ජාතික ගැටලුවට විසඳුම් සොයමින් බිහි වූ කොටි ත්‍රස්ථවාදය
පරදා වසර අටක් ගතවී හමාරයි. ත්‍රස්ථවාදය පරාජය කළේ යුද්ධයෙනි. ජාතික ගැටලුවට දිය
හැකි හොඳම විසඳුම යුද්ධය නොවුනත් කොටි සංවිධානයේ ත්‍රස්ථ ක්‍රියාකාරකම්වලට අවියෙන්
පිළිතුරු දීමට රජයට සිදුවිය. ත්‍රස්ථ සංවිධානය නැවත සන්නද්ධවිය නොහැකි තරමට බිමටම
සමතලා කර දැමුණු. එහෙත් තවමත් ජාතික ගැටලුව විසඳී නැත. යුද්ධය නිමවීමෙන් අනතුරුව
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් පුනරුත්ථාපනය කරන ලදි. පුනරුත්ථාපනය වූ හිටපු
කොටි සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදීව සිය අයිතීන් දිනාගනු පිණිස 2015 මහමැතිවරණයේ
තරඟ වැදීමට දෙමළ ජාතික සන්ධානයෙන් නාමයෝජනා අයදුම් කළහ. නමුත් දෙමළ ජාතික සන්ධානයේ
නායක ආර්.සම්බන්ධන් මහතා පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ට නාමයෝජන දීම ප්‍රතික්ෂේප
කළහ. ඒ මොහොතේ එම පුනරුත්තාපනය වූ සාමාජිකයන් පැවසුවේ නාමයෝජනා නොදීම නිසා අප අධෛර්යමත්
නොවන අතර ඉදිරියේදී වන්නියේ ජනතාවට සේවය කිරීම සඳහා වෙනමම පක්ෂයක් පිහිටුවන බවයි.
මේ අයුරින් 1970 දශකය අවසානයේ එල්.ටී.ටී.ඊ තරුණ සංවිධානය බිහිවන්නේ එවක ප්‍රධාන
දෙමළ පක්ෂය තරුණයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. පෙබරවාරි මස 28දින නාමයෝජනා අහිමි
වීමේදී දුන් පොරොන්දුව පරිදි “පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්‍ෂය” යනුවෙන් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළහ.
මාර්තු 03වන දා පක්ෂය ප්‍රසිද්ධ කිරීම සඳහා මාධ්‍ය
හමුවක් සාමාජිකයන් තිස්දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් සාම්පූර් කාලි කෝවිල අසල
පැවැත්වූහ. මාධ්‍ය අමතමින් නව පක්ෂයේ සභාපති කන්දසාමි ඉන්බරාසා අදහස් දක්වමින්
කියා සිටියේ “නව පක්ෂය ආරම්භ කළේ පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් 12000කගේ එකතුවෙනි.
පක්ෂය ආරම්භ කිරීමට මූලිකව හේතු වුණේ පුනරුත්තාපනය වූ අපට මෙතෙක් කිසිඳු උපකාරයක්
නොලැබුණ නිසයි. සමහර සාමාජිකයන්ගේ ශරීරයේ තවමත් උණ්ඩ තිබෙනවා. ජීවත්වෙන්නේ තුවාල,
ආබාධ සහිතවා. තවත් සමහර පිරිසක් තවමත් ඉන්නේ බන්ධනාගාරවල. ඒ නිසාවෙන්මයි අපි
දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වුණේ. ඒ හරහා අපි අපේ අයිතීන් දිනාගන්නා උත්සහ කරනවා.
වත්මන් රජය පුනරුත්තාපනය වූ අපිට විවිධ අයුරින් උදව් උපකාර කළා. එහෙත් දෙමළ ජාතික
සන්ධානය අපි ගැන හොයලා බලන්නේ නැහැ. අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ. අපිට සලකන්නේ
නෑ. අපි සෑහෙන්න රැවටුනා. දැන් ඔවුන් ගැන තිබුණ විශ්වාසය බිඳවැටුනා. ඒ නිසාම අපිට
වෙනමම දේශපාලන පක්ෂයක් විදිහට සංවිධානය වීමට සිදු වුණා. අපේ අයිතීන් දිනීමට නැවත
ආයුද අතට ගන්න බැහැ. නැවත කවදාවත් ආයුද ගන්න අපි සූදානමිනුත් නැහැ. ඒ නිසායි අපි
ප්‍රජාතන්ත්‍රවාදීව අයිතීන් දිනාගැනීම සඳහා පක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ” යනුවෙනි.
පුනරුත්තාපනය වූවන්
මෙලෙස දේශපාලනයට පිවිසීම ප්‍රශංසනීය දෙයකි. ජාතික ගැටලුවට විසඳුම අවි ආයුද නොවන බව
ඔවුන්ද වටහා තිබේ. නමුත් පුනරුත්තාපනය වූවන් නව පක්ෂයක් පිහිටුවා ගත් පසු කොටි
නැවත සංවිධානය වනවාය, නැවත අවිආයුද අතට ගැනීමට සූදානම් වනවාය යනුවෙන් දේශප්‍රේමී
විචාරයන් දකුණට කියමින් කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව සිතීමට පටන්ගෙන ඇති පිරිස
ආපස්සට හැරවීමටය. සිරකරුවන්ද මිනිසුන්ය යන පාඨයේ සැබෑ අරුත වටහා ගත හැකි නම්
පුනරුත්ථාපනය වූවන් ද මිනිසුන්ය යන සත්‍යය පිළිනොගෙන සිටීමට හේතුවක් නැත. දේශපාලනය
අයිතිය ඕනෑම පුරවැසියෙකු සතු මූලික අයිතියකි. යුද්ධයෙන් කොටි සංවිධානය පරාද කළත්
හිටපු කොටි සාමාජිකයන්ගේ ජීවිතවලට හෝ අයිතීන්වලට අතතැබීමට කිසිවෙකුට අවසර නැත.
ඔවුන් සාමාන්‍ය පොදු නීතිය අනුව සැලකිය යුතු අතර ඉන් පරිභාහිරව සැලකීම තවත් ත්‍රස්තවාදයකි.
තිස්වසරක කුරිරු
යුද්ධය දකුණු හා උතුරු ජනතාවට එකසේ මහා විනාශයක් ගෙන දුන්නේය. රජයේ හමුදා සෙබලුන්
දහස් සංක්‍යාවක් ඝාතනය වූ අතර එවැනිම ප්‍රමාණයක් ආබාධිතයන් ලෙස දිවි ගෙවති. පසුගිය
ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ඒ පිරිසට විවිධ ආධාර උපකාර හා සහන පිරිනමයි. අවි අතට
ගත් කොටි සාමාජිකයන්ද විශාල පිරිසක් ඝාතනය වූහ. ඔවුන්ගේ දරුවන් අනාථ වූ අතර
බිරිඳෑවරු වැන්දඹුවන් වූහ. තවත් කැරැළිකරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ ආබාධ සහිතව
දිවි ගෙවති. නමුත් රජයෙන් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳව
සෑහීට පත්විය නොහැකිය.
උතුරු නැඟෙනහිර ඇතුළු මුළු රටේම
පුද්ගලයින් 60,000ක් දෙනා අතුරුදහන් වී ඇතැයි ඇතැම්
වාර්තා සඳහන් කරයි. තවත් සංවිධානයක් සිදු කළ සමීක්ෂණයකින් පුද්ගලයින් 16000ක් අතුරදහන් වී ඇතැයි වාර්තා වේ. අතුරුදන් වූවන්ගේ
ඥාතීන් බොහෝ දෙනෙක් මරණ සහතික ඉල්ලුම් කිරීමට අකැමැත්තක් දක්වයි. ඔවුන් නැවත තම
නිවෙස් බලා පැමිණෙතෙයි සමීපතමයින් දැඩිවෙ බලාපොරොත්තු වෙයි. ස්වාමිපුරුෂයා අතුරුදහන් වී සිටින ඇතැම්
පවුල්වල මරණ සහතිකය ලබා නැති නිස බිරිඳ හා දරුවාට රජයෙන් ලැබෙන සහන, ප්‍රතිලාභ, ඉඩම්, දේපොළ පරිහරණය කිරීමට ඇති අවස්ථා අහිමිව
තිබේ.
යුද්ධියෙන් පසු සංක්‍රාන්තික යුක්තිය
ඉටු කිරීම සඳහා වන අතුරුදහන් වූවන් පිළිබඳව පනත් සම්මත වුවත් තවමත් නිසි යාන්ත්‍රණයක්
අනුව ක්‍රියාත්මක නොවීමත් තවත් එක් ගැටලුවකි. දමිලයන් දෙමුහුන් අධිකරණයක් ඉල්ලා
සිටිනුයේ යුද
ගැටුම්වල වින්දිතයන්ට අධිකරණ පද්ධතිය මාර්ගයෙන් සහනයක් අපේක්ෂා කිරීමේදී සිදු වන
ප්‍රමාදයන්, මග ඇහිරීම් හා දිගින් දිගටම ඔවුන්ට සිදුවූ අසාධාරණකම් ඉදිරියේ
රජයේ කෙරේ ඔවුන්ට තිබුණු විශ්වාසය බිඳවැටීම නිසාය. කෙසේ වෙතත් නැවත නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාවත් සමගා නව බලාපොරොත්තුවක් දමිළ ජනයා තුළ ජනිතව තිබේ.
අන්‍යෝන්‍ය විශ්වාසය දිගුකාලීන සාමය හා සංහිඳියාවට අත්‍යවශ්‍යය. විරසක දෙපාර්ශ්වයක් අතර සිදුවිය
යුතු සංහිඳියාවේදී කිනම් පාර්ශ්වයක් හෝ සැඟවුණු අරමුණු හෝ සැඟවුණු න්‍යාය පත‍්‍ර
නොමැතිව සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, සංහිඳියාව වෙනුවෙන් කැපවෙන්නේ නම් එය අගය කළ
යුතුය.
යුද්ධය අවසන් වී වසර 03 ක් වැනි කෙටි කාලයකදී හිටපු
එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 11,000
ක් දෙනා පුනරුත්ථාපනය වී යළි සමාජගත වූහ. ඒ අතරින් හිටපු එල්. ටී. ටී. ඊ.
සටන්කරුවන් ලෙස සිටි 212 දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට
පිවිසුනහ. ළමා සොල්දාදුවන් ලෙස සිටි 512 දෙනෙක් ඔවුන්ගේ දෙමාපියන් භාරයට පත්කවූහ. ඉන්
බහුතරයක් නැවත පාසැල් අධ්‍යාපනයට යොමු වූහ. පුනරුත්තාපනය වූ 3500 දෙනෙක් සිවිල් ආරක්‌ෂක බළකායට
බඳවා ගනු ලැබීය. තවත් විශාල පිරිසක් විවිධ හස්ත කර්මාන්ත හා කෘෂිකාර්මික කටයුතුවලට
පිවිස සිටිති.
තම නායකයන් විසින් වැරදි කළ
වැරදි මඟපෙන්වීම් නිසා විනාශකාරි ජීවිතයකට පිවිසීමට සිදුවූ ජනයා යථා ජීවිතයකට
පැමිණ සිටිති. ඒ. අමිර්තලිංගම්, ආචාර්ය නීලන් තිරුචෙල්වම්, තංගතුරෙයි හා ලක්‍ෂ්මන්
කදිරගාමර් වැනි රට පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන්ව එල්. ටී. ටී. ඊ.
සංවිධානය විසින් ඝාතනය වූහ. එහෙත් අද එම සංවිධානයේම පුනරුත්ථාපනය වූවන්
ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස සිටිති. එබැවින් “පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්‍ෂය” තවත්
ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ඊරෝස් හෝ ඊපීඩීපියක් නොවීමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රිකව
පවත්වාගෙන යාමට දෙමළ ජාතික සන්ධනය හා ප්‍රධාන පක්ෂ වගබලාගත යුතුය. ජාතික ගැටලුව
විසඳීමේ සෑම කෙනෙක්ගේම අයිතීන් සුරකීම වැදගත් වේ. එමෙන් ජාතික සාමය සාධනය කරගත්
හැක්කේ ලාංකික ජනසමාජයක් බිහි කිරීමෙන් පසුවයි. යුද්ධයකට මැදි වූ අප අතර තිබෙන
දුරස්තභාවය අඩු කර සමීපාතාවක් ගොඩ නැගීමට සෑම ජනවර්ගයක්ම ඔවුන්ගේ දායකත්වය දීම
සැබෑ සංහිඳියාව බිහි කිරීමට රුකුල් වේ.
No comments:
Post a Comment