හොයලා බලන්න.
චෝදනවාක් තියෙනවා දිවුලපිටියෙන් කපන පස් මුතුරාජවලට ගෙනෙල්ලා ගොඩ කරන්නේ ඇමැතිවරයෙක්ගේ වුවමණාවකට කියලා.
ඔව් එහෙම චෝදනාවක් තියෙනවා. ඔවුන්ගේ මේ මාෆියා ජාලයේ එ.ජා.ප ඇමැතිවරු, කැබිනට් ඇමැතිවරු, දිස්ත්‍රික්ක නායකයෝ, ආගමික නායකයෝ යන අයත් සම්බන්ධයි. ඒ ගැනත් දැන් විමර්ශන පටන්ගෙන තියෙනවා. පස් මාෆියාව ඉතාම බයානක මාෆියාවක්. පුද්ගලයන් 48ක් මරලා තියෙනවා. දැනට පස්, වැලි, කලුගල් මාෆියා, ඉඩම් ගොඩකිරීම්, ගස්කැපීම් පාතාලයක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. මේකේ ගොඩ් ෆාදර් ප්‍රසන්න රණතුංග සහ ඉන්දික අනුරුද්ධ. ඒකයි මේ සිද්ධිය වෙච්ච ගමන්ම ප්‍රසන්න රණතුංග මාධ්‍ය ඇවිත් මට විරුද්ධව කතා කළා.
පහුගියදා පරිපාලන නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන කතා කළා. එතැනදි ජනාධිපතිතුමා සිය කණගාටුව පිකාශ කළා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ වැරදී කියන එක නේද?
එතුමාම තමයි පස්කැපීම්, ඉඩම් ගොඩකිරීම් වගේ පරිසර විනාශයන් තහනම් කළේ. මුතුරාජවෙලට පස් පුරවන්න එපා කියලා උසාවි නියෝගය ගත්තෙත් එතුමාම තමයි. එතුමා කණාගාටු වෙන්න ඕනේ නෑ. කණගාටු වෙන්නෝනි කූට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගත්ත නිළධාරීන්.
රාජ්‍ය පරිපාලන ඇමැතිතුමා ඇතුලු ඇමැතිවරු ගණනාවක් කීවා ඇමැතිතුමා මෙහෙම කතා නොකළා නම් හොඳයි කියලා. ඒත් ඔබ කියනවා කාගෙන්වත් සමාව ගන්න සූදානම් නැහැ කියාලා.
මම වෙනුවෙන් කිසි කෙනෙක් කණගාටුවට පත්වෙන්න ඕනෙ නැහැ. මම ජනතාව එක්ක ඉන්නේ. මම ජනතාව වෙනුවෙන් තමයි කතා කරන්නේ. මම සාධාරණව දේශපාලනය කරන කෙනෙක්. ඒ හින්දා මං වෙනුවෙන් කවුරුත් ප්‍රකාශ කරන්න ඕනෙ නෑ.
ඔබතුමා මොනවා කීවත් මේ කලබගෑනියෙන් ඔබතුමාට හානියක් වුණා නේද?
මේ හෙළිදරව් කිරීම මට හානියක් නෙවෙයි. මේ ටිකේ තමයි මට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ පිරිසකගේ ආදරය හිමි වුණා. හැම කෙනෙක්ම කියන්නේ දූෂිත රාජ්‍ය සේවකයන්ගෙන්ට විරුද්ධව කතා කරන්න. නමුත් දනගාලා වදින්න පුලුවන්රාජ්‍ය සේවකයෝ ඉන් බවත් කියන්න කැමති.




ඇමතිවරයා පාවිච්චි කරපු වචන වැරදි වෙන්න පුලුවන්. ඒත පෙන්නා දුන්න කාරණය හැබෑවක් නේද?
කාරණය සම්බන්ධව අපි කිසි දෙයක් කියන්නේ නැහැ. ඒ ගැන හොයලා බලන්න ඇමැතිතුමාට තියෙන අයිතිය, මිනිස්සු සමඟ එම ස්ථානයට ගිය එක ගැනවත් අපි කිසිම දෙයක් කියන්නේ නෑ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය කිසිම සාක්ෂියක් නැතිව නිළධාරීනිය හොරෙක් කීම සහ හෙන ගහපං කියලා භාවිත කළ වචනය. සිද්ධියේ වරදක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම්ට වුණත් දඬුවම් කිරීම සම්බන්ධව අපේ විරෝධයක් නෑ.
මොනව වුණත් මේ විදිහට උද්ඝෝෂණ කරන්න පහුගිය ආණ්ඩුවේ ඉඩ තිබ්බේ නෑ. මේ ආණ්ඩුවේ තියෙන මේ නිදහස හරියට පාවිච්චි කරනවද?
ආණ්ඩුවට එරෙහිවෙන්න අපිට කිසිම වුවමණාවක් නෑ. ජනාධිපතිතුමා අපට සවන් දෙනවා. අගමැතිතුමා, ස්වදේශ කටයුතු ඇමැති ඇතුලු පිරිස අපි එක්ක සුහදව සාකච්ඡා කළා. සියලු දෙනා මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළා. ඒ හින්දා ආණ්ඩුව එක්ක අපිට කිසිම අර්බුධයක් නෑ. එකම ප්‍රශ්නය ඒ නිළධාරිනිය තනිකරලා කරපු ප්‍රහාරය. ප්‍රසිද්ධියේ රටටම ඇහෙන්න පල්හොරා කියද්දි ඒ නිළධාරිනියගේ ගෞරවයට හානියක්. ඒ නිළධාරිනිය හොරකම් කරන කෙනෙක් නෙවෙයි කියලා මම පෞද්ගලිකව දන්නවා.
ජනතාවට පේන්නේ ඇමතිතුමාත් පරිපාලන නිළධාරීන්ගේ සංගමයත් කැත්තට පොල්ල වගේ ඉඳලා ප්‍රශ්න විසඳගන්න ලේසි නෑ කියලා. අන්තිමට මේක නිකම්ම මාධ්‍ය සංදර්ශනයකින් ඉවර වෙන්නත් පුලුවන්.
ඒ නිසාම තමයි මේ සම්බන්ධව අපි නිහඬ වෙන්න තීරණය කළේ. ඇමතිතුමා විවිධ ප්‍රකාශ කළත් අපි ඒ හැම එකකටම උත්තර දෙන්න යන්නෙ නැහැ.


යමු නිල් ආර්තිකයකට

අපේ ධීවර කර්මාන්තය ප්‍රශ්න දැලක පැටලී ඇත. වෙනත් රටවල ධීවර යාත්‍රා අපේ මුහුඳු සීමාවට ඇතුලු වීම, ධීවරයන්ගේ ආරක්ෂාව, මත්ස්‍ය අපනයනය ආදිය කාලයක් තිස්සේ පවතින ගැටලු වේ. අලුත්ම ගැටලුව අපේ මුහුඳු සම්පත් විනාශ වී යාමයි. ඒ අතරත් ඇතැම් මතස්‍ය වර්ග ක්‍රමයෙන් ක්ෂය වී යාම බරපතලම ගැටලුව බවට පත්ව තිබේ. අපේ මුහුඳු සීමාවේ බහුලව සිටි ටූනා වර්ගයේ මත්‍යසයන් මෙලෙස විනාශ වී යාමේ තර්ජනයට මුහුණු පා තිබේ.
මාලු අපනයයේදී කෙලවල්ල හා සප්පරු ද කොරල්පර මාලු හැටියට ගරුප, ගල් කොස්සා, ලවයා ද ප්‍රධාන තැනක් ගනියි. වැඩියෙන්ම අපනයනය වන්නේ කෙලවල්ලා මත්සයා ය. කෙලවල්ලා මැරීමට අපේ මුහුඳේ මරුවල් පන්න ධීවර කර්මාන්තයේ නිරතව ඇති බහුදින යාත්‍රා ගණන දහසකට ආසන්නයි. මෙම සෑම යාත්‍රාවක්ම මසකට එක්වරක් මුහුඳු යන අතර වරකදී එක් යාත්‍රාවක් කෙලවල්ලා මසුන් කිලෝ 1500ක් පමණ නෙළාගනු ලැබේ. වාර්ෂිකව මෙරට බහුදින යාත්‍රා මගින් නෙළා ගන්නා ලද කෙලවල්ලා මත්ස්‍ය අස්වැන්න කිලෝ දාහත් ලක්ෂයකට ආසන්නය. එම අස්වැන්නේ දේශීය පරිභෝජනය 20%ටත් ඉතිරි 80% අපනයනයටත් යොදා ගනු ලැබේ. එයින් වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ යුරෝපීය රටවලටය. ඒ තුළින් මෙරටට ගලා එන විදේශීය ආදායම වාර්ෂිකව ඩොලර් මිලියන 22කට වැඩියි. මේ ආදායම් තත්වය දැනට වසරකට ඉහතදී අප ලද ආදායමයි. ඒත් අද වෙද්දී දේශීය වෙළඳපොළට ප්‍රමාණවත් කෙලවල්ලන් සපයා ගැනීමත් අපහසුය. ඒ තරමටම කෙලවල්ලන් විනාශ වී ඇත. තහනම් ආම්පන්න භාවිතය, චීනෙට අයත් මහා පරිමාණ යාත්‍රා මෙරට මුහුඳු තීරයේ මසුන් මැරීමට අවසර දීම, ප්‍රජනන කාලය තුළදීත් මසුන් මැරීම, මත්සයාගේ ප්‍රමාණය නොසලකා ඇල්ලීම මෙලෙස කෙලවල්ලා විනාශවීමට හේතු වී ඇත. එම නිසා කෙලවල්ලා ඇතුලු වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින මසුන් මැරීම තහනම් කිරීම හෝ, ඔවුන්ගේ ප්‍රජනන කාලවලදී මැරීම තහනම් කිරීම සුදුසුය. එය ධීවරයාට අපහසුවක් වුවද ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමට ගන්න වැදගත් තීන්දුවකි.
කෙලවල්ලාට අමතරව ගිරව් මත්ස්‍ය වර්ගයත් විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇත. නොගැඹුරු වෙරළ තීරයේ ජීවත්වෙන ගිරව් මත්සයා කොරල් පර, ගල්පර හා මුහුදු පැලෑටි අතර වෙසෙන අඩි 3-6 දක්වා විශාලව වැඩෙන අලංකාර මත්ස්‍යයෙකි. සංචාරකයින් මෙම මසුන් නැරඹීම සදහා බහුලව අප රටට පැමිණෙන අතර, එම නිසා සංචාරක කර්මාන්තයට විශාල ආකර්ශණයක් මෙම මසුන්ගෙන් ලැබී තිබේ. ඇතැම් කිමිදුම් කටයුතුවල නිරතවන ධීවරයින් විසින් ගිරව් මත්සයා අල්ලා ගනු ලැබේ. ගිරව් මෙරට පරිභෝජනය නොකළත් අපනයනය කරනු ලැබේ. මෙසේ ගිරව් මසුන් මරා අපනයනය කිරීම සංචාරක කර්මාන්තයට සිදුවන බරපතල විනාශයකි. එබැවින් කොන්දේසි කිහිපයක් යටතේ මාසයක කාලයක් පමණක් ගිරව් මසුන් ඇල්ලීම සදහා අවසර ලබා දෙන බව ධීවර කටයුතු අමාත්‍ය මහින්ද අමරවී මහතා පවසයි. ධීවරයින් එම කොන්දේසි අනුව කටයුතු නොකරන්නේ නම් ගිරව් මසුන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගන්නා බව ද, අමාත්‍යවරයා දැනුම්  දුන්නේය.
ගිරව් මත්සයා සම්බන්ධයෙන් තවමත් තහනමක් පනවා නැතත් මීවැටි නැමැති ගල්මාලු විශේෂය ඇල්ලීම දැනටමත් තහනම් කර තිබේ. එම මත්සයා මැරීමේදී ගල්පර්වත වලට හානි සිදුවේ. එම මත්සය වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටීමත් තහනම් කිරීමට හේතු වී ඇත. තවත් මත්ස්‍ය වර්ග ගණනාවක් ප්‍රජනන සමයේ මැරීම තහනම් කර තිබේ. එමෙන්ම මසුන් මැරීමේදි භාවිත කරන තහනම් පන්න ක්‍රමද තහනම් කිරීම ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙලෙස අප රටේ ධීවර කර්මාන්තය විනාශ වෙමින් පවතින් ජාතික ධීවර ප්‍රතිපත්තියක් නැතිකම සහ ධීවරයන් නිසි අවබෝධයක් නොමැතිකම නිසාය. එය ධීවරයාගේ ජීවිතය අනතුරක් සේම ධීවර කර්මාන්තයට බලපෑ හැකිය. එබැවින් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් පවති. ධීවර කර්මාන්තය විධිමත් සැලසුමකට අනුව ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන යාන්ත්‍රණය විසින් ශඛ්‍යතා අධ්‍යනයන් හා ධීවරයන්ගේ අදහස් නොසලකා ගත්  තීරණ හේතුවෙන් ධීවර කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍යවර දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දෙයි. ධීවර කර්මාන්තය නැවත නගා සිටුවීම තිබෙන හොඳම විසඳුම නම් නිල් ආර්ථිකය බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාව සාගර සම්පත නිසි අයුරින් කළමනාකරණය කරන ධීවර කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලබන රටකි. නිල් ආර්ථිකය නමින් අලුත් සැලසුමක් දියත් කර ධීවර කර්මාන්තය මුහුණ පාන ගැටලු විසඳීමට ඒරටට හැකිව තිබේ. නිල් ආර්තිකය සංකල්පය අපට ආගන්තුක සංකල්පයකි. ගොඩ බිම මෙන් තුන් ගුණයක් විශාල මුහුඳු සීමාවක් තිබෙන ශ්‍රී ලංකාව නිල් ආර්තික සංකල්පය ක්‍රියාවට නැංවීම ධීවරයාට මෙන්ම රටට ද වාසිදායක වන බව ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දෙයි.
 නිල් ආර්ථිකවැඩපිළිවෙල තුළින්, බහු කාර්ය ධීවර වරාය ක්‍රමයක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන‍ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. පරිසර හිතකාමී ලෙස සාගර සම්පතෙන් උපරිම ආර්ථික උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙම සංකල්පය තුළින් ඉන්ධන හා ගෑස්, පුනර්ජනනීය බලශක්ති, වැලි බොරලු, සාගරීය ඛණිජ, කාබන් ඩයක්සයිඩ් ගබඩාව, අපද්‍රව්‍ය බැහැර කිරීම ආදිය ද මෙම අන්තර්ගත අනු ව්‍යාපෘතින් වේ.
නිල් ආර්තික සංකල්පය තුළ නුසුදුසු හානිකර පන්න ක්‍රම තහනම් කෙරෙන අතර විකල්පයක් වශයෙන් ධීවරයන්ට නවීන තාක්ෂණයෙන් ලබා දීමටත් පවතින තාක්ෂණය දියුණු කිරීමටත් සැලසුම් කර තිබේ. එහිදී යාත්‍ර නිරීක්ෂණයට අවශ්‍ය දැඩි  නීති රාමුවක්ද සැකසිය යුතුය. එය ධීවර යාත්‍රවල ආරක්ෂාවට ද වැදගත් කාරණාවකි. මෙම නීති ලිහිල් කිරීම, ධීවරයන් අපේ මුහුඳු සීමාවෙන් පිටට ගිය පසු අත්අඩංගුවට පත් වීම් එසේත් නැතිනම් අතුරු දහන් වීම් හෝ අනතුරු සිදුවීම් බහුලව සිදු විය හැකිය. ඒවා වළක්වා ගැනීම සඳහා යෝග්‍යම උපාංග්‍ය ලෙස ලොව පුරා භාවිත වන EPIRB තාක්ෂණය මෙරට ධීවර යාත්‍රවලට හඳුන්වා දීම සුදුසුය.
බහුදින යාත්‍රා ඇතුළු ගැඹුරු මුහුඳේ ධීවර කටයුතුවල නියෙලෙන ධීවර කාර්මිකයෝ විශාල ප්‍රමාණයක් මෑත භාගයේ දැඩි අනාරක්ෂිත තත්තවයන්ට හා ආපදාවන්ට මුහුණ දුන්හ. එබැවින් ධීවරයාගේ ආරක්ෂාවට ජීවිත ආරක්ෂක කබා පමණක් ප්‍රමාණවත් නොවේ. මෙවැනි ජීවිත සුරක්ෂිත කරගැනීමේ හදිසි අවස්ථාවන් සඳහා නිල් ආර්තික සංකල්පය යටතේ‍ෙසෑම බහුදින යාත්‍රාවකම ජීවිත ආරක්ෂක යාත්‍රා (Life Raft)  ස්ථානගගත කරනු ලැබේ..
නිල් ආර්ථික සංකල්පයේ වැදගත්ම සැලසුම වන්නේ බහුකාර්ය ධීවර වරායයි. බහුකාර්ය ධීවර වරායක විශාල යාත්‍රා නැවැත්වීමේ පහසුකම්, ශිතාගාර පහසුකම්, අයිස් යන්ත්‍රාගාර, මත්ස්‍ය අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා වන නව යාන්ත්‍රික පහසුකම්, සංචාරක යාත්‍රා මෙන්ම කුඩා ප්‍රමායේ වෙළඳ නැව් නැවැත්වීමේ පහසුකම්, මුහුඳු ගුවන් යානා නැවැත්වීමේ පහසුකම්, සහ අවන්හල්, කුඩා හෝටල් සංකීර්ණ, ධීවර නිවාස, ප්‍රජාශාලා, අධ්‍යාපනික ආයතන යනාදි සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත ය. මීට අමතරව නිල් ආර්තික සංකල්පය යටතේ දැනට පවතින අකාර්යක්ෂම සහ වියදම් අධික ශීතාගාර පද්ධති වෙනුවට කුඩා ශීතාගාර නිර්මාණයට ද අවධානය යොමු කරනු ලැබේ. එමෙන්ම විසිතුරු මසුන් අපනයනය හා විසිතුරු මසුන් ප්‍රදර්ශනය, කොරල්පර ආරක්ෂණය, සාගර පැලෑට වැවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ලැබේ.

නැවතත් යුරෝපයට මත්ස්‍ය අපනයන සහනය ලැබීමෙන් පසු සාර්තක ප්‍රතිලාභ ලබා ගැනීමට සාගර සම්පත් නිසි කළමණාකාරීවය වැදගත්ය. නිල් ආර්තික සංකල්පය අප රටේ ධීවර කර්මාන්තය හා ධීවරයන් මුහුණපාන ගැටලු රැසකට විසඳුමක් වන අතර ධීවර කර්මානයේ තිරසාර සංවර්ධනය වැදගත් කාරණාවකි. 

වතු කම්කරු නිළධාරී වැටුප් අදෝනාව

1992 වසරේ තේ හා රබර් වතු විශාල ගණනක් පෞද්ගලීකරණය කෙරිනි. ඊට පෙර වතුකම්කරුවන් සහ වතු නිළධාරීන්ගේ වේතන ගෙවන ලද්දේ රාජ්‍ය පඩි පාලක සභාව විසිනි. ඒ යුගයේ කම්කරුවන් වැටුප් සම්බන්ධයෙන් මතුවන ගැටලු පවතින ආණ්ඩුව සමඟ ඍජුව විසඳගත්හ. නමුත් වතු පෞද්ගලීරණය කිරීමෙන් පසු අසරණ වන වතු කම්කරුවන් සහ වතු නිළධාරීන් එක් එක් සමාගම් විසින් නියම කරන අසාධාරණ වැටුපට වැඩ කිරීමට සිදුවිය. එම අසාධාරණ ක්‍රමයට එරෙහිව කම්කරුවන් සහ වතු නිළධාරීන් නැගී සිටීමේ ප්‍රතිපලයක් ලෙස වතු පෞද්ගලීකරණය කර වසර 7කට (1999) පසු සාමුහික ගිවිසුම් ක්‍රමය හඳුන්වා දෙන ලදී.
දෙවසරකට වරක් වතුකම්කරු වෘතිය සමිති, හා හාම්පුතුන්ගේ සංගමය අතර ද තුන් වසරකට වරක් වතු නිළධාරි වෘතීය සමිති හා හාම්පුතුන්ගේ සංගමය අතර ඇතිකරගන්නා සාමුහික ගිවිසුම අනුව වතුකම්කරුවන්ගේ හා නිළධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සිදුකරනු ලැබේ. 2013 ගිවිසුමෙන් පසු 2015දී කම්කරු සාමුහික ගිවිසුම අත්සන් කිරීමට නියමිත වුවද හාම්පුතුන් එය මග හැරීය. එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ තොණඩමන්ගේ නායකත්වයෙන් යුතු CWC, LJEWU යන වෘතීය සමිති හා හාම්පුතුන්ගේ සංගමය  අතරයි. හාම්පුතුන්ගේ සංගමය ගිවිසුම අත්සන් කිරීම දිගින් දිගටම මග හරිද්දි කම්කරුවන් පාරට බැස විරෝධය පෑහ. දින දහයක පමණ සටනින් පසු හාම්පුතුන්ගේ සංගමයට සාමුහික ගිවිසුමට අත්සන් කිරීමට සිදුවිය.
2013 ගිවිසුමට අනුව වතු කම්කරුවන්ට හිමිවන දෛනික වේතනය රුපියල් 500 නොඉක්මවීය. 2016 වන විට වතු කම්කරුවන් ජීවන වියදමට සාපේක්ෂව ඉල්ලා සිටියේ රුපියල් 1000ක පඩි වැඩිවීමකි. ඒ වන විට ආණ්ඩුව ද පොරොන්දු වී සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1000 දක්වා වැඩි කරන බවයි. නමුත් සමාගම් පාඩු ලබන බව පවසමින් හාම්පුතුන්ගේ සංගමය පඩි වැඩි කිරීමට අකැමැති වූහ. කම්කරු අමාත්‍ය වරයාගේද මැදිහත් වීමෙන් පසු හාම්පුතුන්ගේ සංගම් කැමැත්ත පළකර තිබුණේ සතියේ දින 4ක් සඳහා රුපියල් 730ක් ද ඉතිරි දින 3 සඳහා සෑම අමු තේ දලූ කිලෝවකටම රුපියල් 35 ගණනේ ලබා දීමටය. එහෙත් කම්කරුවන්ගේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස සතියේ දින හයක් සඳහා රුපියල් 730 ගණනේ ගෙවීමට ද ඉදිරි දිනයට පමණක් සෑම අමු තේ දලු කිලෝවකටම රුපියල් 35 බැගින් ගෙවීමට ද හාම්පුතුන්ගේ සංගමය එකඟවිය.
වතු කම්කරු වැටුප් ගැටලු සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ලංකා ජාතික වතු කම්කරු සමිතියේ පරිපාලන ලේකම් වේලායුදම් යුත්‍රදීපන් මහතා මෙසේ පැවසීය. අපි ගිය ඔක්තොම්බර් මාසේ සාමූහික ගිවිසුමට අත්සන් කළා. ඊට කලින් කවදාවත් කම්කරුවෙක් දලූ කඩන්න නියමිත ප්‍රමාණයක් (Norm) තිබුණේ නැහැ. මෙවර ගිවිසුම අනුව ස්තීර ගෙවීම රුපියල් 500කුත් පැමිණීමේ දීමනාව රුපියල් 60ක් හා PSS රුපියල් 30ක් සහ දිනයට නියමිත ප්‍රමාණයේ දලු කැඞීම වෙනුවෙන් රුපියල් 140ක් වශයෙන් රුපියල් 730ක දෛනික වැටුපකට අත්සන් කළා. නමුත් වතු පරිපාලකයෝ හැම වත්තකින්ම දිනකට කිලෝ 18ක් කැඞීමට නියම කරනවා. එම ප්‍රමාණයට දලු කඩන්න බැරි වන සෑම කෙනෙක්ගෙන්ම රුපියල් 140 කපා හරිනවා. අපි සාමුහික ගිවිසුමේදී දෛනික නියමිත දලු ප්‍රමාණ සඳහන් කරළා නෑදලූ කඩන දවස උදේ අදාල වත්තේ කැඩිය හැකි දලු ප්‍රමාණය වතු පාලකයේ තීරණය කළ යුතු බවයි ගිවිසුමේ සඳහන් වෙන්නේ. නමුත් පරිපාලකයේ කාර්යාලය ඉදගෙන හැම වත්තකින්ම කිලෝ 18 බැගින් කඩන්න කියනවා. ගැටලූව තියෙන්න දවසින් දවස, වතුවලින් වතුවල කැඩිය හැකි දලු ප්‍රමාණය වෙනස් වෙනවා. මේක දැන් ලොකු ගැටලුවක් බවට පත්වෙලා. බොහෝ තැන්වල ප්‍රශ්න මතුවෙලා. කම්කරුවන් සහා වතු පාලකයෝ අතර ගැටුම් ඇති වෙනවා. කිලෝ 18ක් කඩන්න කීවට 60%කට වැඩි ප්‍රමාණයකට එම ප්‍රමාණය කඩන්න බැහැ. ඒ කියන්නේ දිනකට කැඩිය යුතු සාමාන්‍ය කිලෝ ප්‍රමාණය කිලෝ 18ට වඩා අඩු විය යුතුයි. මේ ගැටලූව සම්බන්ධයෙන් ඉදිරියේදී අපි පාර්ලිමෙන්තුවට වාර්තාවක් දීමට නියමිතයි. අපි ඉදිරියේදි කම්කරු අමාත්යංමශය සමඟත් මේ ගැන සාකච්ජා කර හොඳ තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි වාර්තාවක් දීමට සූදානම් බව දැන ගත්ත නිසා තව තවත් කම්කරුවන්ව පාලනධිකාරිය පීඩා කරනවා.
වතු කම්කරුවන්ට අදාල වැටුප් සම්බන්ධයෙන් කළ ගිවිසුමෙන් පසු ප්‍රධාන තේ වතු සමාගම් 21න් 15ක්ම කම්කරුවන්ට නිසි අයුරින් වැටුප් නොගෙවන බව අප කළ විමසුම්වලින් අණාවරණය විය. ඔවුනට නිසි පරිදි රුපියල් 140 දීමනාව දී තිබුණේ සමාගම් හයකින් පමණි. වතු කම්කරු වෘතීය සමිති පවසන්නේ වැටුප් නිසි ක්‍රමවේදයකට නොගවන්නේ නම් නැවත වරක් උද්ඝෝෂණ කිරීමට සිදුවන බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන්ට ලැබූ පැමිණිලි අනුව කම්කරු අමාත්‍යංශය ඉදිරි සතිය තුළ කම්කරුවන්ට නිසි පරිදි වැටුප් නොගෙවන සමාගම් සමග සාකච්ජා කර විසඳුමක් ලබා දීමට නියමිතය.

වතුකම්කරුවන් සමග පසුගිය ඔක්තොම්බර් මස හාම්පුතුන් ගිවිසුමකට එළඹුනද වතු නිළධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අත්සන් තැබීමේ ක්‍රියාවලිය හාම්පුතුන් අද වන තෙක්ම මගහැර තිබේ. එමනිසා වතු නිළධාරීන්ගේ වැටුප් කම්කරුවන්ගේ වැටුපටත් වඩා අඩු බව නිළධාරීන්ගේ සංගමය පවසයි. කාර්යාල, ක්ෂේත්‍ර, කම්හල්, සුභසාධන සහ ප්‍රවාහන යන අංශයන්හි රට පුරා වතු නිළධාරීන් 15,000ක් සිටිති. හාම්පුතුන්ගේ සංගමය සමඟ වතු නිළධාරීන් නියෝජනය කරමින් අත්සන් කරනු ලබන්නේ වතු සේවා නිළධාරීන්ගේ සංගමයයි. 2013 දී නිළධාරීන්ගේ සංගමය අත්සන් කළ ගිවිසුම නැවත අත්සන් කිරීමට නියමුත වූ පසුගිය ඔක්තොම්බර් අත්සන් කිරීම පැහැර හැරීම නිසා වතු නිළධාරීන් තවමත් ලබන්නේ 2013 ගිවිසුම පරිදි නියම වූ වැටුපයි. එනම් තුන් වසරකට පෙර ගිවිසගත් වැටුප් ප්‍රමාණයයි.
ලංකා වතු සේවා නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති ධම්මික ජයවර්ධන මහතා වතු නිළධාරීන් මුහුණ පා සිටින වැටුප් ආරවුල සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කළේය. ගිවිසුම අවසන් වෙලා දැන් මාස 4ක් විතර වෙනවා. ඒ ගැන අපි සාකච්ජා කිහිපයකටම ගියා. දැනට 12%ක 15%ක පඩි වැඩිවීමක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒත් අපි ඉල්ලන්නේ 40%ක පඩි වැඩිවීමක්.  අපි 40%ක වැඩිවීමක් ඉල්ලන්න කරුණු ගණනාවක්ම තියෙනවා. පහුගිය කාලේ රාජ්‍ය සෙවකයන්ට රුපියල් 10000ක පඩි වැඩිවීමක් හා පෞද්ගලික අංශයට රුපියල් 2500ක පඩි වැඩිවීමක් ලැබුණා. ඒත් වතු නිළධාරීන්ට සාමූහික ගිවිසුම නිසා එම වැඩිවීම ලැබුණෙත් නැහැ. 1992 දී නිළධාරියෙක්ගේ වැටුප 4600ක් පමණ වෙද්දි කම්කරුවෙක්ට මාසික වැටුප 1900ක් පමණ වුණා. 2017 දී නිළධාරියෙක්ගේ ආරම්භ පඩිය රුපියල් 18000ක් පමණ වෙද්දි කම්කරුවෙක්ගේ පඩිය 24000ක් පමණ වෙනවා. මේ කාලවකවානුව තුළ නිළධාරීන්ගේ වැටුප 13000කින් වැඩිවෙද්දි කම්කරුවන්ගේ වැටුප 22000කින් වැඩිවී තිබෙනවා. කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පවා ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්නත් අමාරුයි. අපි මතුකරුන්නේ ඊට සාපෙක්ෂව නිළධාරීන්ගේ වැටුපද වැඩිවිය යුතුයි. අපි මේ සටන සාමකාමීව නිමාකරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඒ වැඩි වීම ලබා නොදෙනවා නම් වෙනත් වෘතීයමය ක්‍රියාමාර්ගයකට යන්න අපි බලාපොරොත්තු වෙනවා.
වතු කම්කරු වැටුප මෙන්ම නිළධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද පවතින්නේ අර්බුධකාරි තත්වයකි. වතු සමාගම්  විශාල වශයෙන් ලාභ ලබන සමයේ දී කිසිදු බෝනසයක් නිළධාරීන්ට හෝ කම්කරුවන්ට ලබා නොදෙයි. නමුත් පාඩු ලබන කාලවලදී එම පාඩුව නිළධාරීන් සහ කම්කරුවන් මත පටවයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව තේ වතු පාඩු ලැබීමට හේතුව මේ ක්ෂේත්‍රයේ පවතින දූෂණ හා වංචාවන්ය. කම්කරු, නිළධාරී හා ප්‍රවාහන වියදම් සඳහා ආදායමෙන් 5% - 10%ත් අතර ප්‍රමාණයක් වැය වේ. නමුත් තවත් 35%ක් පමණ අපැහැදිලි වියදමික් තේ කර්මාන්තයේ පවිති. මේ අයුරින් තිරයෙන් පිටුපස සිදුවන ගනුදෙනු නිසා සිදුවන පාඩුව වතු කම්කරුවන් සහ නිළධාරීන් මත පැටවීම පිළිගත නොහැකි අසාධාරණයකි.


සකීෆ් සාම් තන්වීරි.

ගොවිතැනට විදුලි සහනය




පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව අද ගොවිතැනට සමු දෙන්නට තරම් තත්ත්වයට පත්ව තිබේ. අනාගතයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි ය.ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70%ක ප්‍රතිශතයක් ග්‍රාමීය වන අතර නූතන ග්‍රාමිය අංශයේ ආර්ථික වැඩ කටයුතු අතරින් වැඩි බිම් සංඛ්‍යා ප්‍රතිශතයක් යෙදවී ඇත්තේ ද, සාපේක‍්ෂ වශයෙන් වැඩි ජන සංඛ්‍යා ප්‍රතිශතයක් නියැලී සිටින්නේ ද කෘෂිකාර්මික අංශයේ ය.යැපුම් කෘෂිකර්මාන්තයේ දී වාරිමාර්ග මගින් ජලය සම්පාදනය කරන ප්‍රදේශවල වගා කරන ප්‍රධාන බෝගය වී වන අතර එසේ නොවන ප්‍රදේශවල අතිරේක බෝග වෙත යොමුවීම වැඩි වශයෙන් දැකගත හැක.යැපුමි කෘෂිකර්මාන්තයේ අනෙක් වැදගත් අංශය වන්නේ අතිරේක බෝග වගාව යි. ශ්‍රී ලංකාව තුළ වගා කරන ප්‍රධානම අතිරේක ආහාර බෝග ලෙස රතු ළූණූ, ලොකු ළූණු, මුං, සෝයා බෝංචි, බඩ ඉරිඟ, උඳු, රටකජු, තල, කුරක්කන්, මිරිස් හා පළතුරු හඳුනාගත හැක.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් කරගෙන යන ගොවීන්ට විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වී තිබේ. මේ සඳහා රජය මැදිහත් වී විවිධ විසඳුම් ගෙන ඒමට උත්සාහ කර ඇති ආකාරය ද දැක ගත හැකි වේ.කෘෂිකර්මාන්තයේප්‍රධාන වශයෙන් අහස් දියෙන් කෘෂි කටයුතු කරන අතර තවත් පිරිසක් මේ සඳහා වැඩි මුදලක් වැය කිරීමක් දක්නට ලැබේ. එලෙස අධික වියදමක් දැරීමට සිදුවීම ඔවුන් මුහුණ පාන ප්‍රධාන ගැටලුවකි. රසායනික ද්‍රව්‍ය භාවිතයට, පොහොර භාවිතයට, යන්ත්‍ර සූත්‍ර භාවිතයට හා ශ්‍රමයට අධික වියදමක් දැරීමට ත් සිදු වේ. ඒත් සමගම ජලය සපායා ගැනීමට විදුලි බිල වශයෙන් විශාල මුදලක් වැය කිරීමට ද සිදු වෙයි.නමුත් ඔවුන්ට ලැඛෙන ආදායම අඩු ය. මෙම ගැටලුවෙන් ගොවියන් මුදවා ගැනීමට ජනාධිපතිතුමාගේ හා ඇමැතිතුමාගේ මගපෙන්වීම් යටතේ විදුලි හා බලශක්ති අමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් කෘෂිකර්මාන්තය සඳහා විශේෂ සහන විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට පසුගිය ඔක්තෝම්බර් පළමුවන දා යාපනේදී සිදුවිය.

මෙතෙක් කල් කෘෂිකර්මාන්තයේ නියලී සිටින ගොවීන්ද අනෙකුත් කර්මාන්ත මෙන්ම භාවිත කරන එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 12කට ආසන්නමුදලක් ගෙවීමට සිදුවිය. ඊට අමතරව මාසිකව රුපියල් 600ක ස්තාවර ගාස්තුවක් ද ගෙවීමට සිදුවිය. එහිදි කුමන වේලාවේ විදුලිය භාවිත කළද ඒ සඳහා දක්වා තිබූ එම ගණන ගෙවීමට සිදු විය. නමුත් හඳුන්වා දී ඇති නව විදුලි ගාස්තු ක්‍රමය අනුව කෘෂිකර්මාන්තය සඳහා විදුලි සේවා ලබා ගැනීමේදී දවසේ විදුලිය භාවිත කරන කරන කාලය අනුව අඩුගාස්තුවක් වැය කර විදුලිය ලබාගත හැකිය. සෑම දිනකම රාත්‍රී 10.30 සිට උදේ 5.30 අතර කාලය තුළ භාවිත කරන එක් ඒකකයක් සඳහා අය වන්නේ රු 6යි සත 85ක් පමණි. එමෙන් ස්තාවර ගාස්තුව වශයෙන් කෘෂිකාර්මාන්තයටද අදාල වන පරිද පැවැති ගාස්තුවෙන් 50%ක් එනම් රුපියල් තුන් සියයක් අඩු කර ඇත. ඒ අනුව කෘෂිකර්මාන්තය සඳහා විදුලි සේවාව ලබා ගැනීමේදී ගෙවිය යුතු ස්තාවර ගාස්තුව රු 300ක් පමණී.
ගොවීන් අධිකව විදුලිය භාවිත කරන්නේ ජලය පොම්ප කිරීමටය. ඒ සඳහා රාත්‍රී කාලය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. දැනට ඇතැම් ගොවීන් භාවිත කරන ඩීසල් හෝ ජෙනරේටර් ක්‍රිමය ඔවුන්ගේ වියදම දෙගුණ කිරීමට හේතුවෙයි. එබැවින් ගොවීන් කෘෂිකටයුතු සඳහා විදුලිය භාවිතයට යොමු වීම කාලීනව වැදගත් කාරණයක් බවට පත්ව තිබේ.
දැනට සේවා සම්බන්ධතාවයක් ලබා තිබෙන කෘෂි බිම්වලට විශේෂ මීටරයක් විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී ඇත. නව විදුලි ගාස්තුවට අය කිරීම් සඳහා එම මීටරය විදුලිබල මණ්ඩලය විසින්ම නොමිලේ සවි කිරීමට ද තීරණය කර තිබේ. නමුත් සේවා සම්බන්ධතාවයක් අලුතින්ම ලබා ගන්නේ නම් මීටරය සඳහාවෙනම මුදලක් අයකරනු ලැබේ.  විශේෂිත මීටරයක් බැවින් මීටරයේ වටිනාකම අයකරනු ලබන බව විදුලිබල මණ්ඩලය පවසයි. දැනටමත් විදුලි සේවා ලබන ගොවීන්නව ගාස්තු ක්‍රමයට යොමු වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යා විසින් නිකුත් කරන ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් පසු නව ගාස්තු ක්‍රමයට මාරු වීමේ හැකියාව තිබේ.‍
කුරුණෑගල, පුත්තලම, අම්පාර, පොළොන්නරුව ඇතුළු කෘෂිකර්මික කටයුතු සිදුවන සෑම දිස්ත්‍රික්කයකම කෘෂි කටයුතු සඳහා විදුලිය අඩුවැඩි වශයෙන්යොදා ගනී. නමුත් විදුලි සඳහා ඉහළ ගාස්තුවක් අය කිරීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට මෙතෙක් කල් නවීන තාක්ෂණය භාවිත කිරීම දක්නට ලැබුණේ අඩු ප්‍රමාණයකි. ඒ හේතුවෙන් තාමත් ගොවීන් කෘෂිකර්මාන්තයේ නියෙලෙන්නේ සම්ප්‍රදායානුකූලවයි. නව තාක්ෂණයට යොමුවීමෙන් පලදායිතාවය ඉහළ නංවාගත හැකි යැයි රජය විශ්වාස කරයි.දැනට දළ දේශීය නිෂ්පාදනය වශයෙන් කෘෂිකර්මාන්තය තුළින් ලැබෙන්නේ 8%ක් පමණි. එහෙත් කෘෂිකාර්මාන්තයේ නියෙලී සිටින සේවාදායන් සංඛ්‍යාව 26%කි. මෙම අසමබරතාවයට ප්‍රධාන හේතුවෙ කෘෂිකාර්මාන්තයේ පවතින පලදායිතාවයේ ඌණතාවයයි.
විදුලිබල මණ්ඩලය ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජලය පොම්ප කිරීම සඳහා රාත්‍රී 10.30න් පසු කාලයේ විදුලිය භාවිත කිරීමටයි. රාත්‍රී 6.30 9.30 ඉතාම අධික විදුලි ඉල්ලුමක් තිබෙන වේලාව වන අතර ඒ වෙලාවේ ගොවියාද විදුලිය භාවිත කිරීමෙන්මුලු විදුලි පද්ධතියටම හානි විය හැකිය.එම කාලය තුළ භාවිත කිරීමේදී විදුලිබල මණ්ඩලයට වැඩි මිලකට විදුලිය ජනනය කිරීමටත් සිදුවෙයි. වෙයි. නමුත් රාත්‍රී 10.30න් පසු කාලය තුළ භාවිත කිරීමෙන් ගොවියාට මෙන්ම විදුලිබල මණ්ඩලයටත් වාසියක් අත්වන බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

සකීෆ් සාම් තන්වීරි.  

ටුක්. ටුක්. කේසස්.

රෝද තුනේ වාහනේ, ටුක්.. ටුක්.. එහෙමත් නැත්ම් ට්‍රයිෂො මේ හැම නමකින්ම හඳුන්වන්නේ ත්‍රිරෝද රථයයි. ලංකා ගමනාගමන ක්ෂේත්‍රය තුළ ත්‍රිරෝද රථය ජනප්‍රිය මෙන්ම වැදගත් ප්‍රවහාන ක්‍රමයකි. එසේ ජනප්‍රියතාවක් ලැබුවේ පොදු ජනයාගේ පහසු හා ලාභදායි ගමන් සගය ත්‍රිරෝදය රථය වීමෙනි. පසුගිය කාලය තුළ වැට් බදු වැඩිවීමත් සමඟ එයට සමාන්තරව බඩු මිලද ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන ප්‍රවාහන සේවාවේ එනම් බස් හිමියන් අගෝස්තු පළමුවන දා සිට බස්ගාස්තු ඉහළ නංවාගත්හ. බස්ගාස්තුව ඉහළ නංවනවාත් සමඟ දෙවනපොදු ප්‍රවාහන සේවයේ වන ත්‍රීවීල් රියදුරන්ද ත්‍රීවීල් ගාස්තු ඉහළ නැංවිය යුතු බව ස්වයං රැකිය නියුක්තිකයන්ගේ  සංගමයක් ප්‍රකාශ කළේය. බස් මගියාට කිසඳු පහසුකමක් නොදී පුද්ගලික බස් සංගම් බස්ගාස්තු ඉහළ දැමුවොත් ත්‍රීරෝදරථ ගාස්තුවත් රුපියල් පහකින් ඉහළ දානවා. ආයේ දෙකක් නැහැ.යනුවෙන් එහි සභාපති ප්‍රකාශ කළේය. නමුත් සමස්ථලංකා ත්‍රීරෝද රථ වෘතීය සමිතියඑම මතයට දැඩි විරුද්ධයක් පළ කරමින් කිසිඳු ත්‍රීවීල් රියදුරෙක් ත්‍රීවීල් ගාස්තු ඉහළ නැංවීමට සූදානම් නැති බව ප්‍රකාශ කළේය.
ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දහයකට ආසන් ප්‍රමාණයක් තිබුණද වෘතීමය වශයෙන් හයර් සේවයේ යෙදෙන්නේ ලක්ෂ හයක් පමණය. අද වනවිට කොළඹ ආශ්‍රීව සෑම ත්‍රිරෝද රථයකම මීටර් සවිකර ඇත. නමුත් ත්‍රිරෝද රථ ලක්ෂ එකහමාරක පමණ තවමත් මීටර් නැත. මීටර් ත්‍රීවීල් රියදුරන් පළමු කි.මීටරයට රැපියල් 50ක් ද දෙවන කි.මීරටයට රුපියල් 29 සිට 40 දක්වා ගාස්තුවක් ද අය කරති. සාතිෂය බහුතරය  අයකරන්නේ රුපියල් 40කි. මීටර් සවිකර නොමැති වෘතිකයන් දුර ප්‍රමාණය අනුව තීරණය කරන ගාස්තුවක් කුලිය වශයෙන් අයකරගනියි. ත්‍රිරෝද කර්මාන්තයේ තත්වය එසේ පවතිද්දි ත්‍රිරෝද රථ වෘතීය සංගම් දෙකක් අතර ගාස්තු සම්බන්ධයෙන් බරපතල සංවාදයක් ඇති විය. ඒ සමස්ථ ලංකා ත්‍රිරෝද රථ වෘතිය සමිතිය හා ස්වයං රැකියා නියක්තිකයන්ගේ සංගමය අතරය.
සුනිල් ජයවර්ධනව - සම්ස්ථ ලංකා ස්වයං රැකිය නියුක්තිකයෙන්ගේ සංගමය.
දැන් රටේ බඩු මිල ඉහළ ගිහින් තියෙන්නේ. අමතර කොටස් මිල ඉහළ ගිහින්. ත්‍රීරෝද වෘතිකයා අසරණ වෙලා. ඒ හින්දා අපිට දෙවන කිලෝමීටරය සිට රුපියල් හතලිහට දුවන්න බෑ. ඒකයි හතලිස් පහ කරන්න තීරණය කළේ.මේ කර්මාන්තය අයාලේ යන නිසා සමහරු රුපියල් සීය එකසිය පනහ අයකරනවා කි.මීටරයකට. ඒකෙන් අමාරුවේ වැටිලා තියෙන්නේ පාරිභෝගිකයා. ඉතිං මේකෙන් මිදින්න තියෙන එකම විසඳුම ත්‍රීරෝද වෘතිකයා තමන්ටම න්‍යාමනයක් යොදාගන්න එක. ඇත්තටම මේ වැඩි කළ ගාන මීටරයට හදාගන්න රුපියල් දෙසිය පනහක් තුන්සියයක් විතර වැය වෙනවා. දැන් දැන් රියදුරන් මීටරයට අලුත් මිලට හදාගන්නවා. ඉදිරියේදී සියලු දෙනාම මීටරය වෙනස් කරගනීවි අලුත් මිලට.
ලලිත් ධර්මසේකර - සමස්ථලංකා ත්‍රීරෝද රථ වෘතීය සමිතිය.
2005 දී ඩිජිටල් මීටර් ගාස්තු ක්‍රමය මුලින් ලංකාවට හඳුන්වා දුන්නේ අපේ සංගමයෙන්.ඒ හින්දා අපිට අයිතියක් තියෙනවා ත්‍රිරෝද රථ ගාස්තු ගැන කතා කරන්න.මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ මතුවෙච්ච පුද්ගලයෙක් සංගමයක නමක් දාගෙන ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරනවා කියනවා. මේක දේශපාලනයක්. නැති ප්‍රශ්න මවලා පාන්න ව්‍යාකූලත්වයක් හදන වැඩක්.මේ ආණ්ඩුව පත්වුනාට පස්සේ ඉන්ධන මිල අසාමාන්‍ය අඩුකිරීමක් කළා. ඒ වෙලාවේ අපෙන් ත්‍රිරෝද ගාස්තු ඉල්ලන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් අපි එදා අඩු කළේ නෑ. එහෙම අඩු කරන්න ක්‍රමවේදයක් නෑ.ත්‍රිරෝද රථයෙන් අඩු ලාභය, වැඩි වෙලඳාමක් තියෙනවා. වැඩි වෙළඳාමෙන් වැඩි ලාභයක් ලබන්න පුලුවන්. එයයි සාධාරණ වෙළඳාම.මුල් දවස්වල අපි ගාස්තු නිර්ණයේ කළේ කුලී රථ සඳහා ජාත්‍යන්තර නිර්ණයටඅනුකූලවයි. අපි හුඟක් අමාරුවෙන් තමයි මීටර් ක්‍රමය ව්‍යාප්ත කළේ.අපි සමාගමක් සමඟ එකතුවෙලා තමයි මීටර් මෘදුකාංගය දියුණු කළේ. ඒ ආයතනයෙන් තමයි මීටර් බෙදාහරින්නේ. ඉතිං අපි ඒ ආයතනයට කියලා තියෙනවා ගාස්තු වැඩි කරන්න එපා කියලා. ඒ හින්දයි දැන් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරන්න බැරිවෙලා තියෙන්නේ.යෝජනා කරලා තියෙන ක්‍රමයේ කියනවා දෙවන කි.මී. සිට රුපියල් 45ක් අය කරන්න. නමුත් අද රටේ රුපියල් 40ට ඒ.සී කාර් පවා තියෙනවා. මේ යෝජනවා ත්‍රීවීල් කර්මාන්තය කාබාසීනියා කරන වැඩක්.
ත්‍රීරෝද රථ සංගම් දෙක අතර මත භේදයක් ඇතිවුවත් අගෝස්තු පළමුවන දාට යෙදී තිබූ ත්‍රිරෝද රථ මිල වැඩි කිරීම ක්‍රියාවට නැගීමට නියමිත විය. ඒ සම්බන්ධයෙන් අගොස්තු හතර වන දින ත්‍රිරෝද රථ රියදුරන් කිහිපයකගෙන් අදහස් විමසීමු.
කොල්ලුපිටිය රථගාලේවිජේරත්න බණ්ඩා මහතා.

මම නම් වැඩි කළේ නෑ. මං කලින් දුවපු ගාණටමයි දුවන්නේ. කලින් උඩ ගාන පනහයි. යට හතලිහයි. ඒ ගාණටමයි දැනුත් යන්නේ. වැඩි කෙරුවොත් මිනිස්සු බස්වල යයි. වීල්වල යන්නෙම නැති වෙයි. මේ ගාණත් වැඩියි කියන මිනිස්සුත් ඉන්නවා. සමහර රියදුරෝ තිහටත්, තිස්තුනටත් දුවනවා. ඉතිං අපි හතලිස් පහ කළොත් අපිට කොහෙද හයර් ලැබෙන්නෙ? ඒක නිසා අපි අපේ පාර්ක් එකේ හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ මේ ගාණටම දුවන්නයි. මේකේ පාඩුවක් නෑ. වැඩි කළොත් ආදායමක් ලැබෙන්නෙම නැති වෙලා යයි. මිනිස්සු ත්‍රීවිලරයට නගින්නෙම නැතිව යයි. කොළඹ ඇතුළේ අපි දැනුවත්ව කිසි කෙනෙක් ගාස්තුව වැඩි කරළා නෑ.

රත්නසිරි ගුණතිලක - ටව්න්හෝල් රථගාල
මම නම් වැඩි කරලා නෑ. ලංකාවේ ත්‍රීවීල් එකම මිලකට දුවන්නේ නෑ. මුලින් රජයේ අනුමත මිලක් ගේන්න ඕනේ. ත්‍රීවීල් ආයතන වලින් 30ට 32ට 35ට දුවනවා. පෞද්ගලික අය නම් 40ට දුවන්නෙ. ඇත්තටම මිල වැඩිකරන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ. මොන පදනමික් මේ ඉල්ලීම කළාද කියලා අපි දන්නෙ නෑ.

ඒ සුනිල් සිල්වා - කුරුඳුවත්ත.
අපි වැඩි කරළා නෑ. අපිට වැඩි කරන්න අවශ්‍යතාවෙකුත් නෑ. කොම්පනි කාරයෝ තමයි බජටුයි, පික්මීයි දාලා අපිව වට්ටන්න හදන්නේ. අපි මීටරේ දාලා හතලිහට, සාධාරණ මිලකට දුවන්නේ. මේ පාට්ස් වැඩි කරපු එක අද ඊයේ එකක් නෙවෙයි. ඉස්සර ඉඳන්ම ගණන්නේ. අපි වැඩි කළොත් අපිට හයර් නැත්තටම නැති වෙයි. කොම්පනි කාරයන්ට තව හයර් වැඩි වෙනවා. කොම්පෙනි කාරයෝ ලංකාවේ හැම තැනින්ම ත්‍රීවීල් කොළඹට ගෙනෙල්ලා. වෘතියක් වශයෙන් ත්‍රීවීල් දුවපු කොළඹ අපිට දැන් ආත්මයක් නෑ. කොම්පෙනි කාරයෝ හොඳට හම්බු කරගන්නවා. කොම්පනි කාරයන් වැඩි කළත් අපි වැඩි කරන් නෑ. ත්‍රීවීල්වල යන්නේ නැති බැරි මිනිස්සු. හදිස්සයකට එන මිනිස්සුන්ගෙන් අපි ගසා කන එක හරිද? දෙන ගාන අපි ආදරෙන් ගන්නවා. අපි හැම තිස්සෙම මහජනයා ගැනයි හිතන්නෙ. ත්‍රීවීල්වලට විතරක් නෙවෙයි හැම වාහනේකම පාට්ස් ගණන් තමයි. පාට්ස් වැඩිය කියලා මහජනයාව අපිට කන්න බෑනේ. ඉතිං අපි සාධාරණව මිලක් අය කරන්නේ. අපි වැඩි කළෙත් නෑ. කරන්නෙත් නෑ.
ත්‍රීරෝද ආම්පන්න, අමතර කොටස් සම්බන්ධයෙන් රජයේ කිසිම න්‍යාමනයක් නත. එම හේතුව මත මේ කර්මාන්තයම කඩා වැටී ඇත. එමෙන්ම ත්‍රිරෝද රථ කර්මාන්තයද රජයේපාලනයට ගත යුතුය. එසේ පාලනයක් නැතිවීම හේතුවෙන් ත්‍රීරෝද වෘතිකයාමකර්මාන්තය නඩත්තු කරන්න සිදුවී ඇත. ගාස්තු වැඩි කිරීම පමණක් මෙම කර්මාන්තයේ ගැටලුවට විසඳුම නොවේ. මේ කර්මාන්තයේ වෘතිකයන්ගේ වෘතිකභාවය සම්බන්ධයෙන් ගණනාවක් පවති. ඒ සියල්ල විසඳිය හැක්කේ ක්‍රමවත් රාජ්‍ය මැදිහත් වීම තුළින් යැයි අප විශ්වාස කරමු.


සකීෆ් සාම් තන්වීරි.

පාලිතයා ඒ.එස්.පී කාරයෙක්.

වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ෙහාබවන පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයේ දේශපාලනයට පිවිසීමට පෙර ෙපාලිස් පරීක්ෂවරයෙකුව සිටියදී දේශපාලනික පලිගැනීම් ෙහ්තුෙවන් තමාට සහකාර ෙපාලිස් අධිකාරි තනතුරට උසස්වීම අහිමි වූ බවත්, ඒම අහිමිවූ උසස්වීම නැවත ලබා ෙදන ලෙසත් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යවරයා ඒම ඉල්ලීම ඉදිරිපත් කර සිටින්නේ පසුගිය රජය සමයේ දේශපාලනික පළිගැනීම්වලට ලක්වී උසස්වීම් නොලබා අසාධාරණයට ලක්වූ පොලිස් නිළාධාරීන් 129ක් පිලිබඳව ජාතික පොලිස් කොමිසමෙ අවධානය යොමුව අැති මොහොතකයි. අමාත්‍යවරයා සිය ඉල්ලීම නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායකට සහ ඒම අමාත්‍යංශ ලේකම්ට දන්වා අැත.මේ වන විට පැවැති රජයේදී අසාධාරණ ලෙස උසස්වීම් අහිමිවූ නිළධාරීන් 129 දෙනෙකුට සාධාරණයක් ඉටුකිරීම සඳහාවාර්තාවක් සැකසීමට කමිටුවක් පත්කොට අැති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් අාරියදාස කුරේ මහතා පැවසයි.
පොලිස් සේවය මෙරට අැරැඹුනේ 1866 වසරේදීය. මෙම වසර 150ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ 1970න් පසු දැඩි ලෙස පොලිසිය දේශපාලනීකරණය විය. ඒක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාලවකවානුවේදී පොලිස් ස්ථාන ක්‍රියාත්මක වූයේ ඒම පක්ෂවල ශාකා සමිතියක් ලෙසිනි. පොලිස් දෙපාර්තුමෙන්තුවේ පත්කිරීම් සිදුවුයේද තමාට සුවච කීකරු පක්ෂයට ගැති අයෙකි.ඒමෙන්ම අාණ්ඩු පක්ෂයට අභියෝගයක් යැයි සිතෙන විපක්ෂයට සහය දක්වන පොලිස් නිළධාරීන් පක්ෂයන් දෙක විසින්ම උසස්වීම් ලබා ෙනාදී අසාධාරණයට ලක්කිරීමද පසුගිය දශක කිහිපය තුළ දැකගත හැකිවිය. නමුත් වත්මන් රජයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ අසූහතර දහසක් පමණ වන ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන්ගේ අයිතිවාසිකම් අාරක්ෂාකරමින්, දේශපාලන අැඟිලි ගැසීමෙන් තොරව විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිකයට රජය සූදානම් බවයි.
දහනව වන ව්‍යවස්ථා සංශෝදනයට අනුව පොලිස් නිළධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, සේවයෙන් පහකිරීමේ බලය හිමවන්නේ ජාතික ස්වාධීන පොලිස් කොමිසන් සභාවටයි. ඒ අනුව පොලිස් නිළධාරීන්ගේ උසස්වීම්, මාරුවීම්, සේවයෙන් පහකිරීම් අැතුළු අතෘප්තිමත් කාරණා සම්බන්ධයෙන් ජාතිකි පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව පොලිස් නිළධාරීන්ට පවතී.
දේශපාලන බලපෑම් මත යැයි සඳහන් කරමින් ෙපාලිස් සේව උසස්වීම් නොලද පොලිස් නිලධාරීන්ට ඒම උසස්වීම් නැවත ලබා දීමට අගෝස්තු 09වනදා කැබිනට් අනුමැතිය පවා ලැබිණි. කැබිනට් අනුමැතියෙන් පසු ඒම ලයිස්තුව ජාතික පොලිස් කොමිසම වෙත යොමු කෙරුණි. ඒ අතර දේශපාලන පීඩන හේතුවෙන් පොලිස් සේවය අතහැර ඔස්ට්‍රේලියාට පලාගොස් නව අාණ්ඩුව පත්වීමෙන් පසු මෙරටට පැමිණි ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රශාන්ත ජයකොඩි මහතා සිටියි. ඒම 129 දෙනාගෙ ලයිස්තුවේ විශ්‍රාමලත් නිළධාරීන් ගණනාවක්ම සිටින බවද වාර්තා වෙයි.
උසස් පෙළ අධ්‍යපනය අතරතුරු 1983 වසරේ පොලිස් සේවයට ඒක්වන පාලිත රංගෙ බණ්ඩාර මහතා වසර දහහතකට පසු 2000දී සේවයෙන් ඉල්ලා අස්විය. සාමාන්‍ය පොලිස් නිළධාරීයෙක් සිට පොලිස් ස්ථානාධිපති වශයෙන් ද අපරාධ පොලිස් පරීක්ෂකවරයෙන් ද අම්පාර කුරුණෑගල අැතුළු උතුරු නැගෙනහිරි පළාත්වලසිය පොලිස් සේවා කාලය තුළ ඉහළ දක්ෂතා දක්වා පොලිස්පතිවරයාගෙන් ප්‍රශංසා ලිපිද ලබා අැත. නමුත් 2000 වසරේදී පොලිසියෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ඒවක පොලිස්පතිවරයා තමාගෙ විශ්‍රාම ලිපිය ප්‍රතික්ෂේප කිරීම නිසා බව රංගා බණ්ඩාර අැමැතිවරයා පවසයි. ඒපමණක් නොව සේවා කාලය තුළදී තමාට හිමිවීමට තිබූ උසස්වීම්ද ලබා නොදීමට ඒවක රජය කටයුතු කළ බවද පවසයි. ඒයට හේතුව තමා ඒක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙකු වීම බවද පවසයි.
1994දී නිදහස් පක්ෂ ප්‍රමුඛ අාණ්ඩුවට පත්වුණාට පස්සේ දැඩි ලෙස මට පීඩන ඒල්ල වෙන්න පටන්ගත්තා. 1996දී ඒවක පොලිස්පතිවරයාව හිටි රාජගුරු මහතා මාව කිසිම හේතුවක් නැතුව මොරටුවට ස්ථාන මාරුවක් දුන්නා. ඒ වෙද්දි මා පිළිබඳව පොලිසියේ තිබුණ වාර්තා සියල්ලකම සඳහන් වුණේ ඉතා හොඳයි කියලා. කිසිම චෝදනාවක් තිබුණේ නෑ. ඒත් මට ස්ථාන මාරුවක් දුන්නා. ඊට පස්සෙත් දිගින් දිගටම මට අසාධාරණ සිදුවුණා. ලොකුම අසාධාරණය තමයි මට ලැබීමට තිබුණ A.S.P තනතුරු අහිමි කිරීමට කටයුතු කිරීම.
පොලිස් සේවයේ සිටියදීම ඒක්සත් ජාතික පක්ෂයේ දේශපාල කටයුතුවල නිරතවී සිටි පාලිත රංගෙ බණ්ඩාර මහතා 2000 වසරේදී ඉල්ලා අස්වී ඒම වසරේම පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීය.
1995 දී වික්‍රමසිංහ රාජගුරු මහතා පොලිස්පති තනතුරට පත්වූයේ විශ්‍රාම ගොස් සිටියදී නැවත සේවයේ පිහිටුවීමෙන් පසුවය. ඒමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී M.K.A.D.S ගුණවර්ධන මහතාටද සිය 1968-1984 පොලිස් සේවා කාලය තුළ සිදුවූ අසාධාරණවලට පසුව සාධාරණයක් ඉටුවිය. නමුත් පාලිත රංගෙ බණ්ඩාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් තමන්ට දැන්මම තීරණයක් කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් කමිටුවක් ක්‍රයාත්මක වන බවත් ජාතික පොලිස් කොමිසම් සභාවේ ලේකම් අාරියදාස කුරේ මහතා පවසයි. ඒමෙන්ම මෙතෙක් උසස්වීම් ලබාදීම සඳහා අනුගමනය කළ ක්‍රමවේද දෝෂ සහගත බවත් නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් ද හෙතෙම පවසයි.


සකීෆ් සාම් තන්වීරි.

හුසේන් කුමරුගේ ජිනීවා වාර්තාව

ඊලාම් යුද්ධය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ලොකු උගුලකට ලංකාව හසුවිය. ඒ මානව හිමිකම් කවුන්සිලය ලක් රජයට එරෙහිව කළ විවේචන සහ චෝදනාවන් නිසාය. වසර කිහිපයක් මුලුල්ලේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සමුලුවේ දී ශ්‍රී ලංකාව ප්‍රමුඛ තේමාව බවට පත්වූයේ යුද අපරාධ සිදු වූ බවට කරන චෝදනා නිසාය. එම චෝදනා ඉදිරියේ රුසියාව, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක සහය ඇතිව ලක් රජය බාධක එකින් එක ඉවත් කරගැනීමට සමත් විය. කෙසේ වෙතත් පශ්චාත් යුද සමයේ යුක්තිය ඉටුකිරීම සහ සංහිඳියාව ගොඩනැගීම සඳහා කරුණු ගණනාවක් 32වන ජිනීවා සමුලුවේදී නිර්දේශ විය. එය 30/1 යෝජනා වශයෙන් හැඳින්වින.
2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට රජය එකඟවිය. ශ්‍රී ලංකාව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරනු සඳහා ශ්‍රී ලංකාව හා ඇමරික එක්සත් ජනපදයේ සම අනුග්‍රහයෙන් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝනාව තුළ යුද්ධයට අදාල බොහෝ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමටත් ඒවාට සාධාරණ විසඳුම් සොයා ගැනීමට කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ එකඟත්වය පළ කළේය. එම නිර්දේශ සමහරක් ක්‍රියාත්මක කිරීමට ලක් රජය සමත් වූ අතර තවත් කරුණු කිහිපයක්ම ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇත. එසේ තිබියදී  ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය පෙබරවාරි 27වන ආරම්භ විය. එහිදි ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ඉදිරිපත් කළේය.
රාද් හුසේන් මහකොමසාරිස්වරයා සිය වාර්තාවේ ශ්‍රි ලංකාව තුළ සංහිඳියා ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රජය ගෙන ඇති උත්සහයන් සහ ක්‍රියාමාර්ගයන්ට ප්‍රශංසා කර තිබේ. විශේෂයෙන්ම ජාතික සංහිඳියා කාර්යාංශයක් පිහිටුවීම ඔහුගේ පැසසුමට ලක්වීය. එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයේදී සිංහල හා දමිල භාෂා ද්වයෙන් ජාතික ගීය ගායනා කිරීම, ස්වාධීන කොමිෂන් සභාවන් පිහිටුවීම, මාවීරර් නාල් සැමරුම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණය යන කරුණු මානව හිමිකම් සුරකීමෙහිලා ධනාත්මක ආරම්භයක් බව පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය සඳහා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා අනුකමිටු වාර්තා හයක් ද ලැබී තිබුණත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අඛණ්ඩව කල්යාම හුසේන් කුමාරයා විවේචනාත්මකව පෙන්වා දෙයි. එමෙන්ම අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාවද සංහිඳියාව සඳහා මූලිකම කොන්දේශි බව ද වාර්තාවෙන් පෙන්වා දෙයි. නමුත් අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලය තවමත් නොපිහිටුවීම සම්බන්ධයෙන් හුසේන් කුමාරය සිය අප්‍රසාදය පළ කර තිබේ.
පසුගිය කාලයේ මෙරට ජනමාධ්‍යෙව්දීන්, පුද්ගලයින් අතුරුදන්වීම්, විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම්වලට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමත් එවැනි දෑ ඉදිරියට සිදුනොවීමට වගබලාගත යුතු යැයිද හුසේන් කුමාරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි. 2013 අගෝස්තු මස වැලිවේරිය හමුදා ප්‍රහාරයෙන් 3දෙනෙකු මරණයට පත්වී 33දෙනෙකු තුවාල ලැබීම, 2006දී මුතුර් ප්‍රදේශයේදී රාජ්‍ය නොවන සංවිධාන මානුෂීය ක්‍රියාකරීන් 17ක් ඝාතනය වීම, නඩරාජා රවිරාජ් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, 1996දී කිල්ලිවෙඩි නොහොත් කුමාරපුරම් ස්ථානයේ දමිල සිවිල්වැසියන් 23ක් ඝාතනය වීම, මාධ්‍යෙවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බවත් මෙම සිද්ධීන්වලට සම්බන්ධ වූවන්ට අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීම කඩිනම් රජය මැලිවන බව වාර්තාවෙන් පෙන්වා දෙයි. මේ සිද්ධීන්ට අදාලව යුක්තිය ඉටුකිරීමට අවධානය යොමු විය යුතු බවත් වාර්තාවෙන් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුලු ජාත්‍යන්තර විද්වතුන්ගේ සහාය ලබා ගතයුතු බවද එමගින් පෙන්වා දෙයි.
මේවනතුරු සංක්‍රන්තික යුක්තිය ඉටුකිරීමට යම් යම් පියවර ගෙන ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන බවද මහකොමසාරිස්වරයා පෙන්වා දෙයි. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම හා හමුදාව අත්පත්කරගෙන ඇති ඉඩම් ජනසතු කිරීම කඩිනමින් සිදුවිය යුතු කාරණා දෙකක් බවත් මෙවර වාර්තාවෙන්ද පෙන්වා දෙයි. දැනටමත් රජයට අයත් අක්කර 2625ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 9288ක් නිදහස් කර ඇති බවත් හමුදා පාලනය යටතේ පවතින අනෙකුත් ඉඩම්ද වහා නිදහස් කළ යුතු යැයි ද සඳහන්ය. එමෙන්ම නැවත පදිංචි කිරීම සඳහා විදේශ ආධාර ලැබී තිබියදීත් ඒවා ප්‍රමාද වන්නේ රජය ඉඩම් නිදහස් කිරීමට කරන ප්‍රමාදය බැව්ද වාර්තාවෙන් පෙන්වා දෙයි. එමෙන්ම තවමත් අපරාධකරුවන් ලෙස සිරගතව සිටින්නන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ නිදහස් කිරීමට කඩිනම් පියවර ගැනීමට රජයේ අවධානය යොමු විය යුතු යැයි ද පෙන්වා දෙයි.
2015වසරින් පසුව ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශන නිදහස යම්තාක් දුරකට ස්තාපනය වී තිබීම මහකොමසාරිස් වාර්තාවෙන් ඇගැයිමට ලක් කර තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය විශාල දියුණුවක් බව ද එහි සඳහන්. 2016 ඔක්තෝම්බර් 20 යාපනේ සිසුන් දෙදෙනෙක් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වීම, ඇඹිලිපිටියේ තරුණයෙක් උඩුමහල සිට වැඩී මිය යාම ආදි සිද්ධීන් පොලිසිය සිය බලය අයුතු ලෙස භාවිත කළ අවස්ථාවන් බවත් පෙන්වා දෙයි. එමෙන්ම ආගමික නිදහසට හානි වන අන්දමින් ක්‍රිස්තියානියට විරුද්ධව සිද්ධී 88ක් සහ ඉස්ලාමයට විරුද්ධව අපහාසාත්මක ප්‍රකාශන කිහිපයක්ද සිදුව බවත් හුසේන් කුමාරයා පෙන්වා දෙයි. අලුත්ගම ප්‍රහාරය සම්බන්ධයෙන්ද මහකොමසාරිස්වරයා විශේෂ අවධානයක් යොමු කර තිබුණි. මීට අමතරව සුලුජාතීන්ට විරුද්ධව විවිධ ප්‍රහාරයන් සිදුවූ බවත් ඒ සියල්ල නැවැත්වීම රජයේ වගකීමක් බවත් හුසේන් කුමාරයා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මෙවර මහකොමසාරිස් හුසේන් කුමාරය ඉදිරිපත් කළ වාර්තාවෙන් සිර කොට ඇති අපරාධකරුවන් ඉක්මනින් නිදහස් කිරීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම, හමුදා පාලනය යටතේ තිබෙන ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මණින් ප්‍රතිසංස්කරණය කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සහ විදේශිකයන්ගේ සහභාගීත්වයෙන් යුත් අධිකරණයක් පිහිටුව යුක්තිය ඉටුකිරීම ආදී කරුණු කෙරෙහි රජය අවධානයම් යොමු කළ යුතු බව නිර්දේශ කෙරුණි. එසේ වුවත් 2015දී ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක් රජය ඉල්ලීම පරිදි ලබා දීමටත් සමුළුවේදී එකඟතාවය පළවී තිබේ.
34වන සැසිවාරයේ ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්වය විමසා බැලෙන අතර මාර්තු 22වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහකොමසාරිස් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවේ ප්‍රගතිය ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදි දැනට ඉදිරිපත්ව ඇති වර්තාව වෙනස් සංශෝදන සහිතව හෝ රහිතව නැවත ඉදිරිපත් විය හැකි බව පැවසේ. මාර්තු 24දා දක්වා පුරා මසකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේ ශ්‍රී ලංකාව, සුඩානය, ලිබියාව, සිරියාව ඇතුළු එක් එක් රටවල මානව හිමිකම් තත්වයන් මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්තික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙයි. මෙවර සැසිවාරය සඳහා රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් එක්ව සිටිති.


සකීෆ් සාම් තන්වීරි.

හිටපු කොටින් ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂ දේශපාලනයට පිවිසේ.

ජාතික ගැටලුවට විසඳුම් සොයමින් බිහි වූ කොටි ත්‍රස්ථවාදය පරදා වසර අටක් ගතවී හමාරයි. ත්‍රස්ථවාදය පරාජය කළේ යුද්ධයෙනි. ජාතික ගැටලුවට දිය හැකි හොඳම විසඳුම යුද්ධය නොවුනත් කොටි සංවිධානයේ ත්‍රස්ථ ක්‍රියාකාරකම්වලට අවියෙන් පිළිතුරු දීමට රජයට සිදුවිය. ත්‍රස්ථ සංවිධානය නැවත සන්නද්ධවිය නොහැකි තරමට බිමටම සමතලා කර දැමුණු. එහෙත් තවමත් ජාතික ගැටලුව විසඳී නැත. යුද්ධය නිමවීමෙන් අනතුරුව කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් පුනරුත්ථාපනය කරන ලදි. පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදීව සිය අයිතීන් දිනාගනු පිණිස 2015 මහමැතිවරණයේ තරඟ වැදීමට දෙමළ ජාතික සන්ධානයෙන් නාමයෝජනා අයදුම් කළහ. නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ට නාමයෝජන දීම ප්‍රතික්ෂේප කළහ. ඒ මොහොතේ එම පුනරුත්තාපනය වූ සාමාජිකයන් පැවසුවේ නාමයෝජනා නොදීම නිසා අප අධෛර්යමත් නොවන අතර ඉදිරියේදී වන්නියේ ජනතාවට සේවය කිරීම සඳහා වෙනමම පක්ෂයක් පිහිටුවන බවයි. මේ අයුරින් 1970 දශකය අවසානයේ එල්.ටී.ටී.ඊ තරුණ සංවිධානය බිහිවන්නේ එවක ප්‍රධාන දෙමළ පක්ෂය තරුණයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. පෙබරවාරි මස 28දින නාමයෝජනා අහිමි වීමේදී දුන් පොරොන්දුව පරිදි පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්‍ෂය යනුවෙන් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළහ.
මාර්තු 03වන දා පක්ෂය ප්‍රසිද්ධ කිරීම සඳහා මාධ්‍ය හමුවක් සාමාජිකයන් තිස්දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් සාම්පූර් කාලි කෝවිල අසල පැවැත්වූහ. මාධ්‍ය අමතමින් නව පක්ෂයේ සභාපති කන්දසාමි ඉන්බරාසා අදහස් දක්වමින් කියා සිටියේ නව පක්ෂය ආරම්භ කළේ පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් 12000කගේ එකතුවෙනි. පක්ෂය ආරම්භ කිරීමට මූලිකව හේතු වුණේ පුනරුත්තාපනය වූ අපට මෙතෙක් කිසිඳු උපකාරයක් නොලැබුණ නිසයි. සමහර සාමාජිකයන්ගේ ශරීරයේ තවමත් උණ්ඩ තිබෙනවා. ජීවත්වෙන්නේ තුවාල, ආබාධ සහිතවා. තවත් සමහර පිරිසක් තවමත් ඉන්නේ බන්ධනාගාරවල. ඒ නිසාවෙන්මයි අපි දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වුණේ. ඒ හරහා අපි අපේ අයිතීන් දිනාගන්නා උත්සහ කරනවා. වත්මන් රජය පුනරුත්තාපනය වූ අපිට විවිධ අයුරින් උදව් උපකාර කළා. එහෙත් දෙමළ ජාතික සන්ධානය අපි ගැන හොයලා බලන්නේ නැහැ. අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ. අපිට සලකන්නේ නෑ. අපි සෑහෙන්න රැවටුනා. දැන් ඔවුන් ගැන තිබුණ විශ්වාසය බිඳවැටුනා. ඒ නිසාම අපිට වෙනමම දේශපාලන පක්ෂයක් විදිහට සංවිධානය වීමට සිදු වුණා. අපේ අයිතීන් දිනීමට නැවත ආයුද අතට ගන්න බැහැ. නැවත කවදාවත් ආයුද ගන්න අපි සූදානමිනුත් නැහැ. ඒ නිසායි අපි ප්‍රජාතන්ත්‍රවාදීව අයිතීන් දිනාගැනීම සඳහා පක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ” යනුවෙනි.
පුනරුත්තාපනය වූවන් මෙලෙස දේශපාලනයට පිවිසීම ප්‍රශංසනීය දෙයකි. ජාතික ගැටලුවට විසඳුම අවි ආයුද නොවන බව ඔවුන්ද වටහා තිබේ. නමුත් පුනරුත්තාපනය වූවන් නව පක්ෂයක් පිහිටුවා ගත් පසු කොටි නැවත සංවිධානය වනවාය, නැවත අවිආයුද අතට ගැනීමට සූදානම් වනවාය යනුවෙන් දේශප්‍රේමී විචාරයන් දකුණට කියමින් කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව සිතීමට පටන්ගෙන ඇති පිරිස ආපස්සට හැරවීමටය. සිරකරුවන්ද මිනිසුන්ය යන පාඨයේ සැබෑ අරුත වටහා ගත හැකි නම් පුනරුත්ථාපනය වූවන් ද මිනිසුන්ය යන සත්‍යය පිළිනොගෙන සිටීමට හේතුවක් නැත. දේශපාලනය අයිතිය ඕනෑම පුරවැසියෙකු සතු මූලික අයිතියකි. යුද්ධයෙන් කොටි සංවිධානය පරාද කළත් හිටපු කොටි සාමාජිකයන්ගේ ජීවිතවලට හෝ අයිතීන්වලට අතතැබීමට කිසිවෙකුට අවසර නැත. ඔවුන් සාමාන්‍ය පොදු නීතිය අනුව සැලකිය යුතු අතර ඉන් පරිභාහිරව සැලකීම තවත් ත්‍රස්තවාදයකි.
තිස්වසරක කුරිරු යුද්ධය දකුණු හා උතුරු ජනතාවට එකසේ මහා විනාශයක් ගෙන දුන්නේය. රජයේ හමුදා සෙබලුන් දහස් සංක්‍යාවක් ඝාතනය වූ අතර එවැනිම ප්‍රමාණයක් ආබාධිතයන් ලෙස දිවි ගෙවති. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ඒ පිරිසට විවිධ ආධාර උපකාර හා සහන පිරිනමයි. අවි අතට ගත් කොටි සාමාජිකයන්ද විශාල පිරිසක් ඝාතනය වූහ. ඔවුන්ගේ දරුවන් අනාථ වූ අතර බිරිඳෑවරු වැන්දඹුවන් වූහ. තවත් කැරැළිකරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ ආබාධ සහිතව දිවි ගෙවති. නමුත් රජයෙන් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳව සෑහීට පත්විය නොහැකිය.
උතුරු නැඟෙනහිර ඇතුළු මුළු රටේම පුද්ගලයින් 60,000ක් දෙනා අතුරුදහන් වී ඇතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි. තවත් සංවිධානයක් සිදු කළ සමීක්ෂණයකින් පුද්ගලයින් 16000ක් අතුරදහන් වී ඇතැයි වාර්තා වේ. අතුරුදන් වූවන්ගේ ඥාතීන් බොහෝ දෙනෙක් මරණ සහතික ඉල්ලුම් කිරීමට අකැමැත්තක් දක්වයි. ඔවුන් නැවත ‍තම නිවෙස් බලා පැමිණෙතෙයි සමීපතමයින් දැඩිවෙ බලාපොරොත්තු වෙයි. ස්වාමිපුරුෂයා අතුරුදහන් වී සිටින ඇතැම් පවුල්වල මරණ සහතිකය ලබා නැති නිස බිරිඳ හා දරුවාට රජයෙන් ලැබෙන සහන, ප්‍රතිලාභ, ඉඩම්, දේපොළ පරිහරණය කිරීමට ඇති අවස්ථා අහිමිව තිබේ.
යුද්ධියෙන් පසු සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීම සඳහා වන අතුරුදහන් වූවන් පිළිබඳව පනත් සම්මත වුවත් තවමත් නිසි යාන්ත්‍රණයක් අනුව ක්‍රියාත්මක නොවීමත් තවත් එක් ගැටලුවකි. දමිලයන් දෙමුහුන් අධිකරණයක් ඉල්ලා සිටිනුයේ යුද ගැටුම්වල වින්දිතයන්ට අධිකරණ පද්ධතිය මාර්ගයෙන් සහනයක් අපේක්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදයන්, මග ඇහිරීම් හා දිගින් දිගටම ඔවුන්ට සිදුවූ අසාධාරණකම් ඉදිරියේ රජයේ කෙරේ ඔවුන්ට තිබුණු විශ්වාසය බිඳවැටීම නිසාය. කෙසේ වෙතත් නැවත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාවත් සමගා නව බලාපොරොත්තුවක් දමිළ ජනයා තුළ ජනිතව තිබේ. අන්‍යෝන්‍ය විශ්වාසය දිගුකාලීන සාමය හා සංහිඳියාවට අත්‍යවශ්‍යය. විරසක දෙපාර්ශ්වයක් අතර සිදුවිය යුතු සංහිඳියාවේදී කිනම් පාර්ශ්වයක් හෝ සැඟවුණු අරමුණු හෝ සැඟවුණු න්‍යාය පත‍්‍ර නොමැතිව සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, සංහිඳියාව වෙනුවෙන් කැපවෙන්නේ නම් එය අගය කළ යුතුය.
යුද්ධය අවසන් වී වසර 03 ක්‌ වැනි කෙටි කාලයකදී හිටපු එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 11,000 ක්‌ දෙනා පුනරුත්ථාපනය වී යළි සමාජගත වූහ. ඒ අතරින් හිටපු එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් ලෙස සිටි 212 දෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසුනහ. ළමා සොල්දාදුවන් ලෙස සිටි 512 දෙනෙක්‌ ඔවුන්ගේ දෙමාපියන් භාරයට පත්කවූහ. ඉන් බහුතරයක් නැවත පාසැල් අධ්‍යාපනයට යොමු වූහ. පුනරුත්තාපනය වූ 3500 දෙනෙක්‌ සිවිල් ආරක්‌ෂක බළකායට බඳවා ගනු ලැබීය. තවත් විශාල පිරිසක් විවිධ හස්ත කර්මාන්ත හා කෘෂිකාර්මික කටයුතුවලට පිවිස සිටිති.

තම නායකයන් විසින් වැරදි කළ වැරදි මඟපෙන්වීම් නිසා විනාශකාරි ජීවිතයකට පිවිසීමට සිදුවූ ජනයා යථා ජීවිතයකට පැමිණ සිටිති. ඒ. අමිර්තලිංගම්, ආචාර්ය නීලන් තිරුචෙල්වම්, තංගතුරෙයි හා ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි රට පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන්ව එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය වූහ. එහෙත් අද එම සංවිධානයේම පුනරුත්ථාපනය වූවන් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස සිටිති. එබැවින් පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්‍ෂය” තවත් ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ඊරෝස් හෝ ඊපීඩීපියක් නොවීමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රිකව පවත්වාගෙන යාමට දෙමළ ජාතික සන්ධනය හා ප්‍රධාන පක්ෂ වගබලාගත යුතුය. ජාතික ගැටලුව විසඳීමේ සෑම කෙනෙක්ගේම අයිතීන් සුරකීම වැදගත් වේ. එමෙන් ජාතික සාමය සාධනය කරගත් හැක්කේ ලාංකික ජනසමාජයක් බිහි කිරීමෙන් පසුවයි. යුද්ධයකට මැදි වූ අප අතර තිබෙන දුරස්තභාවය අඩු කර සමීපාතාවක් ගොඩ නැගීමට සෑම ජනවර්ගයක්ම ඔවුන්ගේ දායකත්වය දීම සැබෑ සංහිඳියාව බිහි කිරීමට රුකුල් වේ.