1992 වසරේ තේ හා රබර් වතු විශාල ගණනක් පෞද්ගලීකරණය
කෙරිනි. ඊට පෙර වතුකම්කරුවන් සහ වතු නිළධාරීන්ගේ වේතන ගෙවන ලද්දේ රාජ්‍ය පඩි පාලක
සභාව විසිනි. ඒ යුගයේ කම්කරුවන් වැටුප් සම්බන්ධයෙන් මතුවන ගැටලු පවතින ආණ්ඩුව සමඟ
ඍජුව විසඳගත්හ. නමුත් වතු පෞද්ගලීරණය කිරීමෙන් පසු අසරණ වන වතු කම්කරුවන් සහ වතු
නිළධාරීන් එක් එක් සමාගම් විසින් නියම කරන අසාධාරණ වැටුපට වැඩ කිරීමට සිදුවිය. එම
අසාධාරණ ක්‍රමයට එරෙහිව කම්කරුවන් සහ වතු නිළධාරීන් නැගී සිටීමේ ප්‍රතිපලයක් ලෙස
වතු පෞද්ගලීකරණය කර වසර 7කට (1999) පසු සාමුහික ගිවිසුම් ක්‍රමය හඳුන්වා දෙන ලදී.
දෙවසරකට වරක් වතුකම්කරු වෘතිය සමිති, හා
හාම්පුතුන්ගේ සංගමය අතර ද තුන් වසරකට වරක් වතු නිළධාරි වෘතීය සමිති හා හාම්පුතුන්ගේ
සංගමය අතර ඇතිකරගන්නා සාමුහික ගිවිසුම අනුව වතුකම්කරුවන්ගේ හා නිළධාරීන්ගේ වැටුප්
වැඩි කිරීම සිදුකරනු ලැබේ. 2013 ගිවිසුමෙන් පසු 2015දී කම්කරු සාමුහික ගිවිසුම
අත්සන් කිරීමට නියමිත වුවද හාම්පුතුන් එය මග හැරීය. එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ
තොණඩමන්ගේ නායකත්වයෙන් යුතු CWC, LJEWU යන වෘතීය සමිති හා හාම්පුතුන්ගේ සංගමය අතරයි. හාම්පුතුන්ගේ සංගමය ගිවිසුම අත්සන් කිරීම දිගින් දිගටම මග හරිද්දි කම්කරුවන් පාරට බැස විරෝධය පෑහ. දින දහයක පමණ සටනින් පසු හාම්පුතුන්ගේ සංගමයට සාමුහික ගිවිසුමට අත්සන් කිරීමට සිදුවිය.
2013 ගිවිසුමට අනුව වතු කම්කරුවන්ට හිමිවන දෛනික වේතනය
රුපියල් 500 නොඉක්මවීය. 2016 වන විට වතු කම්කරුවන් ජීවන වියදමට සාපේක්ෂව ඉල්ලා
සිටියේ රුපියල් 1000ක පඩි වැඩිවීමකි. ඒ වන විට ආණ්ඩුව ද පොරොන්දු වී සිටියේ වතු
කම්කරුවන්ගේ දෛනික වැටුප 1000 දක්වා වැඩි කරන බවයි. නමුත් සමාගම් පාඩු ලබන බව
පවසමින් හාම්පුතුන්ගේ සංගමය පඩි වැඩි කිරීමට අකැමැති වූහ. කම්කරු අමාත්‍ය වරයාගේද
මැදිහත් වීමෙන් පසු හාම්පුතුන්ගේ සංගම් කැමැත්ත පළකර තිබුණේ සතියේ දින 4ක් සඳහා
රුපියල් 730ක් ද ඉතිරි දින 3 සඳහා සෑම අමු තේ දලූ කිලෝවකටම රුපියල් 35 ගණනේ ලබා
දීමටය. එහෙත් කම්කරුවන්ගේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස සතියේ දින හයක් සඳහා රුපියල්
730 ගණනේ ගෙවීමට ද ඉදිරි දිනයට පමණක් සෑම අමු තේ දලු කිලෝවකටම රුපියල් 35 බැගින්
ගෙවීමට ද හාම්පුතුන්ගේ සංගමය එකඟවිය.
වතු කම්කරු වැටුප් ගැටලු සම්බන්ධයෙන් අප කළ
විමසුමකට පිළිතුරු දෙමින් ලංකා ජාතික වතු කම්කරු සමිතියේ පරිපාලන ලේකම් වේලායුදම්
යුත්‍රදීපන් මහතා මෙසේ පැවසීය. “අපි ගිය ඔක්තොම්බර් මාසේ සාමූහික
ගිවිසුමට අත්සන් කළා. ඊට කලින් කවදාවත් කම්කරුවෙක් දලූ කඩන්න නියමිත ප්‍රමාණයක් (Norm) තිබුණේ නැහැ. මෙවර ගිවිසුම අනුව ස්තීර ගෙවීම
රුපියල් 500කුත් පැමිණීමේ දීමනාව රුපියල් 60ක් හා PSS රුපියල් 30ක් සහ දිනයට නියමිත ප්‍රමාණයේ දලු
කැඞීම වෙනුවෙන් රුපියල් 140ක් වශයෙන් රුපියල් 730ක දෛනික වැටුපකට අත්සන් කළා.
නමුත් වතු පරිපාලකයෝ හැම වත්තකින්ම දිනකට කිලෝ 18ක් කැඞීමට නියම කරනවා. එම ප්‍රමාණයට
දලු කඩන්න බැරි වන සෑම කෙනෙක්ගෙන්ම රුපියල් 140 කපා හරිනවා. අපි සාමුහික ගිවිසුමේදී
දෛනික නියමිත දලු ප්‍රමාණ සඳහන් කරළා නෑදලූ කඩන දවස උදේ අදාල වත්තේ කැඩිය හැකි දලු
ප්‍රමාණය වතු පාලකයේ තීරණය කළ යුතු බවයි ගිවිසුමේ සඳහන් වෙන්නේ. නමුත් පරිපාලකයේ
කාර්යාලය ඉදගෙන හැම වත්තකින්ම කිලෝ 18 බැගින් කඩන්න කියනවා. ගැටලූව තියෙන්න දවසින්
දවස, වතුවලින් වතුවල කැඩිය හැකි දලු ප්‍රමාණය වෙනස් වෙනවා. මේක දැන් ලොකු ගැටලුවක්
බවට පත්වෙලා. බොහෝ තැන්වල ප්‍රශ්න මතුවෙලා. කම්කරුවන් සහා වතු පාලකයෝ අතර ගැටුම්
ඇති වෙනවා. කිලෝ 18ක් කඩන්න කීවට 60%කට වැඩි ප්‍රමාණයකට එම ප්‍රමාණය කඩන්න බැහැ. ඒ
කියන්නේ දිනකට කැඩිය යුතු සාමාන්‍ය කිලෝ ප්‍රමාණය කිලෝ 18ට වඩා අඩු විය යුතුයි. මේ
ගැටලූව සම්බන්ධයෙන් ඉදිරියේදී අපි පාර්ලිමෙන්තුවට වාර්තාවක් දීමට නියමිතයි. අපි
ඉදිරියේදි කම්කරු අමාත්යංමශය සමඟත් මේ ගැන සාකච්ජා කර හොඳ තීරණයක් ගන්න
බලාපොරොත්තු වෙනවා. අපි වාර්තාවක් දීමට සූදානම් බව දැන ගත්ත නිසා තව තවත්
කම්කරුවන්ව පාලනධිකාරිය පීඩා කරනවා.”
වතු කම්කරුවන්ට අදාල වැටුප් සම්බන්ධයෙන් කළ
ගිවිසුමෙන් පසු ප්‍රධාන තේ වතු සමාගම් 21න් 15ක්ම කම්කරුවන්ට නිසි අයුරින් වැටුප්
නොගෙවන බව අප කළ විමසුම්වලින් අණාවරණය විය. ඔවුනට නිසි පරිදි රුපියල් 140 දීමනාව
දී තිබුණේ සමාගම් හයකින් පමණි. වතු කම්කරු වෘතීය සමිති පවසන්නේ වැටුප් නිසි ක්‍රමවේදයකට
නොගවන්නේ නම් නැවත වරක් උද්ඝෝෂණ කිරීමට සිදුවන බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන්ට
ලැබූ පැමිණිලි අනුව කම්කරු අමාත්‍යංශය ඉදිරි සතිය තුළ කම්කරුවන්ට නිසි පරිදි
වැටුප් නොගෙවන සමාගම් සමග සාකච්ජා කර විසඳුමක් ලබා දීමට නියමිතය.
වතුකම්කරුවන් සමග පසුගිය ඔක්තොම්බර් මස හාම්පුතුන්
ගිවිසුමකට එළඹුනද වතු නිළධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අත්සන් තැබීමේ ක්‍රියාවලිය
හාම්පුතුන් අද වන තෙක්ම මගහැර තිබේ. එමනිසා වතු නිළධාරීන්ගේ වැටුප් කම්කරුවන්ගේ
වැටුපටත් වඩා අඩු බව නිළධාරීන්ගේ සංගමය පවසයි. කාර්යාල, ක්ෂේත්‍ර, කම්හල්, සුභසාධන සහ ප්‍රවාහන යන අංශයන්හි රට
පුරා වතු නිළධාරීන් 15,000ක් සිටිති. හාම්පුතුන්ගේ සංගමය සමඟ වතු නිළධාරීන්
නියෝජනය කරමින් අත්සන් කරනු ලබන්නේ වතු සේවා නිළධාරීන්ගේ සංගමයයි. 2013 දී
නිළධාරීන්ගේ සංගමය අත්සන් කළ ගිවිසුම නැවත අත්සන් කිරීමට නියමුත වූ පසුගිය
ඔක්තොම්බර් අත්සන් කිරීම පැහැර හැරීම නිසා වතු නිළධාරීන් තවමත් ලබන්නේ 2013
ගිවිසුම පරිදි නියම වූ වැටුපයි. එනම් තුන් වසරකට පෙර ගිවිසගත් වැටුප් ප්‍රමාණයයි.
ලංකා වතු සේවා නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති
ධම්මික ජයවර්ධන මහතා වතු නිළධාරීන් මුහුණ පා සිටින වැටුප් ආරවුල සම්බන්ධයෙන්
පැහැදිළි කිරීමක් කළේය. “ගිවිසුම අවසන් වෙලා දැන් මාස 4ක් විතර
වෙනවා. ඒ ගැන අපි සාකච්ජා කිහිපයකටම ගියා. දැනට 12%ක 15%ක පඩි වැඩිවීමක් දෙන්න
පොරොන්දු වෙලා තියෙනවා. ඒත් අපි ඉල්ලන්නේ 40%ක පඩි වැඩිවීමක්. අපි 40%ක වැඩිවීමක් ඉල්ලන්න කරුණු ගණනාවක්ම
තියෙනවා. පහුගිය කාලේ රාජ්‍ය සෙවකයන්ට රුපියල් 10000ක පඩි වැඩිවීමක් හා පෞද්ගලික
අංශයට රුපියල් 2500ක පඩි වැඩිවීමක් ලැබුණා. ඒත් වතු නිළධාරීන්ට සාමූහික ගිවිසුම
නිසා එම වැඩිවීම ලැබුණෙත් නැහැ. 1992 දී නිළධාරියෙක්ගේ වැටුප 4600ක් පමණ වෙද්දි
කම්කරුවෙක්ට මාසික වැටුප 1900ක් පමණ වුණා. 2017 දී නිළධාරියෙක්ගේ ආරම්භ පඩිය
රුපියල් 18000ක් පමණ වෙද්දි කම්කරුවෙක්ගේ පඩිය 24000ක් පමණ වෙනවා. මේ කාලවකවානුව
තුළ නිළධාරීන්ගේ වැටුප 13000කින් වැඩිවෙද්දි කම්කරුවන්ගේ වැටුප 22000කින් වැඩිවී
තිබෙනවා. කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පවා ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුපෙන්
ජීවත් වෙන්නත් අමාරුයි. අපි මතුකරුන්නේ ඊට සාපෙක්ෂව නිළධාරීන්ගේ වැටුපද වැඩිවිය
යුතුයි. අපි මේ සටන සාමකාමීව නිමාකරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඒ වැඩි වීම ලබා
නොදෙනවා නම් වෙනත් වෘතීයමය ක්‍රියාමාර්ගයකට යන්න අපි බලාපොරොත්තු වෙනවා.”
වතු කම්කරු වැටුප මෙන්ම නිළධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද පවතින්නේ
අර්බුධකාරි තත්වයකි. වතු සමාගම් විශාල
වශයෙන් ලාභ ලබන සමයේ දී කිසිදු බෝනසයක් නිළධාරීන්ට හෝ කම්කරුවන්ට ලබා නොදෙයි.
නමුත් පාඩු ලබන කාලවලදී එම පාඩුව නිළධාරීන් සහ කම්කරුවන් මත පටවයි. දැනට ලැබී ඇති
තොරතුරු අනුව තේ වතු පාඩු ලැබීමට හේතුව මේ ක්ෂේත්‍රයේ පවතින දූෂණ හා වංචාවන්ය.
කම්කරු, නිළධාරී හා ප්‍රවාහන වියදම් සඳහා ආදායමෙන් 5% - 10%ත් අතර ප්‍රමාණයක් වැය වේ.
නමුත් තවත් 35%ක් පමණ අපැහැදිලි වියදමික් තේ කර්මාන්තයේ පවිති. මේ අයුරින් තිරයෙන්
පිටුපස සිදුවන ගනුදෙනු නිසා සිදුවන පාඩුව වතු කම්කරුවන් සහ නිළධාරීන් මත පැටවීම
පිළිගත නොහැකි අසාධාරණයකි.
සකීෆ් සාම් තන්වීරි.
No comments:
Post a Comment