Monday, January 23, 2017

සිංගප්පූරුව වැටුනොත් හම්බන්තොට ගොඩ.








පසුගිය දා හම්බන්තොට යුද පිටියක් විය. පිරිසක් පැවසුවේ ආණ්ඩුව හම්බන්තොට චිනාට විකුණන්න හදනවා යනුවෙනි. ආණ්ඩු පාර්ෂවය පැවසුවේ ශ්‍රී ලංකාව ඉහළට ම ඔසවා තැබීමට යෝද ආයෝජන කලාපයක් හදන බවයි. කවුරු කෙසේ කීවත් කවදාවත් නැති වටිනාකමක් හම්බන්තොට සෑම බිම් අඟලකටම ඉදිරියේදී හිමිවීමට නියමිතව ඇත. ඒ අන්කවරක් නිසාවත් නොවේ හම්බන්තොට වරාය නිසාය. එසේ පවසද්දි ඇතැමුණ්ට විහිලුවක් යැයි සිතෙනවා ඇත්තේ හම්බන්තොට වරාය පතුලේ විශාල ගල්පර්වතයක් තිබෙනවා යැයි විශ්වාස කරන හෙයිනි. ඔවුන්ගේ විශ්වාසය කෙසේ වෙතත් පසුගිය වසර තුනක් තිස්සේ වරායට විශාල නෞකා කිහිපයක්ම පැමිණ ඇත. වරාය පතුළේ පර්වතයක් තිබුණත් නැතත් නැවක් ඇතුළු කිරීමට ප්‍රමාණවත් ගැඹුරක් තිබීම ප්‍රමාණවත්ය.
රටක නාවික බලය ශක්තිමත් කිරීමෙන් ලෝක ආර්ථිකය හා දේශපාලන බලයට කළ හැකි බලපෑම විශාලය. ලොව රජ කළ රෝම, පර්සියානු, මිසර ‍අධිරාජ්‍යයන්ගේ බලය හීන කරමින් 15න සියවසේදී බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥ, පෘතුගීසි, ප්‍රංශ, ජපාන ඇතුලු නව අධිරාජ්‍යන් බිහිවීම  සිදුවන්නේ නාවික බලයේ සිදුවූ වෙනස්කම් වලින් පසුවයි. යුරෝපීය අධිරාජ්‍යයන් අප්‍රකානු මහද්වීපය වටා ගොස් සුභපැතුමේ තුඩුව හරහා පැමිණ ආසියාතික රටවල් පාලනය කළහ. යුරෝපයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද සපයා ගත්හ. නමුත් නාවික ගමන් සඳහා යුරෝපයට විශාල වියදමක් දැරීමට සිදුවූ අතර දීර්ඝ කාලයක් ද ගතවිය. නමුත් 1869 දී  සුවස් ඇල කැපූ පසු නාවික සැතපුම් දසදහස් ගණනාවක් යුරෝපීය නාවික ගමන කෙටි විය. වියදම් අඩුවිය. ගතවන කාලය කෙටි විය. ඔවුන්ගේ ආර්ථික වර්ධනය වේගවත් විය. ඒත් සමඟම අරාබීන්ගේ ආර්ථික ඒකාධිකාරය ද බිඳවැටුනි. ලෝක ආර්ථික බලය යුරෝපයට හිමි විය. ලෝක දේශපාලනය බලවතුන් ලෙස යුරෝපය පත්විය.
20වන සියවස මුල් කාලය වන විට ලෝක බලවතා නොවුණත් දේශපාලනිකව ස්තාවරත්වයකට පත්වෙමින් සිට ඇමරික එක්සත් ජනපදය ද සිය නාවික බලය වර්ධනය කරගැනීමට අවධානය යොමු කළේ. ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ ප්‍රබලයා වීමට ඇමරිකාවට බාධාවක් වූයේ අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා දකුණු ඇමරිකානු මහද්වීපය වටා ගමන් කිරීමට විශාල කාලයක් හා වියදමක් දැරීමට සිදු වූ නිසාය. එයට විසඳුමක් ලෙස ඇමරිකාව 1914 දී පැනමා ඇල කැපීමෙන් පසු දකුණු ඇමරිකාන මහද්වීපය හරහා නාවික සැතපුම් දසදහස් ගිය ගමන සැතපුම් සිය ගණනකට අඩුකර ගත හැකි විය. එතැන් පටන් ක්‍රමයෙන් නාවික බලය වර්ධනය කරගත් ඇමරිකව 20වන සියවස අවසන්වන විට ලොව සුපිරි බලවතා බවට පත්වන්නේ යුරෝපය ද පරදමිනි.
21වන සියවසයේ ලොවබලවතා වීමට බලාපොරොත්තු වන්නේ ආසියාතික රටක්වන චීනයයි. දේශපාලනිකව ස්තාවර රටක්වන චීනයේ නිශ්පාදන ආර්ථිකය ද ශක්තිමත් තැනකට පත්ව ඇතත් තවමත් චීනයට ලෝ බලවතා වීමට හැකි වී නැත. චීනය ද මුහුණ පා තිබෙන්නේ යුරෝපය මෙන්ම ඇමරිකාව ද මුහුණ දුන් නාවික ගමනාගමන ගැටලුවකටය. චීන නිශ්පාදන ලෝක වෙළඳපොලට ප්‍රවාහන කිරීමේදී සහ චීනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, තෙල්, ගෑස් ආනයනය කිරීමේදී ගතවන කාලය සහ වියදම චීනයට තිබෙන ප්‍රධානම අභියෝගයයි. එම අභියෝගය ජයගැනීමට චීනයට තිබෙන එකම විසඳුම නාවික බලය ශක්තිමත් කිරීම සහ නාවික ප්‍රවාහනය ලාභදායි සහ වේගවත් කිරීමයි. දැනට ඉන්දියාව, අප්‍රාකාව සහ මැදපෙරදිග රටවල්වලින් චීනය මිලදී ගන්නා ගෑස්, තෙල් ඇතුලු අනෙකුත් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන්නේ සේද මාවත ඔස්සේය. එනම් ඉන්දායානු සාගරය හරහා ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඇදි යන නාවික මාර්ගය ඔස්සේ ගොස් පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සංදිය දිගේ ගමන් කර සිංගප්පූරු වරාය හරහාය. මුහුදු මංකොල්ලකරුවන් සහ ත්‍රස්ථ ක්‍රියාකාරකම් ගහන මලක්ක සමුද්‍ර තීරුව හරහා යන දීර්ඝ නාවික මාර්ගය වෙනුවට තායිලන්තයේ ක්‍රා පහත්බිම හරහා ඇලක් කැපීමෙන් චීනයට නාවික ගමන කි.මී 1200කින් අඩුකරගත හැකිය. චීනය පමණක් නොව නැගෙනහිර ආසියාතික ප්‍රබලයන් වන ජපානය කොරියාව ඇතුළු අනෙකුත් රටවලට මේ වාසිය හිමිවනු ඇත.
ක්‍රා පහත් බිම හරහා ඇලක් කැපීමේ යෝජනාව මුල්වරට යෝජනා වූයේ 1677 දීය. නමුත් එවක තාක්ෂණික පහසුකම් ඇලකැපීමට බාධාවක් විය. නැවතත් 1882 දී සුවස් ඇල කැපූ ෆර්ඩිනන්ඩ් ද ලෙසප් ක්‍රා තැනිතලාව හරහා ඇලක් කැපීම යෝජනා කළ ද එම යෝජනාවට බ්‍රිතාන්‍යය එරෙහි වූයේ බ්‍රිතාන්‍යය යටතේ තිබුණු සිංගප්පූරු වරායට සිදුවිය හැකි හානිය නිසාය. බ්‍රිතාන්‍යයට අවශ්‍ය වූයේ සිංගප්පූරු වරායේ ආධිපත්‍ය පවත්ගෙන යාමයි. දැනට වසර 150ක කාලයක් තිස්සේ ලොව කාර්යබහුලම වරාය සිංගප්පූරු වරයයි. නැගෙනහිර ආසියාතික රටවල් කරා මලක්කා සමුද්‍ර තීරය හරහා ගමන් කරනු  ලබන සහ පැමිණෙන සෑම නෞකාවක්ම ආහාර, ඉන්දන ආදිය සඳහා සිංගප්පූරු වරායේ නවත්වනු ලැබේ. මීට අමතරව නැව් අලුත් වැඩියාව, එක්නැවකින් තවත් නැවකට භාණ්ඩ හුවමාරුව ආදි සේවාවන් ද සිංගප්පූරු වරායෙන් සිදු වේ.
සිංගප්පූරු ආර්ථිකය මුලුමනින්ම් රඳපවතින්නේ වරාය සේවාව තුළිනි. චීනය ඇතුළු නැගෙනහිර රටවලට ගමන් කරන නෞකා මලක්කා මුහුඳු තීරය හරහා ගමන් කිරීම නැවැත්වුවහොත් සිංගප්පූරු ආර්ථිකය කඩා වැටෙනු ඇත. ක්‍රා පහත්බිම හරහා ඇලක් කැපීම තම ආර්තිකයට වාසිසහගත බව චීනය දැන සිටිය ද අද දක්වා චීනය එම ව්‍යපෘතිය ආරම්භ නොකළේ චීනයේ හිතවතෙකු වූ සිංගප්පූරුවට සිදුවන හානිය නිසාවෙනි. නමුත් පසුගිය කාලය තුළ සිංගප්පූරුව ඇමරිකාවට ලංවීම සම්බන්ධයෙන් කුපිත වූ චීනය තම හිතවත්ම රටක්වන තායිලන්තය හරහා ක්‍රා ඇල කැපීමට ගිවිසුම් අත්සන් කළේය. ඇමරිකානු ඩොලර් බිලියන 28ක් වැය කර මීටර් 25ක් ගැඹුරු මීටර් 400ක් පළලැති කිලෝමීටර් 102ක් දුරැති ඇලක් කැපීමට චීනය සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසර 10ක් ගතවනු ඇත. ක්‍රා ඇල කැපීමෙන් මෙතෙක් කාලයක් මක්කා සමූද්‍ර සන්ධියේ පිහිටි එකම වරාය වූ සිංගප්පූරු වරාය සැපයූ සේවාවන් සැපයීමේ අවස්ථාව දකුණු ආසියාතික රටකට පැවරේ.
ඉන්දියාව උත්සහ කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය ගැඹුරු කර චීන නැව් ඉන්දියානු වරායට ගෙන්වා ගැනීමටය. නමුත් සේද මාවත වැටී ඇත්තේ හම්බන්තොට මාගම්පුර වරායට කිලෝමීටර් 15ක් පමණ දුරකිනි. කොළඹ හෝ ත්‍රිකුණාමල වරායන් පිහිටන්නේ සේද මාවත සිට සැතපුම් කිහිපයක් ඈතිනි. ගාලුවරාය පුලුල් කිරීමට නොහැකි වන අන්දමින් ගල්පර පිහිටා තිබෙ. ඒ අතර මේ සඳහා සුදුසුම ස්තානය වන්නේ අතීතයේ මාගම වරාය පිහිටි හම්බන්තොටය. 2008 දී හම්බන්තොට මාගම්පුර වරාය ඉඳිකිරීමට ආධාර කළේය. චීනයෙ අරමුණ වන්නට ඇත්තෙත් ක්‍රා ඇල කැපීමෙන් පසු සිංගප්පූරුවෙන් ලබාගත් සේවාවන් මාගම්පුර වරායෙන් ලබා ගැනීමටයි.
2014 වසරේදී මාගම්පුර වරාය ඉන්ධන ගබඩා කිරීමෙන් මිලයන 750ක් උපයා ගත්තේය. විශේෂයෙනම ඉන්දීය, ජපාන, දකුණු කොරියාන වාහන නිෂ්පාදන ආයතන මාගම්පුරවරාය භාණ්ඩ හුවමාරුව සඳහා භාවිත කළහ. 2014 මුල්මාස නවය තුළ පමණක් හුවමාරු වූ වාහන ප්‍රමාණය 100 000 ඉක්මවිය. ඒ අතර ටාටා මරුටි විශේෂ තැනක් ගත් අතර වරාය වැඩිපුරම භාවිත කර තිබුණේ හයිහුන්ඩායි සමාගමයි. හම්බන්තොට වරාය ඉදිකිරීමේ වැදගත්කම මුලින්ම පෙන්වා දුන්නේ 1970 දශකයේදී ආරියසීල වික්‍රමනායක මහතායි. නමුත් ඒ සම්බන්ධයෙන් පාලකයන් එතරම් සැලකිල්ලක් නොදැක්වීම හේතුවන් වරාය ඉදිකිරීම කල්ගියේය. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ මහතා මාගම්පුරවරාය චීනයේ සහාය ඇතිව පළමු අධියර ඉඳිකර අවසන් කළේය. නමුත් වරාය එමෙන්ම වරාය ඉඳිකිරීම විවේචනය කරමින් සිටි එ.ජා.ප ප්‍රමුඛ ආණ්ඩුව වරායේ ඉදිකිරීම් අවසන් කිරීමට චීනය සමඟ ගිවිසුමක් නැවතත් අත්සන් කළේය. ඒ අනුව අක්කර 4000ක භූමියක් පුරා ඉදිවන වරායේ නෞකා 33කට එකවර සේවා සැපයිය හැකි වන අතර ඉදිරියේදී ඉදිවන මහාපරිමාණ මෙගා නෞකාවලටත් සේවා සැපයීමේ අවස්ථාවද හිමිවනු ඇත. එමෙන්ම පර්යන්ත හතරකින් සමන්විත, ගබඩා පහසුකම්, ඉන්ධන සැපයුම්, ස්වභාවිකි දියර වායු පිරිපහදු, ඉන්ධන ගබඩා පහසුකම්, ප්‍රතිඅපනයන කලාප හා වියලි වරාය පහසුකම් ආදි පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම වරාය බවටත් හම්බන්තොට මාගම්පුර වරාය පුලුල් කිරීමට නියමිතය.
රතු මුහුඳ, පර්සියන බොක්ක, මලක්කා සමුද්‍රය, පකිස්තානයේ ග්වාදාර් සහ මියන්මාරයේ සිට්විවලට ප්‍රවේශවන තෙල් සහ වායු ටැන්කි සඳහා හම්බන්තොට වරාය ප්‍රධාන අන්තර් මාධ්‍යස්තානයක් වශයෙන් ද ක්‍රියාත්මක වේ. එමෙන්ම දකුණු ආසියාතික දූපත් ආශ්‍රතව පුලුල් වෙමින් පවතින චීනයේ පුලුල් ආයෝජනයන්වල අන්තර් මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වේ. එමෙන්ම ප්‍රතිඅපනයේ වැදගත් මධ්‍යස්ථානයක් බවට මෙම වරාය දැනටමත් පත්ව තිබේ. මේ වන විටත් සේද මාවත හරහා ගමන් කරන නෞකා අමතර සේවා ලබා ගැනීමට වැඩි දුරක් ගෙවමින් ඉන්දියාවේ කොචි වරායට යාම වෙනුට හම්බන්තොට වරායට පැමිණීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.
වර්තමානයේ චීනයට අයත් තෙල් 50%ක්ම ආනයනය කරන්නේත් චීනයෙනයේ අපනයන් 80%ක් ප්‍රවාහනය කරන්නේත් මලක්කා සමූද්‍ර සන්ධිය තුළිනි.  මුහුඳු මංකොල්ලකරුවන්ගෙන් පිරිනු අභියෝගාත්මක දීර්ඝ මුහුඳු ගමන ක්‍රා ඇල කැපීමෙන් දිනිය හැකිය. එමෙන්ම ගමන කි.මී 1200කින් කෙටිවන අතරම කාලය හා තෙල්ද ඉතිරි වේ. මෙම ක්‍රා ඇල නිර්මාණය කිරීමෙන් පසු වාසි ලබන ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මැලේසියාවයි. එම වාසිය ශ්‍රී ලංකාව ලබා ගැනීමට නම් මාගම්පුරවරායේ සේවා සැපයීම් සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම නිර්මාණය කළ යුතුය. එමෙන්ම විවිධ නැව් සමාගම් සමඟ හේජින් ගිවිසුමට යා යුතුය. එමෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ ඉන්ටර්නෙෂනල් මෙරිටයිම් ආයතනයේ ලියාපදිංචි විය යුතුය.
ක්‍රා ඇල චීනය ආර්ථිකයට වැදගත් වන අයුරින් තායිලන්තයට ද වාසිදායකය. එමෙන්ම මාගම්පුර වරායෙන් චීනයට ලැබෙන ආර්ථික ලාභයට සාපේක්ෂව ශ්‍රී ලංකා ආර්ථිකයට වාසිදායකය. චීන නෞකා පමණක් නොව පිලිපීනය, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල් කරා ප්‍රවාහනය වන එම රටවලින් පැමිණෙන නෞකාවන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සැපයුම්, අලුත් වැඩියාව, වැනි අමතර සේවාවන් සැපයීමේ අවස්ථාව හිමි වේ.  ඉන් රටට විශාල ධනස්කන්ධයක් උපයාගත හැකිය. 21වන සියවස අගභාගයේ චීනය ලොව සුපිරි බලවතා නම් 21වන සියවසයේ ලොව කාර්යබහුලම වරාය බවට මාගම්පුරවරාය පත්වන අතර අලුත් සිංගප්පූරුව බවට වන්නේ ශ්‍රී ලංකාවයි.

සාම් සකීෆ් තන්වීරි

No comments:

Post a Comment