Monday, January 30, 2017

රට ඉඳලා ඡන්දෙ දෙන්නෙ කොහොමද?



විදෙස්ගත වූවෙන්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් සිවිල් සමාජය දිගු කලක් තිස්සේ සිදු කරන ලද හ`ඩ නැගීමේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබීය. ඒ 2016 අපේ‍්‍රල් 06 වැනි දිනයි. එහෙත් ඉන් සය මසක් ගෙවුණ ද එම කාරක සභාවඑකදු රැස්වීමක් හෝ පැවැත්වීමට අපොහොසත් විය. ඉන් අනතුරුව ඒ පිළිබඳ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස  තලතා අතුකෝරාළ අමාත්‍යවරියගේ ප‍්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කොට ඇත. එකී කාරක සභාව ද මෙතෙක් රැස්ව ඇත්තේ එක් වතාවක් පමණක් බව එම සභාවේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.


මැතිවරණ කොමිෂන් සභාවේ එක් ප‍්‍රමුඛ තේමා පාඨයක් වන්නේ, කිසිදු ඡුන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක‍්‍රියාවලියක්  ය යන්නයි. එහෙත් සෑම මැතිවරණයකදී ම අත්හැරෙන විදෙස්ගත ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්නය. ගෝලීය හා සළකා බැලීමේ දී නව ප‍්‍රවණතාවක් වන්නේ දියුණු රටවල් ඉලක්ක කර ගනිමින් සිදුකරන නීත්‍යනුකූල හා නීති විරෝධි සංක‍්‍රමණයි. මේ නිසාම ඒ  ඒ රටවල, තම මව් රටෙහි සිදුවන සිදුවීම් කෙරෙහි නිරන්තර අවදානයකින් පසුවන ඩයස්පෝරාවක් බිහි වී ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සිංහල පිරිස් හා කැනඩාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයන් මීට නිදසුන් ය. මින් බහුතරයක් තාවකාලික බලපත‍්‍රයක් හෝ ද්විත්ත්ව පුරවැසිභාවයක් සහිතව ඒ ඒ රටවල දිවිගෙවන්නෝ වෙති. ඔවුන් දේශපාලනිකව යම් පමණකට ක‍්‍රියාකාරී වුව ද තම මව් රටේ ජනතා නියෝජිතයන් තේරීම සඳහා ඔවුන් හට අවස්ථාවක් නොමැති වීම නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරන අභියෝගයකි. අනෙක් පසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම යැපීම් මාර්ගය වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු කාන්තාවන් හා කොරියාව ජපානය වැනි නැගෙනහිර ආසියතික කලාපයේ කම්කරුවන් වශයෙන් තම ශ‍්‍රමය වගුරා මව් රටට එවන රන්මසුරන්ය.

විදෙස්ගත වූවන්ගේ සේවය නිසි ලෙස කළමනාකරණය කිරීම රජයේ වගකීමකි. නමුත් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් නිසිලෙස හඳුනා ගනිමින් ඊට අදාළ ක‍්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අසමත් රටවල් අතරින් ශ‍්‍රී ලංකාව ඉදිරිපෙළේ සිටී. පිලිපීනය වැනි රටක් තම රටවැසියන් රැකියාවක් සඳහා විදෙස්ගත වන මොහොතේ අදාළ රට හා ඇතිකර ගෙන ඇති ඉතා නිරවුල් ද්විපාර්ශවික ගිවිසුමකට යටත් ව එය කළ ද මෙරටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් හට තවමත් මෙතෙක් විදෙස්ගත වන ශ‍්‍රී ලාංකිකයන් ප්‍රමිතියක් නැත.
ශ‍්‍රී ලංකාව තම කැමැත්ත පළ කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් හා එක`ගතාවලට අනුව මෙන්ම වසර 2008 දී මෙරටේ හඳුන්වා දුන් සංක‍්‍රමණය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තීන්ගේ එක් ප‍්‍රධාන යෝජනාවක් වන්නේ ඔවුන්ගේ ජන්ද අයිතිය ආරක්‍ෂා කර දීමයි. විදෙස්ගත වූවන්ගේ ඡන්ද අයිතය ආරක්ෂා කර ඇති රටවල් එසේ කර ඇත්තේ වසර ගණනාවක අත්හදා බැලීම් වලින් පසුවය. නිදසුනක් ලෙස  මෙකී ඡන්ද පහසුකම යම් පමණකට සාර්ථකව අත්හදා බැලූ රටක් ලෙස සැළකිය හැකි පිලිපීනය එකී කාර්යයට අදාළ නීති සම්පාදනය ඇතුළු අනෙකුත් කාර්යයන් අරඹන ලද්දේ වසර 1987 දීය. එය පළමු වරට අත්හදා බලන ලද්දේ වසර 2004 පැවති මහ මැතිවරණයේදී ය.

පාර්ලිමේන්තුව විසින් පිහිටුවූ විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් එම කමිටු සාමාජික එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ප්‍රකාශ කළේය. “විදෙස්ගත වූවන්ගේ ඡන්දය අයිතිය දැනට ලෝකයේ රටවල්වල භාවිත කරන ක්‍රමවේද පිළිබඳව දැනට කමිටුව සොයා බලමින් ඉන්නවා. දැනට ලෝකයේ රටටවල් 61ක විදෙස්ගතවූවන්ට ඡන්ද අයිතිය දීලත් තිබෙනවා. මේ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා විදේශකටයුතු අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තුමේන්තු හා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරන්න. දැනට ගැටලුවක් විදිහට මතුවෙලා තිබෙන්නේ විදෙස්ගතවූවන් සියලු දෙනාටම ඡන්දය අයිතිය ලබා දෙනවද නැතිනම් විදෙස්ගත ශ්‍රමිකයන්ටද විතරක්ද දෙන්නෙ කියලා. නමුත් ඒක බාධාවක් වෙයි කියලා මම හිතන්නෙ නැහ. ඒත් එක්කම ද්විත්ව පුරවැසිභාවය අරගෙන තිබෙන පිරිස තීරණය කරයි ඡන්දෙ දෙන්නෙ මොන රටටද කියලා. නමුත් අපි කියන්නේ ශ්‍රී ලාංකික සෑම කෙනෙක්ටම ඡන්ද අයිතිය දිය යුතුයි කියලයි.”


විදෙස්ගත ජනතාව වෙත තම ඡෙන්දය භාවිත කිරීමේ පහසුකම් සළසාදීමේ දී ජාත්‍යන්තර මට්ටමෙන් අනුගමනය කරනු ලබන ක‍්‍රමවේද කිහිපයක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය. “පළමුව Return Voting – ආපසු පැමිණ ඡන්දය භාවිත කිරීමේ ක්‍රමය.  මෙය සෘජු ලෙස විදෙස්ගතව ඡන්ද භාවිතයට අදාළ වන්නක් නෙවෙයි. එහෙත් මෙහිදී සිදු වන්නේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ හෝ වෙනත් ගොඩබසින ස්ථානයක් ආශ‍්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තමන් රාජකාරි කරන රටෙහි ලියාපදිංචි වූ පුරවැසියන් හට යළිත් මව් රටට පැමිණ ඡන්දය භාවිතකොට එසැණින් ආපසු යාමට පහසුකම් සැළසීමයි. මෙවැනි ක‍්‍රමයක් භාවිත කළ හැක්කේ ධනවත් රටවල ජන්දදායකයින්ට පමණි. දෙවන ක්‍රමය In Person Polling Station - අදාළ විදෙස්ගත රටවල්වල  තානාපති හෝ කොන්සියුලර් කාර්යාලවලට පරිබාහිරව පිහිටුවන ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය භාවිත කිරීමට මෙහිදී පහසුකම් සළසා දෙයි. එහෙත් ඒ සඳහා වැය වන මුදල අතිවිශාල එකක් වන අතර වෙනත් රටක ඡන්දයක් ස`දහා තම රටෙහි භූමිය එලෙස භාවිත කිරීමට සමහර රටවල් එක`ගවේද යන්න සැක සහිතයි. තෙවන ක්‍රමය Embassy Voting.  මෙහිදී සිදු වන්නේ එක් එක් රටවල පිහිටුවා ඇති තානාපති හෝ කොන්සියුලර් කාර්යාලය ආශ‍්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමයි. මෙය  ඉතා බහුලව භාවිත කරනු ලබන ඉතා සුරක්‍ෂිත ක‍්‍රමවේදයක් වුවද ගැටළුව වන්නේ යම් රටක අදාළ කාර්යාලවලට ඉතා බැහැරින් රාජකාරි කරන ඡන්දදායකයෙකු එදිනට නිවාඩු රැගෙන විශාල දුරක් ගෙවාගෙන පැමිණේ ද යන්නයි. ඊලඟ ක්‍රමය Postal Voting ක්‍රමය.  තම මව් රටේ ඡන්දයට ලියාපදිංචිව වෙනත් රටක  දිවි ගෙවන ඡන්දදායකයන්ට තැපැල් මගින් ඡන්ද පත‍්‍රිකාව ලැබීම හා පෙරළා ගෙන්වා ගැනීම මෙහිදී සිදු කෙරේ. මෙය බොහෝ රටවල අනුගමනය කරනු ලබන ඉතා සුරක්ෂිත හා පහසු ක‍්‍රමවේදයකි. නවීනම ක්‍රමය වන්නේ Internet Voting ක්‍රමයයි. අන්තර්ජාලය හරහා තම ඡන්දය භාවිත කිරීම මින් සිදු වේ. මෙය සුරක්‍ෂිත යැයි හැ`ගුණ ද මෑත කාලීනව ඇමරිකාව වැනි රටවල අයථා පරිහරණයට ලක්වීමෙන් එයද දොෂ සහිතය. ඉහත ක‍්‍රමවලට අමතරව ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල් දැනට භාවිත කරන පරිදි ෆැක්ස් මගින් ඡන්දය භාවිත කිරීම ද සිදු කිරීමේ හැකියාව ද පවතී.

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හට තම ඡන්දය භාවිතයට අදාළ පහසුකම් සැළසීම ඉතා මිල අධික ක‍්‍රියාවලියක් බව ඉතා පැහැදිලි කරුණකි. සමහරවිටෙක එය අප රට වැනි ආර්ථික වශයෙන් ඉහළ ප‍්‍රගතියක් මෙතෙක් අත්කරගෙන නොමැති රටකට දැරිය නොහැකි වියදමක් ද විය හැක. එහෙත් රජයේ නාස්තිකාර වියදම් හා විදෙස්ගත පිරිසේ සංඛ්‍යාත්මක විශාලත්වය සැළකීමේ දී කිසිදු රජයකට ඒ පිළිබ`දව නිහ`ඩව සිටීමේ හැකියාවක් ද නැත. ඒ නිසා ඉහත කරුණ සළකා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වගකීම විය යුත්තේ අප රටට වඩාත් ගැළපෙන ක‍්‍රමවේදය සොයා ගැනීමයි. එහිලා මැතිවරණ කොමිෂන් සභාව ඉතා සුභවාදී ප‍්‍රවේශයකින් කටයුතු කිරීම පැසසිය යුත්තකි. තවද විදෙස්ගත සියලු ශී‍්‍ර ලාංකිකයන් හට මෙකී අයිතිවාසිකම එකවර ලබාදීම ගැටළු සහගත වන්නේ නම් කොටස් වශයෙන් එක් එක් ක්ෂේත‍්‍රයන් වෙත මෙකී පහසුකම ලබාදීමට කි‍්‍රයා කළ හැකිය. අත්හදාබැලීමක් ලෙස පළමුවඉන්දියාව වැනි රටක්  සිදු කරන පරිදි  රාජ්‍යතාන්ත‍්‍රික හා හමුදාමය පිරිස්වලට අවස්ථාව සළසා දීම කළ හැකිය. අනෙක් පසින් ඇති දැවැන්ත අභියෝගය වන්නේ මෙවැනි ක‍්‍රමවේදයක් හ`දුන්වාදෙන්නේ නම් ඊට සමගාමීව අදාළ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ  දැවැන්ත වැඩසටහනක් ද නිර්මාණය කළයුතු වීමය. එවැනි මූලික අවබෝධයක් විදෙස්ගත ඡුන්දදායකයින්ට නොමැති වුවහොත් සිදුවන්නේ ඔවුන්ගේ ඡන්දය අවභාවිත වීමය.

සමාජජාලා මාධ්‍ය බහුලව පැතිරී ඇති මෙවන් සමයක ජාත්‍යාලය හෝ දේශපේ‍්‍රමීත්වය දල්වා තම ඡන්ද මඩිය තර කර ගැනීමට දේශපාලඥයන් පසුබට නොවේයැයි කිසිවෙකුටත් සහතික විය නොහැක. මෙරටේ බොහෝ සංවිධාන හා විද්වතුන්ගේ විශ්වාසය වන්නේ මෙවැනි ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට පෙර සිදු කළ යුතු පළමු කාර්යය විය යුත්තේ මෙරටේ විදෙස් සේවය නිර්දේශපාලනීකරණය කිරීමයි. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා අප රටේ දේශපාලඥයන් අවංකව හා පරිත්‍යාගශීලීව කටයුතු කරාවි යැයි සිතීම ඉතා අපහසු කරුණකි. කෙසේ වුවත් මව්බිමේ බර කරට ගත් විදෙස්ගත වූ රටවිරුවන්ට නිරායාසයෙන් ලැබිය යුතු අයිතිය ලබාදීම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සතු පරම වගකීම වන අතර එකී කාර්යය ස`දහා මෙම කමිටුවේ සාමාජිකයින් පක්ෂ භේදයකින් තොරව එකට එක්ව කටයුතු කරාවිය යන්න අපගේ විශ්වාසයයි.

සැකසුම සකීෆ් සාම් තන්වීරි.

විශේෂ ස්තූතිය මංජුල ගජනායක මහතා.

බැඳුම්කර් පාර්ලිමේන්තු විවාදය.

බැඳුම්කර් පාර්ලිමේන්තු විවාදය.

දූෂණ, වංචා, පවුල් පාලනය යන චෝදන එල්ල කරමින් රෙජීම පාලනය පරාජය කරමින් යහපාලන පක්ෂය බලයට පත්ව දින 50ක් ගතවූවා පමණි මහබැංකු ඉතිහාසය මහා මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩිය සිදුවූයේ රටට බිලියයන ගණනාවක් පාඩුකරමිනි. බැඳුම්කර විකිණීමේදී 9%ක පමණ පොලියට විකුණනවා වෙනුවට 12%කට පමණ විකුණා තිබුණි. මෙම වංචාව කිරීම සම්බන්ධයෙන් එවක මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා එල්ල වූ අතර ඔහුට බැංකු අධිපති ධූරයෙන්ද සමුදෙන්නට සිදු විය. මහබැංකු මහ මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩියේ සුල මුල සොයාගනු ලැබුවේ කෝප් කමිටුව විසිනි. මෙම ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ වූවන් දේශපාලන අනුහසින් නීතියෙන් දිගින් දිගටම ගැලෙවෙද්දි ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම් මධ්‍යයේ බැඳුම්කර සිද්ධිය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සිදු විය. නමුත් විවාදයට ගැනීමට දිනකට පෙර එම විවාදය නැවැත්වීමේ තැතක් ද තිබුණි. ඒ සියල්ල ව්‍යර්ත වෙද්දි පසුගිය 25වන බදාදා බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ ඇරඹිනි. නමුත් එදින විවාදයට අගමැති වරයා පැමිණ නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ නොසිටීමත් කාගෙත් අවධානයට ලක් විය.



බැඳුම්කර විවාදය ආරම්භයට පෙර කතානායකවරයා මෙම විවාදය චරිත ඝාතනයකින් තොරව පවත්වාගෙන යන ලෙස ඉල්ලනවා යනුවෙන් විවාදයට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. විවාදයේ මුල් කතිකයා ලෙස සිය ආසනෙයන් නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම ඉල්ලීමට උත්තර දුන්නේ මම කිසිවකුගේ පෞද්ගලික චරිත ඝාතනයක්‌ කරන්නෙ නෑ. ඒත් හොරාට හොරා යෑයි කියන්නත් මම පසුබට වෙන්නෙත් නෑ යනුවෙනි. එතැන් සිට මන්ත්‍රීවරයේ දැඩිව ආණ්ඩුව විවේචනය කළේය. ආණ්ඩුව ජනවරමට පයින් ගසා වංචාවක් සිදුකළා. දැන් ඒ වංචනිකයන් ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි ආශිර්වාද කරන්නත් කටයුතු කරනවා. මේ ගනුදෙනුවේ ප්‍රධාන ආරක්ෂකයා වී සිටින්නේ අගමැතිවරයා යැයි ඍජුවම අගමැතිවරයාට ඇගිල්ල දිගු කළේය. ආණ්ඩුවේ මේ ක්‍රියාකලාප දූෂිතයන්ට දඬුවම් කිරීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අනතුරුව මන්ත්‍රීවරයා බැඳුම්කර සිද්ධියෙන් සිදුවූ පාඩුව සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කළේය. පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් සෘජුවම කෝටි 14100 ක බැඳුම්කර මිලට ගෙන තිබෙනවා. පර්පචුවල් සමාගම වෙනත් ආයතන හරහා රුපියල් කෝටි 8600 ක බැඳුම්කර මිලට ගෙන තිබෙනවා. ඉන් සියයට 95 ක්‌ මිලට ගෙන තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලින්. මෙමගින් මිලියන 14900 ක පාඩුවක්‌ මාස 14 ක්‌ තුළ සේවක අර්ථසාධක අරමුදලට සිදුව තිබෙනවා. මේ පාඩුවූ මුදල ගලාගෙන ගිහින් තියෙන්නෙ පර්පචුවල් සමාගමට. සාකච්ඡාවට ලබාදෙන කාලය තුළ පර්පචුවල් සමාගමේ ලාභය රුපියල් මිලියන 13,000 යි. බැඳුම්කර වෙළෙඳපොළේ සෙසු ප්‍රාථමික වෙළෙඳ සමාගම්වල වත්කම් ප්‍රමාණය සියයට තිස්‌ එකයි. නමුත් පර්පචුවල් සමාගම වසර දෙකක්‌ තුළ වත්කම් සියයට 1853 කින් වර්ධනය වෙලා. කාර්ය මණ්‌ඩලය 14 කින් එතරම් ලොකු ලාභයක් ලබන්න බැහැ.මේ ගනුදෙනුව හරහා විශාල පාඩුවක්‌ ආණ්ඩුවට සිදුව තිබෙනවා. වගඋත්තරකරුවන් නීතිය හමුවට කැඳවිය යුතුයි. හොරකමක්‌ ඉතා හොඳින් සමාජයට හෙළිවී තිබෙනවා.

එම අනාවරණය කිරීම්වලින් පසුව මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය උදහසට ලක්කරමින් මෙසේ ප්‍රශ්න කළේය. ජනාධිපතිවරයා අවසාන මොහොත වන තුරුම සිටියාද කොමිසමක්‌ පත්කරන්න. ඇයි මේ කොමිෂන් සභාව පමා කළේ? අනතුරුව මන්ත්‍රීවරයා කතානායකරයාට පෙන්වා දුන්නේ කතානායකවරයා මැදිහත් වී කෝප් කමිටු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමු කළ යුතු බවයි.

අනුර මන්ත්‍රීවරයා කතාව අවසන් කරනවාත් සමඟම මන්ත්‍රීවරයාගේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව පිළිගන්නා බව පවසමින් බන්දුල ගුණවර්ධන මහතා විවාදයට එක් විය. බන්දුල ගුණවර්ධන මහතා බැදුම්කර වංචාව හැඳින්වූයේ මහදවාලේ සිදුවූ මහමංකොල්ලය ලෙසිනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා බැඳුම්කර වංචාවට විරුද්ධව කරුණු 35 ක්‌ද, ජී.එස්‌.පී. සහනය ලබා ගැනීමට රට පාවාදුන් ආකාරය පිළිබඳ කරුණු 55 ක්‌ ඇතුළත් වාර්තාවක්‌ තමා ළඟ තිබෙනය. එමෙන්ම වංචාවට සම්බන්ධ කිසිවෙකුට තරාතිරම් නොබලා උපරිම දඬුවම් ලබා දිය යුතු යැයි ද සභාවට පැවසීය.

එසැනින් නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා බන්දුල ගුණවර්ධන මහතාට උත්තර දෙමින් පැවසුවේ හොරුන්ට දඬුවම් දිය යුතුයි. අපි ඒ ගැන එකඟයි. හැබැයි ඒ ගැන පාර්ලිමේන්තුවට කිසිවක් කරන්න බැහැ යනුවෙනි. අනතුරුව ඇමතිවරයා පසුගිය ආණ්ඩු සමයේ කෝප් කමිටි ක්‍රියාකලාප විවේචනය කරමින් සඳහන් කළේ මෙවන් අදහස් පෙළකි. පසුගිය ආණ්‌ඩුව කාලයේ බැඳුම්කර නිකුත් කළේ මේසය යටින්. මේ ආණ්‌ඩුව යටතේ තමයි විනිවිද භාවයකින් මෙය සිදු කළේ. අපට හංගන්න කිසිම දෙයක්‌ නැහැ. කෝප් කමිටුවේ සභාපති ධුරයට අපි පළමුවරට විපක්‍ෂ මන්ත්‍රීවරයකු පත්කළා. පහුගිය ආණ්‌ඩු කාලයේ ඒවායේ සභාපති ධුරය දැරුවේ ආණ්‌ඩුවේ නියෝජිතයන්. අපි කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමුකළා. පහුගිය ආණ්‌ඩු කාලයේ කෝප් වාර්තා නීතිපතිට යෑව්වේ නැහැ. අපි නීතිපතිවරයා කෝප් වාර්තාව සම්බන්ධයෙන් දෙන තීන්දු ක්‍රියාත්මක කරනව.
ඇමැතිවරයා කතාව කරන අතරවාරයේ එජනිස මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා කතාවට හරස් වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ද කෑකෝ ගසන්නට පටන්ගත්හ. ඇමැතිවරයාට කතාව මගදී නැවැත්වීමට සිදුවිය. පසුව ඇමැතිවරයාට කතාව පවත්වා අවසන් කිරීමට සිදුවූයේ කතා නායකවරයා සභාව නිහඬ කිරීමෙන් අනතුරුවයි. ඉන්පසු සභාව ඇමැතූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසුවේ මේ ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් ගතව ඇතත් තවමත් වංචනිකයන්ට දඬුවම් දී නැති බවත් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිළිබඳවද මාස ගණනාවක් වාර්තා සැකසුවත් තාමත් නීතීමය පියවර නොගැනීමත් ජනතාව කලකිරීමෙන් සිටින බවත්ය. එමෙන්ම දිගින් දිගටම දූෂණ වංචා පැවැතියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් නැතිව යා හැකි යැයි හෙතෙම පැවසීය.

ඊලඟ කතිකයා වශයෙන් සම්බන්ධවෙමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසුවේ අද බැඳුම්කරය ගැන කතා කර හුඟක් අය බැඳුම්කර නිකුතු මූලධර්ම නොදන්න බැවැයි. ඔවුන් මෙතෙක් කල් බැඳුම්කරය හෙවත් 'බොන්ඩ්' ගැන කිසිවක් නොදැන සිටි අතර ඔවුන් දැන සිටියේ ජේම්ස් බොන්ඩ් විතරයි යැයි ද ඇමැතිවරයා උපහාසාත්මක පැවසීය. ඔවුන් ඉදිරිපත් කරන්නේ බොලඳ තර්ක වන අතර ඒවා පිළිගත නොහැකි බව ද කබීර් ඇමැතිවරයා සභාවට පැවසීය.

රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ වරදට සිරගතව සිටින එජනිස මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණයේ විශේෂ අවසරය ඇතිව බැඳුම්කර විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. විමල් වීරවංශ මහතා සුපුරුදු ලීලාවෙන් සභාව ආමන්ත්‍රණය කිරීමට පටන්ගෙන ආණ්ඩුව විපක්ෂය දඩයම් කරමින් ඉන්නවා. මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ යැයි කීවා පමණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මොනව කරලද හිරේ ගියේ? යැයි කියමින් කෑගහන්න පටන්ගත්හ. දැඩි ඝෝෂා මධ්‍යයේ වීරවංශ මහතා බැඳුම්කරය අගමැතිවරයාගේ හොරකමක් බවත්, ජනාධිපතිගේ සහෝදරවරු හාල් හොරකමේ නියලී සිටින බවත් පැවසීය. දැන් ක්‍රෝටන් කොළ, කොස්‌ කොළ කන්න කියනවා ජනතාවට. මේ විදිහට ජනතාව තළන ආණ්‌ඩුවේ අයට තණකොළ කන්න දෙන්න ඕන. යැයි කීවාත් සමඟම නැවතත් සභාවේ ගෝෂාව වැඩිවිය. ගෝෂාව මධ්‍යයේ වීරවංශ මහතා එක කොනක චීන කොලනිය අනෙක් පැත්තෙන් ඉන්දීය කොලනිය. අගමැතිතුමා 2020 දී මැතිවරණයට සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතන මිලදී ගන්නවා. අපිව හිරේ දාල අපිව මර්ධනය කරන්න බෑ. යක්කුන්ට බය නම් අපි සොහොන්වල ගෙවල් හදන්නේ නෑ.

වීරවංශ මහතාට පිළිතුරු දෙමින් එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා “පවුලට යුතුකම් කරලා විමල් වීරවංශ අද හිරේ ගිහින් තියෙනවා. පවුලේ අයට වාහන දීලා, තවත් අයට වාහන දීලා වාහන 96 ක්‌ කොල්ල කාපු විමල් වීරවංශ අද ජාතික වීරයෙක්‌ වෙන්න හදනවා. මහින්ද හාමුදුරුවන්ගේ කවියක්‌ තමන්ගේ බවට පත්කර ගෙන කෝටි ගණන් වැයකර පෝස්‌ටර් ගහනවා. තමන්ගේ වරද හදා ගන්නේ නැතිව අනෙක්‌ අයට දොස්‌ කියනවා. ඒකාබද්ධ හොරු රැලට මම කියන්න කැමතියි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ආණ්‌ඩුව කාලයේ හංගපු කෝප් වාර්තා 40 ක්‌ තියෙනවා. ඒවා ගැනත් හොයලා බලමු. යනුවෙන්වෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා තම කතාව පවත්වාගෙන ගියේ විපක්ෂයේ දැඩි ඝොෂාව හා බාධාව මධ්‍යයේය.

ඉන් අනතුරුව ශ්‍රිලනිපේ ස්තාවරය පැහැදිලි කරමින් කවරෙකු හෝ වංචා කර ඇති නම් ඒ මුදල රජයට අයකරගත යුතු යැයි ප්‍රවාහන හා සිවිල් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ තීන්දුව ද මාස තුනකින් ලබා ගත හැකි බවද ඇමැතිවරයා දැන්වීය. පන්පසු ඊපීඩිපි පක්ෂ නායක ඩග්ලස් දේවනන්ද මහතා මෙන්ම ජාතික හෙල උරුමයේ නායක පාඨලි අමාත්‍යවරයාද බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දිය යුතු යැයි තමන්ගේ ස්තාවරය හැන්සාඩ්ගත කළහ. ඒත් සමඟම එජනිස මන්ත්‍රී මහින්දානන් අලුත්ගමගේ මහතා ආණ්ඩුවට මෙන්ම අගමැතිවරයාට ද චෝදනා කරමින් පවසා සිටියේ ආණ්ඩුව පසුගියේ කාලයේ මෙන්ම වරථමානයේ වංචනිකයන් පිළිබඳවද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

ඉන්පසුව එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශ්‍රිධරන් යන අය පෙන්වා දුන්නේ කලින් ආණ්ඩුව කෝප් වාර්තා කුණු කූඩයට දැමූ බවත් වර්තමාන ආණ්ඩුව ඒ ගැන සොයා බැලීමට කමිටුවක් පත්කළ බවත්ය. එහිදි ශ්‍රිධරන් මන්ත්‍රීවරයා කෝප් වාර්තාව මෙන්ම අතුරුදන් වූවන්ගේ කොමිෂන් වාර්තාවට ද සාධාරණයක් ලැබිය යුතු යැයි සභාවෙන් ඉල්ලා සිටියේ. ඒත් සමඟම එජනිස මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ ආණ්ඩුවට බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් ප්‍රශ්න කරන්න නොහැකිව සිටිනවා යැයි චෝදනා කළේය. එයට සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ බැඳුම්කර සිද්ධිය අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ තනි කැමැත්තට සිදුවූවක් බවත් එම නිසා බැංකු පොලී අනුපාතය ඉහළ ගිය අතර ආයෝජකයින් අධෛර්යමත් වූ බවත්ය. අනතුරුව රුපියලේ අගය පහළ වැටීම සමස්‌ත ආර්ථිකයටම බැඳුම්කර වංචාව බරපතළ ලෙස බලපෑ බවයි.

හොරා ඉන්නවා. ඔත්තු බලපු කෙනා ඉන්නවා. කෙහෙල් කැනත් තිබෙනවා. එහෙනම් ඇයි දඬුවම් දෙන්න මෙච්චර පරක්‌කු? අර්ජුන මහේන්ද්‍රන් මහතා රජයේ හෝ මහ බැංකුවේ කිසියම් තනතුරක්‌ තාමත් දරනවාද?” යැයි පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රශ්න කරද්දි එවැනි කිසිම තනතුරක් නොදරනවා යැයි අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න කීය.

එමෙන්ම සභාව ආමන්ත්‍රණය කරමින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා හෙජින් ගණුදෙනුවේ සොරුන් ඇල්ලීමට පවසමින් උසාවි ගිය තිනියාවල හාමුදුරුවෝ බැඳුම්කර හොරු ඇල්ලීමට එරෙහිව නඩු දැමීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය.

පසුව විවාදයට එක්වූ මොනරාගල දිස්ත්‍රික්ක එජනිස මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා ගලේ පැහැරූ බළලුන්ට වූ දෙය අද එජාපයට සිදු වෙලා තිබෙනවා. මේ වංචාවට වගකිවයුතු හොරා අර්ජුන් මහේන්ද්‍රන් නම් ඒ හොරාගේ හොරා කම්බ හොරා අගමැති මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි. ඔහු සිටීම බාධාවක්” යැයි පවසද්දි රවි කරුණානයක මුදල් අමැතිවරයා පැවසුවේ මේ ගැන පරීක්ෂණ කරන්න විවාද කරන්න දුන්නේ ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය නිසා යැයි පැවසීය.

රවුෆ් හකීම්, හර්ෂද සිල්වා, මුජිබර් රහ්මාන්, වාසුදේව නානයක්කාර, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, අශෝක් අබේසිංහ, ජන්ද්‍රසිරි ගජදීර හා සුනිල් හඳුන්නෙත්ති ඉරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන පෙරේර යන මැති ඇමතිවරු විවාදයට එක්වෙමින් අදහස් දැක්වූහ.

කේප් කමිටුවේ සභාපති පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සභාව අමතමින් මෙසේ පැවසීය. අද මේ විවාදයට සහභාගි වූ කිසි කෙනෙක් වංචාවක් සිදුව නැතැයි කීවේ නැහැ. වරදකරුන්ට දඬුවම් දිය යුතු බව හා සිදුවූ පාඩුව රජය අය කළ යුතු බව පොදු මතයයි. දැන් ප්‍රශ්නය තිබෙන්නේ අප මෙතැනින් එහාට මේ සම්බන්ධයෙන් ගන්නා පියවරයි. මේ සම්බන්ධව පත්කරන ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුව හා ජනතාව දැනගත යුතුයි.


පසුගිය 25වන දින උණුසුම් තර්ක විතර්කවලින් පසුව බැඳුම්කර විවාදය අවසන් විය. එහිදි කළ යෝජනාව පරිදි කතානායකවරයා මැදිහත් වී කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයා අතට පත් කළේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහාය. මෙලෙස කතානායකවරයා මැදිහත්වී වාර්තාවක් නීතිපතිවරයාට ලබා දුන් පළමු අවස්ථාව වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනයට එක්වූ සිද්ධියක් බවටත් එය පත්විය.

සකීෆ් සාම් තන්වීරි.

Monday, January 23, 2017

විධායක ජනාධිපති ධූරය අහෝසි වෙයිද? රටට ෆෙඩරල් වෙයිද?





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුව විය. ඒත් අද වන විට ආණ්ඩුවට හිසරදයක් වී ඇත්තේද එම පොරොන්දුවමය. ආණ්ඩුව පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව 50ස් වතාවක් පමණ රැස් විය. ඒත සමඟම අනුකමිටු හයක් පත්කර මාස ගණනවාක් මුලුල්ලේ වාර්තාවක් සැකසීය. එම වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස අවසානයේදී වුවත් ඇතැම් පක්ෂයන්හි ඉල්ලීම මත ජනවාරි දක්වා වාර්තාව සැකසීම කල්ගියේය. නැවතත් කල්දැමූ ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වීම ජනවාරි අවසානයේ පැවැත්වීමට නියමිතයි. ව්‍යවස්ථාදායක මෙහෙයුම් කමිටුවේ ජයන්පති වික්‍රමරත්න මහතා පවසන්නේ කමිට අතුරු වාර්තාව නොමැතිව ජනවාරි 9,10 දිනවල ව්‍යවස්ථාදායක මණ්ඩල රැස්වීම අර්තවත් නොවන බැවින් කල්දැමූ බවයි. ඒ කෙසේවෙතත් මේවනවිට ආණ්ඩුම ව්‍යවස්ථා සංශෝදනයේ විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන්, පළාත් සභ බලතලා සම්බන්ධයෙන් සහ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් උණුසුම් මත ගැටුම් දේශපාලන වේදිකාවල සහ සමාජය තුළ මතුව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්පති වික්‍රමරත්න.

විවාදය වඩා පලදායක වීමට නම් ප්‍රධාන කාරණා පිළිබඳව අතුරුවාර්තාවක් තිබිය යුතුයි යන හේතුව නිසයා මෙහෙයුම් කමිටුව අදහස් කළේ විවාදය කල්දාන්න. විශේෂම කාරණය කිසිම පක්ෂයක් පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ඉල්ලලා නෑ. දෙමළ ජාතික සන්ධාන ප්‍රසිද්ධීයේ කියලා තියෙනවා සන්ධීය ක්‍රමයක් ඉල්ලන්නෙ නැහැයි කියලා. ඔවුන් කියන්නේ බලය බෙදීම් සම්බන්ධයෙන් වසර 28ක අත්දැකීම් ඇසුරින් වැරදුනු තැන් දුර්වලකම් මගහැර අර්තවත් සහ ප්‍රමාණවත් බලය බෙදාහැරීමක් අවශ්‍ය බව විතරයි. ඒවගේම මේක කළ යුත්තේ නොබෙදුන තනි රටක් තුළ කියලත් පැහැදිලිව පවසා තිබෙනවා. ඒවගේම බෙදුම්වාදයට යම් කිසි පළාත් සභාවක් නැඹුරුවෙනවා නම් ප්‍රචණ්ඩත්ව ලෙස කටයුතු කරනවා නම් මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වීමට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි කියලත් කියා තියෙනවා. ඒවගේ අපි මෙතෙක් කල් කතා කළේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පදනමේ ඉඳලයි. නමුත් ඒ සම්බන්ධයෙන් වෙනස් මතයක් ප්‍රධාන පක්ෂ ඉදිරි රැස්වීම්වලදී ඉදිරිපත් කරයිද දන්නෙ නැහැ. විධායක ජනාධිපති ධූරය අහෝසි කළත් ජනාධිපති ධූරය අහෝසි වෙන්නේ නැහැ. රාජ්‍ය නායක ධූරයක් තියේවි. එම ධූරයට යම් යම් බලතල තිබිය යුතුයි කියලා අපි පිළිගන්නවා.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු.

අපිට අවශ්‍ය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයක් නෙවෙයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නව ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපතික්‍රමය අහෝසිකර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමේ අවශ්‍යතාවක් තිබෙනවා. ජනවාර්ගික ගැටලුවලට ව්‍යවස්ථාපිත දේශපාලනික් විසඳුමක් අවශ්‍ය වෙනවා ඒවගේම මැතිවරණ ක්‍රමයත් වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා. මේ හැම දෙයක්ම කරන්න නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනවාර්ගික ගැටලුවලට විසඳුමක් විදිහට 13වන සංශෝදනය ක්‍රියාත්මක කරන්නෝනි. ඊට එහාත් යන්න වෙනවා. ඒත් එක්කම සමගාමී ලයිස්තුව අහෝසි කිරීම සහ පළාත් සභා සම්බන්ධයෙන් අධිකරණය ඇති බලතලද අහෝසි කළ යුතුයි.

මහාචාර්ය ජී.එල් පීරිස්.
ආණ්ඩුවේ මේ මෙහෙයුම අවංක මෙහෙයුමක් නෙවෙයි. අනුකමිටු හයේ වාර්තා එකකවත් මැතිවරණ ක්‍රම සංශෝදනය පිළිබඳ අවධානයක් යොමු වෙලා නෑ. විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙනුත් නිගමනයක් නැහැ.. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයේ සෝභිත හමුදුරුවන්ගේ දේහය ඉදිරියේදී කීව්වා විධායක ජනාධිපති ධූරය අහෝසිකරනවාමයි කියලා. උන්වහන්සේගේ අභිලාෂය ඉටුකරන්න සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දු වුණා. නමුත් දැන් එතුමාගේ පාක්ෂිකයන් කියන්නේ විධායක ජනාධීපති ධූරය පවත්වගනිමින් එතුමාව නැවතත් අපේක්ෂකයෙක් කරනවා කියලා. ඒ හින්දා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවංකභාවයක් පේන්න නැහ. ඒවගේම උතුරු නැගෙනහිර එකතු කරන්නවටත් අපි විරුද්ධයි. ආණ්ඩුව කරන එක් දෙයක්වත් මේ රට වෙනුවෙන් නෙවෙයි කරන්නේ. බලයට ඒමට සහය දුන් දෙස් විදෙස් බලවේගවලට දුන් ප්‍රතිඥා ඉටුකරනවා. ඒකීය රජය තියාගන්නවා කියාගනිමින් කරලා තියෙන්නේ මධ්‍යම රජයෙන් නිදහස් පළාත් සභා ක්‍රමයක් ඇති කිරීමෙන් බෙදුම්වාදයට අවශ්‍ය පාර කපා දීමක්. මේ ආණ්ඩුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙන් කරගෙන යන්නේ ජනතාව මුලා කිරීමක්. කොහොම කළ ආණ්ඩුවේ ක්‍රියාකලාප පරාජයට පත්වෙනවා ජනමත විචාරණයේදී.

බස්නාහිර පළාත් සභා මහඇමති ඉසුර දේවප්‍රිය.

මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝදනයක් සිද්ධ වෙන්න ඕනෙ. මෛත්‍රිපාල ජනාධිපතිවරයා පැහැදිලිවම කියලා තියෙනවා ජනමත විචාරණයකට යන කාරණා සම්බන්ධයෙන් සංශෝදන කරන්නෙ නැහැ කියලා. ජනාධිපතිතුමාගේ පාර්ෂවයෙන් ඉදිරිපත් වෙන්නෙත් පාර්ලිමේන්තුවේ එකඟවෙන්න පුලුවන් කාරණා විතරයි. දැනට ඒ ගැන ප්‍රතිවිරෝදයක් පැනනැගිලා නැහැ. හැම පක්ෂයක්ම තමන්ගේ අදහස් ඉදිරිපත්කරලා තියෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වලිනුත් බරපතල කාරණා ඉදිරිපත් වුණේ නැහැ. ඒ අයත් මධ්‍යස්ථව තමයි අදහස් ඉදිරිපත් කරළා තිබුණේ. මේක බරපතල ප්‍රශ්නයක් විදිහට උග්‍රවෙලා තියෙන්නේ උතුරේ සහ දකුණේ ඇතැම් ජාතිවාදි කණ්ඩායම්වල ක්‍රියාකලාප සහ ප්‍රකාශ නිසයි. නමුත් ඒකීය රටක් තුළ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් මේ රටේ කිසිඳු පුරවැසියෙක්ට ප්‍රශ්නයක් තියනවා කියලා මම හිතන්නේ නැහැ.

නීතීඥ එස්.ජී පුංචිහේවා මහතා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳ අවුරුද 3ක ආසන්න කාලයක ඉඳලා ජනතාව තුළ තිබුණ ලොකු ඉල්ලීමත් එක්ක අලුත් ආණ්ඩුවට ඒක ක්‍රියාත්මක කරන්න සිදුවුණා. එහිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නෝනි කියන ඉල්ලීම මූලික වුණා. ඒ ඉල්ලීම කල් දමනවා කියන්නේ ජනතාවගේ ඉල්ලීම නැවතත් කල්දැමීමක්. එක් පක්ෂවල දේශපාලන වුවමණා මත වෙනස්කම් කිරීමේ ප්‍රවණතාවක් දැනට පේන්න තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලින් තිබුණ එකභතාව මත වෙනස් විය යුතුයි. එක් එක් දේශපාලන වුවමණාවන් මත අලුත් දේවල් එකතු කරද්දි කලින් පොරොන්දු දීපු අයටම ඒවා වෙනස් කරන්න සිදුවෙලා. මෙතන සිදුවෙලා තියෙන්නේ මහජනයාගේ වුවමණාව ඉටු කිරීම නෙවෙයි, එක් එක් පක්ෂවල වුවමණා සඳහා ඒ ඒ පක්ෂවල එකඟතා ලබා ගැනීමේ දේශපාලන අවශ්‍යතාවට කල්දැමීම් සිදුවෙනවා. මට පෙන්නේ මේ යන්නෙ නැවතත් පරණ තත්වයටමයි.

ශ්‍රී ලංකා කොමියුනිෂ්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපේ ස්තාවරය විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි, දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දිය යුතුය, ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් කළ යුතුයි, මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපි ව්‍යවස්ථාදායක සභාවට ගියත් නොගියත් අපේ ස්තාවරයේ මේ ටිකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්නසිංගම්.

ඇත්තටම දැනට පොඩි පොඩි ප්‍රශ්න රාශියක් තියෙනවා ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධයෙන්.  අපි ඒ ගැන කතා කරලා පාර්ලිමේන්තුවට සහ ව්‍යවස්ථාදායක සභාවට ගෙනියන්න උත්සහ කරනවා. මේ ගොඩගැහිලා තියෙන්නේ වසර 65ක ප්‍රශ්න. දවසින් දෙකකින් විසඳන්න පුලුවන්කමක් නැහැ ඒ ප්‍රශ්න සියල්ල. මධ්‍යම ආණ්ඩුවේ තනි පාලනයට දෙමළ ජනතාව තුළ ප්‍රසාධයක් නැහැ. ඒ වගේම සන්ධීය ක්‍රමයකට සිංහල ජනතාව තුළ කැමැත්තක් නැහැ. ඒත් එක්කම උතුර නැගෙනහිර එකතු වෙනවාට මුස්ලිම් ජනතාව කැමැති නැහ. අපි උත්සහ කරනවා මේ ප්‍රශ්න ගැන කතා කරලා විසඳගන්න. අපි විපක්ෂය එක්කත් කතා කළා. 24වැනි දාට කලින් අපිට එකඟතාවයකට එන්න පුලුවන්. මට විශ්වාසයක් තියෙනවා සාකච්ඡා කිරීම තුළින් ප්‍රශ්න විසඳගන්න පුලුවන් වෙයි කියලා.

පාර්ලිමේන්තුම මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් පිහිටු වී අනුකමිටු වාර්තා ව්‍යවස්ථා සංශොදන නෙවෙයි. ඒ වාර්තාවේ කරුණු ව්‍යවස්ථාදායක සභාව හැටියට පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වෙන්නෝනි. විවාදාත්මක ගැටලු තවමත් මෙහෙයුම් කමිටුවේවත් කතා වෙලා නැහැ. බලය බෙදීම සම්බන්ධයෙන්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන්, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් හා අනෙකුත් මූලික ගැටලු තිබෙන කරුණු තවම සාකච්ඡා කළේ නැහැ. මුලින් අනුකමිට වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නෝනි. ඒක සාකච්ඡා කරන්නවත් ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවක් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවසථාවක් කොහොම හදයි ද කියලා අපිට නම් තේරුම් ගන්න බැහැ.


සකීෆ් සාම් තන්වීරි.

සිංගප්පූරුව වැටුනොත් හම්බන්තොට ගොඩ.








පසුගිය දා හම්බන්තොට යුද පිටියක් විය. පිරිසක් පැවසුවේ ආණ්ඩුව හම්බන්තොට චිනාට විකුණන්න හදනවා යනුවෙනි. ආණ්ඩු පාර්ෂවය පැවසුවේ ශ්‍රී ලංකාව ඉහළට ම ඔසවා තැබීමට යෝද ආයෝජන කලාපයක් හදන බවයි. කවුරු කෙසේ කීවත් කවදාවත් නැති වටිනාකමක් හම්බන්තොට සෑම බිම් අඟලකටම ඉදිරියේදී හිමිවීමට නියමිතව ඇත. ඒ අන්කවරක් නිසාවත් නොවේ හම්බන්තොට වරාය නිසාය. එසේ පවසද්දි ඇතැමුණ්ට විහිලුවක් යැයි සිතෙනවා ඇත්තේ හම්බන්තොට වරාය පතුලේ විශාල ගල්පර්වතයක් තිබෙනවා යැයි විශ්වාස කරන හෙයිනි. ඔවුන්ගේ විශ්වාසය කෙසේ වෙතත් පසුගිය වසර තුනක් තිස්සේ වරායට විශාල නෞකා කිහිපයක්ම පැමිණ ඇත. වරාය පතුළේ පර්වතයක් තිබුණත් නැතත් නැවක් ඇතුළු කිරීමට ප්‍රමාණවත් ගැඹුරක් තිබීම ප්‍රමාණවත්ය.
රටක නාවික බලය ශක්තිමත් කිරීමෙන් ලෝක ආර්ථිකය හා දේශපාලන බලයට කළ හැකි බලපෑම විශාලය. ලොව රජ කළ රෝම, පර්සියානු, මිසර ‍අධිරාජ්‍යයන්ගේ බලය හීන කරමින් 15න සියවසේදී බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥ, පෘතුගීසි, ප්‍රංශ, ජපාන ඇතුලු නව අධිරාජ්‍යන් බිහිවීම  සිදුවන්නේ නාවික බලයේ සිදුවූ වෙනස්කම් වලින් පසුවයි. යුරෝපීය අධිරාජ්‍යයන් අප්‍රකානු මහද්වීපය වටා ගොස් සුභපැතුමේ තුඩුව හරහා පැමිණ ආසියාතික රටවල් පාලනය කළහ. යුරෝපයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද සපයා ගත්හ. නමුත් නාවික ගමන් සඳහා යුරෝපයට විශාල වියදමක් දැරීමට සිදුවූ අතර දීර්ඝ කාලයක් ද ගතවිය. නමුත් 1869 දී  සුවස් ඇල කැපූ පසු නාවික සැතපුම් දසදහස් ගණනාවක් යුරෝපීය නාවික ගමන කෙටි විය. වියදම් අඩුවිය. ගතවන කාලය කෙටි විය. ඔවුන්ගේ ආර්ථික වර්ධනය වේගවත් විය. ඒත් සමඟම අරාබීන්ගේ ආර්ථික ඒකාධිකාරය ද බිඳවැටුනි. ලෝක ආර්ථික බලය යුරෝපයට හිමි විය. ලෝක දේශපාලනය බලවතුන් ලෙස යුරෝපය පත්විය.
20වන සියවස මුල් කාලය වන විට ලෝක බලවතා නොවුණත් දේශපාලනිකව ස්තාවරත්වයකට පත්වෙමින් සිට ඇමරික එක්සත් ජනපදය ද සිය නාවික බලය වර්ධනය කරගැනීමට අවධානය යොමු කළේ. ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ ප්‍රබලයා වීමට ඇමරිකාවට බාධාවක් වූයේ අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා දකුණු ඇමරිකානු මහද්වීපය වටා ගමන් කිරීමට විශාල කාලයක් හා වියදමක් දැරීමට සිදු වූ නිසාය. එයට විසඳුමක් ලෙස ඇමරිකාව 1914 දී පැනමා ඇල කැපීමෙන් පසු දකුණු ඇමරිකාන මහද්වීපය හරහා නාවික සැතපුම් දසදහස් ගිය ගමන සැතපුම් සිය ගණනකට අඩුකර ගත හැකි විය. එතැන් පටන් ක්‍රමයෙන් නාවික බලය වර්ධනය කරගත් ඇමරිකව 20වන සියවස අවසන්වන විට ලොව සුපිරි බලවතා බවට පත්වන්නේ යුරෝපය ද පරදමිනි.
21වන සියවසයේ ලොවබලවතා වීමට බලාපොරොත්තු වන්නේ ආසියාතික රටක්වන චීනයයි. දේශපාලනිකව ස්තාවර රටක්වන චීනයේ නිශ්පාදන ආර්ථිකය ද ශක්තිමත් තැනකට පත්ව ඇතත් තවමත් චීනයට ලෝ බලවතා වීමට හැකි වී නැත. චීනය ද මුහුණ පා තිබෙන්නේ යුරෝපය මෙන්ම ඇමරිකාව ද මුහුණ දුන් නාවික ගමනාගමන ගැටලුවකටය. චීන නිශ්පාදන ලෝක වෙළඳපොලට ප්‍රවාහන කිරීමේදී සහ චීනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, තෙල්, ගෑස් ආනයනය කිරීමේදී ගතවන කාලය සහ වියදම චීනයට තිබෙන ප්‍රධානම අභියෝගයයි. එම අභියෝගය ජයගැනීමට චීනයට තිබෙන එකම විසඳුම නාවික බලය ශක්තිමත් කිරීම සහ නාවික ප්‍රවාහනය ලාභදායි සහ වේගවත් කිරීමයි. දැනට ඉන්දියාව, අප්‍රාකාව සහ මැදපෙරදිග රටවල්වලින් චීනය මිලදී ගන්නා ගෑස්, තෙල් ඇතුලු අනෙකුත් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන්නේ සේද මාවත ඔස්සේය. එනම් ඉන්දායානු සාගරය හරහා ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඇදි යන නාවික මාර්ගය ඔස්සේ ගොස් පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සංදිය දිගේ ගමන් කර සිංගප්පූරු වරාය හරහාය. මුහුදු මංකොල්ලකරුවන් සහ ත්‍රස්ථ ක්‍රියාකාරකම් ගහන මලක්ක සමුද්‍ර තීරුව හරහා යන දීර්ඝ නාවික මාර්ගය වෙනුවට තායිලන්තයේ ක්‍රා පහත්බිම හරහා ඇලක් කැපීමෙන් චීනයට නාවික ගමන කි.මී 1200කින් අඩුකරගත හැකිය. චීනය පමණක් නොව නැගෙනහිර ආසියාතික ප්‍රබලයන් වන ජපානය කොරියාව ඇතුළු අනෙකුත් රටවලට මේ වාසිය හිමිවනු ඇත.
ක්‍රා පහත් බිම හරහා ඇලක් කැපීමේ යෝජනාව මුල්වරට යෝජනා වූයේ 1677 දීය. නමුත් එවක තාක්ෂණික පහසුකම් ඇලකැපීමට බාධාවක් විය. නැවතත් 1882 දී සුවස් ඇල කැපූ ෆර්ඩිනන්ඩ් ද ලෙසප් ක්‍රා තැනිතලාව හරහා ඇලක් කැපීම යෝජනා කළ ද එම යෝජනාවට බ්‍රිතාන්‍යය එරෙහි වූයේ බ්‍රිතාන්‍යය යටතේ තිබුණු සිංගප්පූරු වරායට සිදුවිය හැකි හානිය නිසාය. බ්‍රිතාන්‍යයට අවශ්‍ය වූයේ සිංගප්පූරු වරායේ ආධිපත්‍ය පවත්ගෙන යාමයි. දැනට වසර 150ක කාලයක් තිස්සේ ලොව කාර්යබහුලම වරාය සිංගප්පූරු වරයයි. නැගෙනහිර ආසියාතික රටවල් කරා මලක්කා සමුද්‍ර තීරය හරහා ගමන් කරනු  ලබන සහ පැමිණෙන සෑම නෞකාවක්ම ආහාර, ඉන්දන ආදිය සඳහා සිංගප්පූරු වරායේ නවත්වනු ලැබේ. මීට අමතරව නැව් අලුත් වැඩියාව, එක්නැවකින් තවත් නැවකට භාණ්ඩ හුවමාරුව ආදි සේවාවන් ද සිංගප්පූරු වරායෙන් සිදු වේ.
සිංගප්පූරු ආර්ථිකය මුලුමනින්ම් රඳපවතින්නේ වරාය සේවාව තුළිනි. චීනය ඇතුළු නැගෙනහිර රටවලට ගමන් කරන නෞකා මලක්කා මුහුඳු තීරය හරහා ගමන් කිරීම නැවැත්වුවහොත් සිංගප්පූරු ආර්ථිකය කඩා වැටෙනු ඇත. ක්‍රා පහත්බිම හරහා ඇලක් කැපීම තම ආර්තිකයට වාසිසහගත බව චීනය දැන සිටිය ද අද දක්වා චීනය එම ව්‍යපෘතිය ආරම්භ නොකළේ චීනයේ හිතවතෙකු වූ සිංගප්පූරුවට සිදුවන හානිය නිසාවෙනි. නමුත් පසුගිය කාලය තුළ සිංගප්පූරුව ඇමරිකාවට ලංවීම සම්බන්ධයෙන් කුපිත වූ චීනය තම හිතවත්ම රටක්වන තායිලන්තය හරහා ක්‍රා ඇල කැපීමට ගිවිසුම් අත්සන් කළේය. ඇමරිකානු ඩොලර් බිලියන 28ක් වැය කර මීටර් 25ක් ගැඹුරු මීටර් 400ක් පළලැති කිලෝමීටර් 102ක් දුරැති ඇලක් කැපීමට චීනය සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසර 10ක් ගතවනු ඇත. ක්‍රා ඇල කැපීමෙන් මෙතෙක් කාලයක් මක්කා සමූද්‍ර සන්ධියේ පිහිටි එකම වරාය වූ සිංගප්පූරු වරාය සැපයූ සේවාවන් සැපයීමේ අවස්ථාව දකුණු ආසියාතික රටකට පැවරේ.
ඉන්දියාව උත්සහ කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය ගැඹුරු කර චීන නැව් ඉන්දියානු වරායට ගෙන්වා ගැනීමටය. නමුත් සේද මාවත වැටී ඇත්තේ හම්බන්තොට මාගම්පුර වරායට කිලෝමීටර් 15ක් පමණ දුරකිනි. කොළඹ හෝ ත්‍රිකුණාමල වරායන් පිහිටන්නේ සේද මාවත සිට සැතපුම් කිහිපයක් ඈතිනි. ගාලුවරාය පුලුල් කිරීමට නොහැකි වන අන්දමින් ගල්පර පිහිටා තිබෙ. ඒ අතර මේ සඳහා සුදුසුම ස්තානය වන්නේ අතීතයේ මාගම වරාය පිහිටි හම්බන්තොටය. 2008 දී හම්බන්තොට මාගම්පුර වරාය ඉඳිකිරීමට ආධාර කළේය. චීනයෙ අරමුණ වන්නට ඇත්තෙත් ක්‍රා ඇල කැපීමෙන් පසු සිංගප්පූරුවෙන් ලබාගත් සේවාවන් මාගම්පුර වරායෙන් ලබා ගැනීමටයි.
2014 වසරේදී මාගම්පුර වරාය ඉන්ධන ගබඩා කිරීමෙන් මිලයන 750ක් උපයා ගත්තේය. විශේෂයෙනම ඉන්දීය, ජපාන, දකුණු කොරියාන වාහන නිෂ්පාදන ආයතන මාගම්පුරවරාය භාණ්ඩ හුවමාරුව සඳහා භාවිත කළහ. 2014 මුල්මාස නවය තුළ පමණක් හුවමාරු වූ වාහන ප්‍රමාණය 100 000 ඉක්මවිය. ඒ අතර ටාටා මරුටි විශේෂ තැනක් ගත් අතර වරාය වැඩිපුරම භාවිත කර තිබුණේ හයිහුන්ඩායි සමාගමයි. හම්බන්තොට වරාය ඉදිකිරීමේ වැදගත්කම මුලින්ම පෙන්වා දුන්නේ 1970 දශකයේදී ආරියසීල වික්‍රමනායක මහතායි. නමුත් ඒ සම්බන්ධයෙන් පාලකයන් එතරම් සැලකිල්ලක් නොදැක්වීම හේතුවන් වරාය ඉදිකිරීම කල්ගියේය. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ මහතා මාගම්පුරවරාය චීනයේ සහාය ඇතිව පළමු අධියර ඉඳිකර අවසන් කළේය. නමුත් වරාය එමෙන්ම වරාය ඉඳිකිරීම විවේචනය කරමින් සිටි එ.ජා.ප ප්‍රමුඛ ආණ්ඩුව වරායේ ඉදිකිරීම් අවසන් කිරීමට චීනය සමඟ ගිවිසුමක් නැවතත් අත්සන් කළේය. ඒ අනුව අක්කර 4000ක භූමියක් පුරා ඉදිවන වරායේ නෞකා 33කට එකවර සේවා සැපයිය හැකි වන අතර ඉදිරියේදී ඉදිවන මහාපරිමාණ මෙගා නෞකාවලටත් සේවා සැපයීමේ අවස්ථාවද හිමිවනු ඇත. එමෙන්ම පර්යන්ත හතරකින් සමන්විත, ගබඩා පහසුකම්, ඉන්ධන සැපයුම්, ස්වභාවිකි දියර වායු පිරිපහදු, ඉන්ධන ගබඩා පහසුකම්, ප්‍රතිඅපනයන කලාප හා වියලි වරාය පහසුකම් ආදි පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම වරාය බවටත් හම්බන්තොට මාගම්පුර වරාය පුලුල් කිරීමට නියමිතය.
රතු මුහුඳ, පර්සියන බොක්ක, මලක්කා සමුද්‍රය, පකිස්තානයේ ග්වාදාර් සහ මියන්මාරයේ සිට්විවලට ප්‍රවේශවන තෙල් සහ වායු ටැන්කි සඳහා හම්බන්තොට වරාය ප්‍රධාන අන්තර් මාධ්‍යස්තානයක් වශයෙන් ද ක්‍රියාත්මක වේ. එමෙන්ම දකුණු ආසියාතික දූපත් ආශ්‍රතව පුලුල් වෙමින් පවතින චීනයේ පුලුල් ආයෝජනයන්වල අන්තර් මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වේ. එමෙන්ම ප්‍රතිඅපනයේ වැදගත් මධ්‍යස්ථානයක් බවට මෙම වරාය දැනටමත් පත්ව තිබේ. මේ වන විටත් සේද මාවත හරහා ගමන් කරන නෞකා අමතර සේවා ලබා ගැනීමට වැඩි දුරක් ගෙවමින් ඉන්දියාවේ කොචි වරායට යාම වෙනුට හම්බන්තොට වරායට පැමිණීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.
වර්තමානයේ චීනයට අයත් තෙල් 50%ක්ම ආනයනය කරන්නේත් චීනයෙනයේ අපනයන් 80%ක් ප්‍රවාහනය කරන්නේත් මලක්කා සමූද්‍ර සන්ධිය තුළිනි.  මුහුඳු මංකොල්ලකරුවන්ගෙන් පිරිනු අභියෝගාත්මක දීර්ඝ මුහුඳු ගමන ක්‍රා ඇල කැපීමෙන් දිනිය හැකිය. එමෙන්ම ගමන කි.මී 1200කින් කෙටිවන අතරම කාලය හා තෙල්ද ඉතිරි වේ. මෙම ක්‍රා ඇල නිර්මාණය කිරීමෙන් පසු වාසි ලබන ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මැලේසියාවයි. එම වාසිය ශ්‍රී ලංකාව ලබා ගැනීමට නම් මාගම්පුරවරායේ සේවා සැපයීම් සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම නිර්මාණය කළ යුතුය. එමෙන්ම විවිධ නැව් සමාගම් සමඟ හේජින් ගිවිසුමට යා යුතුය. එමෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ ඉන්ටර්නෙෂනල් මෙරිටයිම් ආයතනයේ ලියාපදිංචි විය යුතුය.
ක්‍රා ඇල චීනය ආර්ථිකයට වැදගත් වන අයුරින් තායිලන්තයට ද වාසිදායකය. එමෙන්ම මාගම්පුර වරායෙන් චීනයට ලැබෙන ආර්ථික ලාභයට සාපේක්ෂව ශ්‍රී ලංකා ආර්ථිකයට වාසිදායකය. චීන නෞකා පමණක් නොව පිලිපීනය, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල් කරා ප්‍රවාහනය වන එම රටවලින් පැමිණෙන නෞකාවන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සැපයුම්, අලුත් වැඩියාව, වැනි අමතර සේවාවන් සැපයීමේ අවස්ථාව හිමි වේ.  ඉන් රටට විශාල ධනස්කන්ධයක් උපයාගත හැකිය. 21වන සියවස අගභාගයේ චීනය ලොව සුපිරි බලවතා නම් 21වන සියවසයේ ලොව කාර්යබහුලම වරාය බවට මාගම්පුරවරාය පත්වන අතර අලුත් සිංගප්පූරුව බවට වන්නේ ශ්‍රී ලංකාවයි.

සාම් සකීෆ් තන්වීරි