Monday, March 13, 2017

රංජා ඔන් දිවුලපිටිය කරළියේ.

ඔබතුමාගේ ප්‍රකාශයක් හින්දා මුලු රාජ්‍ය පරිපාලන සේවයම කැළඹිලා. ඇමතිතුමා මොකද්ද මේ කරගත්තේ?
මම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තේ ජනතා සටන්වලට නායකත්වය දීලයි. ලිංවල වතුර නෑ, කුඹුරුවල වතුර නෑ කියලා මුලින්ම මේ ප්‍රශ්නෙ ගැන මට කීවේ ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒකට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න මටත් එන්න කිව්වා. ඉතිං දිවුලපිටියේ අකරගමේ තිබ්බ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නත් මම බැඳිලා ඉන්නවා ඒ මගේ ප්‍රදේශය හින්දා. පා.ම ඉන්දික අනුරුද්ධ, වසන්ත දංගල්ල, ඉන්දික අනුරුද්ධගේ සහෝදරයා සහ තාත්තා යන හතර දෙනෙක් එකතු වෙලා තමයි අකරගම පස් ජාවාරම කරන්නේ. මේක මහා විශාල පස් හොරකමක්. කියුබ් 61000ක් පස් කපලා තියෙනවා. ඒවා මුතුරාජවලට දානවා. ඒ ගැන බලන්න සති කිහිපයකට කලින් මුතුරාජවල ගියාම පස් හොරු ටික මට බාධා කළා. ලක්ෂ 62ක ජනතාවක් අපිට ඡන්දෙ දුන්නේ ඒ දේවල්වලට මැදිහත්වෙලා ඒවා වළක්වන්නයි.
ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා නිළ වශයෙන් විසඳගන්න ක්‍රම තියෙනවා. ඔබ හිතන්නෙ කාටහරි දෝෂාරෝපණය කරලා බැණවැදිලා ප්‍රශ්න සමථයට පත් කරන්න පුලුවන් කියලද?
එහෙම කළේ නැත්තම් අද සමාජ කතිවකාවක් ගොඩනැගෙන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නෙන් ආණ්ඩුවටවත් බේරන්නෙ බෑ. හංගලා තිබ්බ ජනතා ප්‍රශ්න මම නිරාවරණය කරලා සමාජගත කළා. පාරේ රස්තියාදු ගගා ඉඳලා පස්කපලා කෝටිපති පත්වෙච්ච පස්හොරු ටික ආගමික නායකයන්, දේශපාලඥයන්, අනෙකුත් ප්‍රභූවරුන්ට වරදාන වරප්‍රසාද දීලා නිහඬ කරලා තියෙනවා. ජාවාරමෙන් හම්බ කරගත්ත සල්ලි පොලියට දෙනවා.
ඔබ චෝදනා කළා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පස් කපනවා කියලා. ඔහු කියනවා ඔබට එරෙහිව නඩු දානවා කියලා. එතකොට මෙතන කවුද ඇත්ත කියන්නේ කියලා ජනතාවට ප්‍රශ්නයක්.
කවුද ඇත්ත කියන්නෙ කියන එක තීරණය වෙන්නෙ පැටිකිරියත් එක්ක. හැම කෙනෙක්ටම චරිත සහතිකයක් තියෙනවා. ගොබෙල්ස් කිව්වම කවුරුත් දන්නවා බොරු කියන්නෙක් කියලා. ඒබ්‍රහම් ලින්කන්ට තියෙනවා තවත් වෙනමම චරිත සහතිකයක්. එතකොට ඉන්දික කියන්නේ, දූෂිත, පොලියට මුදල් දෙන, පොලිසියේ පැමිණිලි තියෙන හොරකම් කරලා අහුඋණ චරිතයක්, මම මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන යන හැම දිස්ත්‍රික්කෙම ජනතාව අංක කරන ඥාති සංග්‍රහ නැති චරිතයක්. මේ චරිත දෙකෙන් පොදු ජනතාව තීරණය කරයි කවුද ඇත්ත කියන්නෙ කියලා. කැමැති කෙනෙක්ව ජනතාවට විශ්වාස කරන්න පුලුවන්. ඒ වුණත් මට මේ හැම දෙයක්ම ඕනෑම තැනක ලියකිවිලි, වාර්තා එක්ක ඔප්පු කරන්න පුලුවන්.
ඒ වුණාට ඉන්දික මන්ත්‍රීවරයා කියනවා ඔබේ හිතවත්තුත් මේ පැත්තේ පස් කපනවා කියලා. තාම ඒකට උත්තර දුන්නේ නෑ නේද?
මම පැහැදිලිව කියලා තියෙනවා පස් හොරු අතර එක්සත් ජාතික පක්ෂයේ වසන්ත දංගල්ලත් ඉන්නවා කියලා. වසන්ත දංගල්ල මගේ හිතවතෙක්. ඔහුත් එතැන පස්කපනවා. දැන් ඔහු මං එක්ක තරහයි. මම පක්ෂය එක්ක නෙවෙයි ඉන්නේ මහජනයා එක්. ඒ හින්දා මම කවදාවත් පාක්ෂිකයාව රකින්නේ නෑ වැරදි කරද්දි.
ඔබ රාජ්‍ය නිළධාරීන් එක්ක මේ විදිහට ප්‍රශ්න දාගන්නේ මාධ්‍ය සංදර්ශන තියලා ප්‍රසිද්ධිය ලබාගෙන ඡන්දේ වැඩි කරගන්න කියලයි විපක්ෂයේ අය චෝදනා කරන්නේ.
මම කරන වැඩ කරන්න සුදුසුකම් නැති හන්දයි කතා හදනේනේ. ඒ අයට වැලි ගොඩ දාන තැන්වලට යන්න බෑ ඒ අයත් සල්ලි අරගෙන තියෙනවා. ඒ අයත් වැලි ගොඩ දානවා පස් කපනවා. තාත්තයි පුතයි බූරවා අරං ගමනක් ගිය කතාව වගේ තමයි මේ චොදනා. ආසනේට ගිය නැතුවම කියනවා ආසනේ පැත්තට එන්නෙ නෑ කියනවා. පස් කපනවා... බොරලු කපනවා... වතුර නෑ... කෝ ඇමතියා කියලා ප්‍රශ්න කරනවා. උද්ඝෝෂණයට සම්බන්ධ වුණාම අන්න මූණ පෙන්නන්න ආවා කියලා. මූණ පෙන්නුවාම කියනවා ආපු එකා කීයක්වත් දුන් නෑ කියලා. මේක තමයි ලංකාවේ සම්ප්‍රදාය. එක එක කතා කියනවා. ඒත් අවසාන ප්‍රතිපලේදි මම දිනනවා.
මේ ප්‍රශ්නෙදි පාදේශීය ලේකම් පැහැදිලිව කීවා ප්‍රශ්නයක් තියෙනවා නම් ලිකිතව දන්වන්න කියලා. එහෙම තියෙද්දි ඔබ හෙන ගහන්පං කියලත් බැන්නා. පාදේශීය ලේකම් එක්ක පරණ කෝන්දතරයක්වත් තිබ්බද?
ප්‍රෙද්ශීය ලේකම් කාන්තාවක්. මම තරම් කාන්තාවන්ට ගරුකරන වෙන කවුරුත් පාර්ලිමේන්තුවේ නෑ. කාන්තාවන් වෙනුවෙන් මම සටන් කරපු බවත් ජනතාව දන්නවා. නමුත් මහජන දේපලා හොරකම් කරන අයට මගෙන් සමාවක් නෑ. ඒ අයට ගෞරවයකුත් නෑ.
ප්‍රාදේශීය ලේකම් කියනවා පස්කැපීමේ කටයුතු එයාගේ විෂයට අදලා නැහැ කියලා. අදාල වෙන්නේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයට කියලා. එහෙම නම් ඇයි ඔබ ප්‍රාදේශීය ලේකම්තුමිය සමඟ පැටලෙන්න ගියේ?
පතල් හා භූවිද්‍ය කාර්යංශයේ සභාපතිවරයා මහතා පැහැදිලිව කීවා සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ටම පස් කියුබ් 100 වෙනකම් අවසර දීලා තියෙනවා කියලා. චක්‍රලේකයෙන්ම තියෙද්දි ඇයට කියන්න බෑ මේ විෂය මට අයිති නෑ කියලා. ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිළධාරි යන දෙදෙනා තමයි පතල් හා භූවිද්‍ය කාර්යංශයට නිර්දේශ කරන්නත් ඕනේ. එතැන සිද්ධ වෙච්ච ජාවාරම ගැන අවස්ථා ගණනාවක්ම පැමිණිලි කරලත් මේ විෂය මට නෙවෙයි අයිත කිය කිය බෝලේ පාස් කරමින් කියුබ් 500 සිට 61000 වෙනකම්ම නෑසූකන්ව හිටියේ කූට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්න නිසා. ඒවගේම තමයි එක් රාජ්‍ය සේවකයෙක් එකතැන ඉන්න පුලුවන් අවුරුදු 4යි. ඒත් ඇය එතැන අවුරුදු හතක් ඉන්නවා. ඇගේ දේපල ගැනත් අප දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරලා තියෙනවා ඒවා ගැනත් හොයලා බලන්න.
චෝදනවාක් තියෙනවා දිවුලපිටියෙන් කපන පස් මුතුරාජවලට ගෙනෙල්ලා ගොඩ කරන්නේ ඇමැතිවරයෙක්ගේ වුවමණාවකට කියලා.
ඔව් එහෙම චෝදනාවක් තියෙනවා. ඔවුන්ගේ මේ මාෆියා ජාලයේ එ.ජා.ප ඇමැතිවරු, කැබිනට් ඇමැතිවරු, දිස්ත්‍රික්ක නායකයෝ, ආගමික නායකයෝ යන අයත් සම්බන්ධයි. ඒ ගැනත් දැන් විමර්ශන පටන්ගෙන තියෙනවා. පස් මාෆියාව ඉතාම බයානක මාෆියාවක්. පුද්ගලයන් 48ක් මරලා තියෙනවා. දැනට පස්, වැලි, කලුගල් මාෆියා, ඉඩම් ගොඩකිරීම්, ගස්කැපීම් පාතාලයක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. මේකේ ගොඩ් ෆාදර් ප්‍රසන්න රණතුංග සහ ඉන්දික අනුරුද්ධ. ඒකයි මේ සිද්ධිය වෙච්ච ගමන්ම ප්‍රසන්න රණතුංග මාධ්‍ය ඇවිත් මට විරුද්ධව කතා කළා.
පහුගියදා පරිපාලන නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන කතා කළා. එතැනදි ජනාධිපතිතුමා සිය කණගාටුව පිකාශ කළා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ වැරදී කියන එක නේද?
එතුමාම තමයි පස්කැපීම්, ඉඩම් ගොඩකිරීම් වගේ පරිසර විනාශයන් තහනම් කළේ. මුතුරාජවෙලට පස් පුරවන්න එපා කියලා උසාවි නියෝගය ගත්තෙත් එතුමාම තමයි. එතුමා කණාගාටු වෙන්න ඕනේ නෑ. කණගාටු වෙන්නෝනි කූට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගත්ත නිළධාරීන්.
රාජ්‍ය පරිපාලන ඇමැතිතුමා ඇතුලු ඇමැතිවරු ගණනාවක් කීවා ඇමැතිතුමා මෙහෙම කතා නොකළා නම් හොඳයි කියලා. ඒත් ඔබ කියනවා කාගෙන්වත් සමාව ගන්න සූදානම් නැහැ කියාලා.
මම වෙනුවෙන් කිසි කෙනෙක් කණගාටුවට පත්වෙන්න ඕනෙ නැහැ. මම ජනතාව එක්ක ඉන්නේ. මම ජනතාව වෙනුවෙන් තමයි කතා කරන්නේ. මම සාධාරණව දේශපාලනය කරන කෙනෙක්. ඒ හින්දා මං වෙනුවෙන් කවුරුත් ප්‍රකාශ කරන්න ඕනෙ නෑ.
ඔබතුමා මොනවා කීවත් මේ කලබගෑනියෙන් ඔබතුමාට හානියක් වුණා නේද?
මේ හෙළිදරව් කිරීම මට හානියක් නෙවෙයි. මේ ටිකේ තමයි මට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ පිරිසකගේ ආදරය හිමි වුණා. හැම කෙනෙක්ම කියන්නේ දූෂිත රාජ්‍ය සේවකයන්ගෙන්ට විරුද්ධව කතා කරන්න. නමුත් දනගාලා වදින්න පුලුවන්රාජ්‍ය සේවකයෝ ඉන් බවත් කියන්න කැමති.




ඇමතිවරයා පාවිච්චි කරපු වචන වැරදි වෙන්න පුලුවන්. ඒත පෙන්නා දුන්න කාරණය හැබෑවක් නේද?
කාරණය සම්බන්ධව අපි කිසි දෙයක් කියන්නේ නැහැ. ඒ ගැන හොයලා බලන්න ඇමැතිතුමාට තියෙන අයිතිය, මිනිස්සු සමඟ එම ස්ථානයට ගිය එක ගැනවත් අපි කිසිම දෙයක් කියන්නේ නෑ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය කිසිම සාක්ෂියක් නැතිව නිළධාරීනිය හොරෙක් කීම සහ හෙන ගහපං කියලා භාවිත කළ වචනය. සිද්ධියේ වරදක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම්ට වුණත් දඬුවම් කිරීම සම්බන්ධව අපේ විරෝධයක් නෑ.
මොනව වුණත් මේ විදිහට උද්ඝෝෂණ කරන්න පහුගිය ආණ්ඩුවේ ඉඩ තිබ්බේ නෑ. මේ ආණ්ඩුවේ තියෙන මේ නිදහස හරියට පාවිච්චි කරනවද?
ආණ්ඩුවට එරෙහිවෙන්න අපිට කිසිම වුවමණාවක් නෑ. ජනාධිපතිතුමා අපට සවන් දෙනවා. අගමැතිතුමා, ස්වදේශ කටයුතු ඇමැති ඇතුලු පිරිස අපි එක්ක සුහදව සාකච්ඡා කළා. සියලු දෙනා මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළා. ඒ හින්දා ආණ්ඩුව එක්ක අපිට කිසිම අර්බුධයක් නෑ. එකම ප්‍රශ්නය ඒ නිළධාරිනිය තනිකරලා කරපු ප්‍රහාරය. ප්‍රසිද්ධියේ රටටම ඇහෙන්න පල්හොරා කියද්දි ඒ නිළධාරිනියගේ ගෞරවයට හානියක්. ඒ නිළධාරිනිය හොරකම් කරන කෙනෙක් නෙවෙයි කියලා මම පෞද්ගලිකව දන්නවා.
ජනතාවට පේන්නේ ඇමතිතුමාත් පරිපාලන නිළධාරීන්ගේ සංගමයත් කැත්තට පොල්ල වගේ ඉඳලා ප්‍රශ්න විසඳගන්න ලේසි නෑ කියලා. අන්තිමට මේක නිකම්ම මාධ්‍ය සංදර්ශනයකින් ඉවර වෙන්නත් පුලුවන්.
ඒ නිසාම තමයි මේ සම්බන්ධව අපි නිහඬ වෙන්න තීරණය කළේ. ඇමතිතුමා විවිධ ප්‍රකාශ කළත් අපි ඒ හැම එකකටම උත්තර දෙන්න යන්නෙ නැහැ.


No comments:

Post a Comment