Monday, January 30, 2017

බැඳුම්කර් පාර්ලිමේන්තු විවාදය.

බැඳුම්කර් පාර්ලිමේන්තු විවාදය.

දූෂණ, වංචා, පවුල් පාලනය යන චෝදන එල්ල කරමින් රෙජීම පාලනය පරාජය කරමින් යහපාලන පක්ෂය බලයට පත්ව දින 50ක් ගතවූවා පමණි මහබැංකු ඉතිහාසය මහා මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩිය සිදුවූයේ රටට බිලියයන ගණනාවක් පාඩුකරමිනි. බැඳුම්කර විකිණීමේදී 9%ක පමණ පොලියට විකුණනවා වෙනුවට 12%කට පමණ විකුණා තිබුණි. මෙම වංචාව කිරීම සම්බන්ධයෙන් එවක මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා එල්ල වූ අතර ඔහුට බැංකු අධිපති ධූරයෙන්ද සමුදෙන්නට සිදු විය. මහබැංකු මහ මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩියේ සුල මුල සොයාගනු ලැබුවේ කෝප් කමිටුව විසිනි. මෙම ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ වූවන් දේශපාලන අනුහසින් නීතියෙන් දිගින් දිගටම ගැලෙවෙද්දි ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම් මධ්‍යයේ බැඳුම්කර සිද්ධිය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සිදු විය. නමුත් විවාදයට ගැනීමට දිනකට පෙර එම විවාදය නැවැත්වීමේ තැතක් ද තිබුණි. ඒ සියල්ල ව්‍යර්ත වෙද්දි පසුගිය 25වන බදාදා බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ ඇරඹිනි. නමුත් එදින විවාදයට අගමැති වරයා පැමිණ නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ නොසිටීමත් කාගෙත් අවධානයට ලක් විය.



බැඳුම්කර විවාදය ආරම්භයට පෙර කතානායකවරයා මෙම විවාදය චරිත ඝාතනයකින් තොරව පවත්වාගෙන යන ලෙස ඉල්ලනවා යනුවෙන් විවාදයට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. විවාදයේ මුල් කතිකයා ලෙස සිය ආසනෙයන් නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම ඉල්ලීමට උත්තර දුන්නේ මම කිසිවකුගේ පෞද්ගලික චරිත ඝාතනයක්‌ කරන්නෙ නෑ. ඒත් හොරාට හොරා යෑයි කියන්නත් මම පසුබට වෙන්නෙත් නෑ යනුවෙනි. එතැන් සිට මන්ත්‍රීවරයේ දැඩිව ආණ්ඩුව විවේචනය කළේය. ආණ්ඩුව ජනවරමට පයින් ගසා වංචාවක් සිදුකළා. දැන් ඒ වංචනිකයන් ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි ආශිර්වාද කරන්නත් කටයුතු කරනවා. මේ ගනුදෙනුවේ ප්‍රධාන ආරක්ෂකයා වී සිටින්නේ අගමැතිවරයා යැයි ඍජුවම අගමැතිවරයාට ඇගිල්ල දිගු කළේය. ආණ්ඩුවේ මේ ක්‍රියාකලාප දූෂිතයන්ට දඬුවම් කිරීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අනතුරුව මන්ත්‍රීවරයා බැඳුම්කර සිද්ධියෙන් සිදුවූ පාඩුව සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කළේය. පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් සෘජුවම කෝටි 14100 ක බැඳුම්කර මිලට ගෙන තිබෙනවා. පර්පචුවල් සමාගම වෙනත් ආයතන හරහා රුපියල් කෝටි 8600 ක බැඳුම්කර මිලට ගෙන තිබෙනවා. ඉන් සියයට 95 ක්‌ මිලට ගෙන තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලින්. මෙමගින් මිලියන 14900 ක පාඩුවක්‌ මාස 14 ක්‌ තුළ සේවක අර්ථසාධක අරමුදලට සිදුව තිබෙනවා. මේ පාඩුවූ මුදල ගලාගෙන ගිහින් තියෙන්නෙ පර්පචුවල් සමාගමට. සාකච්ඡාවට ලබාදෙන කාලය තුළ පර්පචුවල් සමාගමේ ලාභය රුපියල් මිලියන 13,000 යි. බැඳුම්කර වෙළෙඳපොළේ සෙසු ප්‍රාථමික වෙළෙඳ සමාගම්වල වත්කම් ප්‍රමාණය සියයට තිස්‌ එකයි. නමුත් පර්පචුවල් සමාගම වසර දෙකක්‌ තුළ වත්කම් සියයට 1853 කින් වර්ධනය වෙලා. කාර්ය මණ්‌ඩලය 14 කින් එතරම් ලොකු ලාභයක් ලබන්න බැහැ.මේ ගනුදෙනුව හරහා විශාල පාඩුවක්‌ ආණ්ඩුවට සිදුව තිබෙනවා. වගඋත්තරකරුවන් නීතිය හමුවට කැඳවිය යුතුයි. හොරකමක්‌ ඉතා හොඳින් සමාජයට හෙළිවී තිබෙනවා.

එම අනාවරණය කිරීම්වලින් පසුව මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය උදහසට ලක්කරමින් මෙසේ ප්‍රශ්න කළේය. ජනාධිපතිවරයා අවසාන මොහොත වන තුරුම සිටියාද කොමිසමක්‌ පත්කරන්න. ඇයි මේ කොමිෂන් සභාව පමා කළේ? අනතුරුව මන්ත්‍රීවරයා කතානායකරයාට පෙන්වා දුන්නේ කතානායකවරයා මැදිහත් වී කෝප් කමිටු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමු කළ යුතු බවයි.

අනුර මන්ත්‍රීවරයා කතාව අවසන් කරනවාත් සමඟම මන්ත්‍රීවරයාගේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව පිළිගන්නා බව පවසමින් බන්දුල ගුණවර්ධන මහතා විවාදයට එක් විය. බන්දුල ගුණවර්ධන මහතා බැදුම්කර වංචාව හැඳින්වූයේ මහදවාලේ සිදුවූ මහමංකොල්ලය ලෙසිනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා බැඳුම්කර වංචාවට විරුද්ධව කරුණු 35 ක්‌ද, ජී.එස්‌.පී. සහනය ලබා ගැනීමට රට පාවාදුන් ආකාරය පිළිබඳ කරුණු 55 ක්‌ ඇතුළත් වාර්තාවක්‌ තමා ළඟ තිබෙනය. එමෙන්ම වංචාවට සම්බන්ධ කිසිවෙකුට තරාතිරම් නොබලා උපරිම දඬුවම් ලබා දිය යුතු යැයි ද සභාවට පැවසීය.

එසැනින් නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා බන්දුල ගුණවර්ධන මහතාට උත්තර දෙමින් පැවසුවේ හොරුන්ට දඬුවම් දිය යුතුයි. අපි ඒ ගැන එකඟයි. හැබැයි ඒ ගැන පාර්ලිමේන්තුවට කිසිවක් කරන්න බැහැ යනුවෙනි. අනතුරුව ඇමතිවරයා පසුගිය ආණ්ඩු සමයේ කෝප් කමිටි ක්‍රියාකලාප විවේචනය කරමින් සඳහන් කළේ මෙවන් අදහස් පෙළකි. පසුගිය ආණ්‌ඩුව කාලයේ බැඳුම්කර නිකුත් කළේ මේසය යටින්. මේ ආණ්‌ඩුව යටතේ තමයි විනිවිද භාවයකින් මෙය සිදු කළේ. අපට හංගන්න කිසිම දෙයක්‌ නැහැ. කෝප් කමිටුවේ සභාපති ධුරයට අපි පළමුවරට විපක්‍ෂ මන්ත්‍රීවරයකු පත්කළා. පහුගිය ආණ්‌ඩු කාලයේ ඒවායේ සභාපති ධුරය දැරුවේ ආණ්‌ඩුවේ නියෝජිතයන්. අපි කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමුකළා. පහුගිය ආණ්‌ඩු කාලයේ කෝප් වාර්තා නීතිපතිට යෑව්වේ නැහැ. අපි නීතිපතිවරයා කෝප් වාර්තාව සම්බන්ධයෙන් දෙන තීන්දු ක්‍රියාත්මක කරනව.
ඇමැතිවරයා කතාව කරන අතරවාරයේ එජනිස මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා කතාවට හරස් වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ද කෑකෝ ගසන්නට පටන්ගත්හ. ඇමැතිවරයාට කතාව මගදී නැවැත්වීමට සිදුවිය. පසුව ඇමැතිවරයාට කතාව පවත්වා අවසන් කිරීමට සිදුවූයේ කතා නායකවරයා සභාව නිහඬ කිරීමෙන් අනතුරුවයි. ඉන්පසු සභාව ඇමැතූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසුවේ මේ ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් ගතව ඇතත් තවමත් වංචනිකයන්ට දඬුවම් දී නැති බවත් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිළිබඳවද මාස ගණනාවක් වාර්තා සැකසුවත් තාමත් නීතීමය පියවර නොගැනීමත් ජනතාව කලකිරීමෙන් සිටින බවත්ය. එමෙන්ම දිගින් දිගටම දූෂණ වංචා පැවැතියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් නැතිව යා හැකි යැයි හෙතෙම පැවසීය.

ඊලඟ කතිකයා වශයෙන් සම්බන්ධවෙමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසුවේ අද බැඳුම්කරය ගැන කතා කර හුඟක් අය බැඳුම්කර නිකුතු මූලධර්ම නොදන්න බැවැයි. ඔවුන් මෙතෙක් කල් බැඳුම්කරය හෙවත් 'බොන්ඩ්' ගැන කිසිවක් නොදැන සිටි අතර ඔවුන් දැන සිටියේ ජේම්ස් බොන්ඩ් විතරයි යැයි ද ඇමැතිවරයා උපහාසාත්මක පැවසීය. ඔවුන් ඉදිරිපත් කරන්නේ බොලඳ තර්ක වන අතර ඒවා පිළිගත නොහැකි බව ද කබීර් ඇමැතිවරයා සභාවට පැවසීය.

රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ වරදට සිරගතව සිටින එජනිස මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණයේ විශේෂ අවසරය ඇතිව බැඳුම්කර විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. විමල් වීරවංශ මහතා සුපුරුදු ලීලාවෙන් සභාව ආමන්ත්‍රණය කිරීමට පටන්ගෙන ආණ්ඩුව විපක්ෂය දඩයම් කරමින් ඉන්නවා. මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ යැයි කීවා පමණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මොනව කරලද හිරේ ගියේ? යැයි කියමින් කෑගහන්න පටන්ගත්හ. දැඩි ඝෝෂා මධ්‍යයේ වීරවංශ මහතා බැඳුම්කරය අගමැතිවරයාගේ හොරකමක් බවත්, ජනාධිපතිගේ සහෝදරවරු හාල් හොරකමේ නියලී සිටින බවත් පැවසීය. දැන් ක්‍රෝටන් කොළ, කොස්‌ කොළ කන්න කියනවා ජනතාවට. මේ විදිහට ජනතාව තළන ආණ්‌ඩුවේ අයට තණකොළ කන්න දෙන්න ඕන. යැයි කීවාත් සමඟම නැවතත් සභාවේ ගෝෂාව වැඩිවිය. ගෝෂාව මධ්‍යයේ වීරවංශ මහතා එක කොනක චීන කොලනිය අනෙක් පැත්තෙන් ඉන්දීය කොලනිය. අගමැතිතුමා 2020 දී මැතිවරණයට සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතන මිලදී ගන්නවා. අපිව හිරේ දාල අපිව මර්ධනය කරන්න බෑ. යක්කුන්ට බය නම් අපි සොහොන්වල ගෙවල් හදන්නේ නෑ.

වීරවංශ මහතාට පිළිතුරු දෙමින් එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා “පවුලට යුතුකම් කරලා විමල් වීරවංශ අද හිරේ ගිහින් තියෙනවා. පවුලේ අයට වාහන දීලා, තවත් අයට වාහන දීලා වාහන 96 ක්‌ කොල්ල කාපු විමල් වීරවංශ අද ජාතික වීරයෙක්‌ වෙන්න හදනවා. මහින්ද හාමුදුරුවන්ගේ කවියක්‌ තමන්ගේ බවට පත්කර ගෙන කෝටි ගණන් වැයකර පෝස්‌ටර් ගහනවා. තමන්ගේ වරද හදා ගන්නේ නැතිව අනෙක්‌ අයට දොස්‌ කියනවා. ඒකාබද්ධ හොරු රැලට මම කියන්න කැමතියි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ආණ්‌ඩුව කාලයේ හංගපු කෝප් වාර්තා 40 ක්‌ තියෙනවා. ඒවා ගැනත් හොයලා බලමු. යනුවෙන්වෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා තම කතාව පවත්වාගෙන ගියේ විපක්ෂයේ දැඩි ඝොෂාව හා බාධාව මධ්‍යයේය.

ඉන් අනතුරුව ශ්‍රිලනිපේ ස්තාවරය පැහැදිලි කරමින් කවරෙකු හෝ වංචා කර ඇති නම් ඒ මුදල රජයට අයකරගත යුතු යැයි ප්‍රවාහන හා සිවිල් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ තීන්දුව ද මාස තුනකින් ලබා ගත හැකි බවද ඇමැතිවරයා දැන්වීය. පන්පසු ඊපීඩිපි පක්ෂ නායක ඩග්ලස් දේවනන්ද මහතා මෙන්ම ජාතික හෙල උරුමයේ නායක පාඨලි අමාත්‍යවරයාද බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දිය යුතු යැයි තමන්ගේ ස්තාවරය හැන්සාඩ්ගත කළහ. ඒත් සමඟම එජනිස මන්ත්‍රී මහින්දානන් අලුත්ගමගේ මහතා ආණ්ඩුවට මෙන්ම අගමැතිවරයාට ද චෝදනා කරමින් පවසා සිටියේ ආණ්ඩුව පසුගියේ කාලයේ මෙන්ම වරථමානයේ වංචනිකයන් පිළිබඳවද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

ඉන්පසුව එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශ්‍රිධරන් යන අය පෙන්වා දුන්නේ කලින් ආණ්ඩුව කෝප් වාර්තා කුණු කූඩයට දැමූ බවත් වර්තමාන ආණ්ඩුව ඒ ගැන සොයා බැලීමට කමිටුවක් පත්කළ බවත්ය. එහිදි ශ්‍රිධරන් මන්ත්‍රීවරයා කෝප් වාර්තාව මෙන්ම අතුරුදන් වූවන්ගේ කොමිෂන් වාර්තාවට ද සාධාරණයක් ලැබිය යුතු යැයි සභාවෙන් ඉල්ලා සිටියේ. ඒත් සමඟම එජනිස මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ ආණ්ඩුවට බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් ප්‍රශ්න කරන්න නොහැකිව සිටිනවා යැයි චෝදනා කළේය. එයට සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ බැඳුම්කර සිද්ධිය අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ තනි කැමැත්තට සිදුවූවක් බවත් එම නිසා බැංකු පොලී අනුපාතය ඉහළ ගිය අතර ආයෝජකයින් අධෛර්යමත් වූ බවත්ය. අනතුරුව රුපියලේ අගය පහළ වැටීම සමස්‌ත ආර්ථිකයටම බැඳුම්කර වංචාව බරපතළ ලෙස බලපෑ බවයි.

හොරා ඉන්නවා. ඔත්තු බලපු කෙනා ඉන්නවා. කෙහෙල් කැනත් තිබෙනවා. එහෙනම් ඇයි දඬුවම් දෙන්න මෙච්චර පරක්‌කු? අර්ජුන මහේන්ද්‍රන් මහතා රජයේ හෝ මහ බැංකුවේ කිසියම් තනතුරක්‌ තාමත් දරනවාද?” යැයි පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රශ්න කරද්දි එවැනි කිසිම තනතුරක් නොදරනවා යැයි අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න කීය.

එමෙන්ම සභාව ආමන්ත්‍රණය කරමින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා හෙජින් ගණුදෙනුවේ සොරුන් ඇල්ලීමට පවසමින් උසාවි ගිය තිනියාවල හාමුදුරුවෝ බැඳුම්කර හොරු ඇල්ලීමට එරෙහිව නඩු දැමීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය.

පසුව විවාදයට එක්වූ මොනරාගල දිස්ත්‍රික්ක එජනිස මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා ගලේ පැහැරූ බළලුන්ට වූ දෙය අද එජාපයට සිදු වෙලා තිබෙනවා. මේ වංචාවට වගකිවයුතු හොරා අර්ජුන් මහේන්ද්‍රන් නම් ඒ හොරාගේ හොරා කම්බ හොරා අගමැති මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි. ඔහු සිටීම බාධාවක්” යැයි පවසද්දි රවි කරුණානයක මුදල් අමැතිවරයා පැවසුවේ මේ ගැන පරීක්ෂණ කරන්න විවාද කරන්න දුන්නේ ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය නිසා යැයි පැවසීය.

රවුෆ් හකීම්, හර්ෂද සිල්වා, මුජිබර් රහ්මාන්, වාසුදේව නානයක්කාර, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, අශෝක් අබේසිංහ, ජන්ද්‍රසිරි ගජදීර හා සුනිල් හඳුන්නෙත්ති ඉරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන පෙරේර යන මැති ඇමතිවරු විවාදයට එක්වෙමින් අදහස් දැක්වූහ.

කේප් කමිටුවේ සභාපති පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සභාව අමතමින් මෙසේ පැවසීය. අද මේ විවාදයට සහභාගි වූ කිසි කෙනෙක් වංචාවක් සිදුව නැතැයි කීවේ නැහැ. වරදකරුන්ට දඬුවම් දිය යුතු බව හා සිදුවූ පාඩුව රජය අය කළ යුතු බව පොදු මතයයි. දැන් ප්‍රශ්නය තිබෙන්නේ අප මෙතැනින් එහාට මේ සම්බන්ධයෙන් ගන්නා පියවරයි. මේ සම්බන්ධව පත්කරන ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුව හා ජනතාව දැනගත යුතුයි.


පසුගිය 25වන දින උණුසුම් තර්ක විතර්කවලින් පසුව බැඳුම්කර විවාදය අවසන් විය. එහිදි කළ යෝජනාව පරිදි කතානායකවරයා මැදිහත් වී කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයා අතට පත් කළේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහාය. මෙලෙස කතානායකවරයා මැදිහත්වී වාර්තාවක් නීතිපතිවරයාට ලබා දුන් පළමු අවස්ථාව වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනයට එක්වූ සිද්ධියක් බවටත් එය පත්විය.

සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment