Thursday, October 13, 2016

පරිස්සමෙන් ළමයි මැරෙනවා වැඩියි.





ඔක්තෝම්බර් පළමු දින එනම් ලෝක ළමා දිනය අපි සතුටින් සමරා අවසන් කළෙමු. එහෙත් එය ළමා දිනය වුවුද එදිනත් අප රටේ අවසනාවන්ත ලෙස ළමුන් 3ක් පමණ ජීවිතයෙන් සදහටම සමුගත්හ. එදින සිට අද දක්වා සතියක කාලයක් තුළ තවත් දරුවන් 50ක් පමණ දිවියෙන් සමුගත්තේ අකලට මුහුණ දුන් විවිධ අනතුරුවලිනි. සෑම පැය හතකට වරක්ම එක් දරුවෙක් විවිධ අනතුරු හේතුවෙන් මියයන අතර වසරකට මියයන දරුවන් සංඛ්‍යව 2580කි. මෙවැනි තත්වයක් පවතිද්දි ළමයාට ආරක්ෂිත පරිසරක් හා අවකාශයක් නිර්මාණය නොකර ළමා දිනය සැමරීමේ ඵලක් තිබේද?

අතීතයේදී ළමා මරණය ඉහළ අගයක පැවැතිනි. නමුත් අද වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ළමා මරණය අවම මට්ටමකට ගෙන ඒමට හැකිවී ඇත. නමුත් විවිධ අනතුරු හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් සහ ඉහළ අගයක් පෙන්නුම් කරයි. සෑම තප්පර දෙකකට වරක්ම විවිධ අනතුරු හේතුවෙන් එක් දරුවෙක් රෝහල් ගත කරනු ලැබේ. එය එක් පැයකදී දරුවන් 31ක් ද දිනකදී දරුවන් 750ක් හා වසරක් තුළදී දරුවන් 269,000ක් තරම් ඉහළ සංඛ්‍යාවකි. එම සංඛ්‍යාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දරුවන්ගේ සංඛ්‍යාව පමණි. එසේනම් බාහිර රෝගී අංශයෙන් හෝ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාව ඇතුළුව මුලු සංඛ්‍යාව කොපමණ දැයි සිතිය හැකිය.

ලෝක ළමා දිනයේදී අමිතිරිගල අවිස්සාවේල්ල මාර්ගයේ සිදුවූ අනතුරකින් තල්දූව බෞද්ධ විද්‍යාලයේ 11වසර සිසුවෙකු එම ස්තානයේම මිය ගියේය. තවත් පාසල් සිසුන් තිදෙනෙකු අනතුරට ලක්වූහ. ඉන් එක් සිසුවෙකු අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. එය එදින සිදුවූ එක් අවාසනාවන්ත සිදුවීමකි. ළමා අනතුරු අතරින් අධිකව වාර්තාවන්නේ රථවාහන අනතුරුය. පහුගිය වසර තුළ පමණක් රථවාහන අනතුරු නිසා සිදු ළමා මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි. පොලිස් වාර්තා අනුව 2015 වසරේ දී පමණක් ළමයින් රිය අනතුරුවලට මුහුණ දුන් අවස්ථා 4012කි. එම අනතුරු හේතුවෙන් ළමුන් 1087ක් දරුණු තුවාල වලට ලක්වූහ. තවත් ළමුන් 2773ක් සුලු තුවාල ලබා ඇත. මෙම අනතුරුවලින් 47%ක්ම මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 10 සිට 14 අතර එනම් පහ වසර සිට නවය වසර දක්වා පාසල් ළමුන් ය. එම අනතුරු අතුරින් 35%ක් පමණ වයස අවුරුදු 4 සිට 9 දක්වා දරුවන්ද  වයස අවරුදු 1 සිට 3 දක්වා දරුවන් 18% මිය ගොස් ඇත. මෙම රිය අනතුර සඳහා ප්‍රධාන හේතුන් ලෙස හිටපු රථවාහන පොලිස් පරීක්ෂක අමරසිරි සේනරත්න මහතා සඳහන් කරන්නේ දෙමාපියන්ගේ නොසැලකිල්ල බවයි.

ළමුන් පිළිබඳව දෙමාපියන් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. දෙමාපියෝ යතුරු පැදිවල ගමන් කරද්දි දෙමාපියෝ පමණක් හිස් ආවරණයක් පළඳිනවා. දරුවන් හෙල්මට්වලින් තොරව ප්‍රවාහනය කරවනවා. පොලිසියෙන් ඒ ගැන විමසුවොත් අපි ගෙනියන්නේ අපේ ළමයව නේ කියලයි දෙමාපියෝ උත්තර දෙන්නේ. ළමයා ලොකු උණාමත් අනුගමනය කරන්නේ ඒ දෙමාපියෝ කළ දේම තමයි. ඒවගේම තමයි යතුරුපැදියේ දරුවාව ටැංකියේ තියාගෙන යනවා. අනතුරක් සිදුවුණොත් මුලින්ම අනතුරට ලක්වෙන්නේ ළමයා. ත්‍රීවීලරයේත් කුඩා ළමුන්ව නිදහසේ සීට් එකේ ඉන්දවනවා. ළමයාට තනිවම අල්ලගන්න හැකියාවක් නැහැ. ආසන පටියකුත් නැති නිසා වංගුවලදී ළමයා විසිවෙනවා ත්‍රීවිලරයෙන් පිටතට. පහුගිය වසරේ අවුරුදු පහකට අඩු ළමුන් 27ක් ත්‍රීවිලරයේ සිදුවුණ අනතුරුවලින් මිය ගිහින් තියෙනවා. ඒ වගේම තමයි ළමුන් අනෙකුත් වාහනවල ගමන් කිරීමේදී සීට් බෙල්ට් භාවිත නොකිරීමෙන් අනතුරු බහුලව සිදුවෙනවා. වැඩිපුරම ළමුන් මැරෙන්නෙ මේ විදිහට මඟීන් හැටියටයි. එහෙම සිද්ධ වෙන්නේ ළමයා පිළිබඳ ආරක්ෂාව දක්වපු නැති හන්දා. අනෙක් පැත්තෙන් පාරේ යද්දිත් දෙමාපියෝ ළමුන්ව පාරට වෙන්න අතින් අල්ලගෙන ඇවිදිනවා. අනතුරක් සිදුවුණොත් බොහෝවිට ළමයා අනතුරට ලක්වීමේ අවධානම වැඩියි. පාසැල් සේවා වාහනවලදී සිදුවන අනතුරු බොහෝවිට රියදුරාගේ නොසැලකිල්ල නිසා සිදුවෙනවා. ඒ හින්දා විශේෂයෙන් රිය අනතුරුව අවම කරන්න දෙමාපියන්ගේ සහ රියදුරන්ගේ සැලකිලිමත්භව අත්‍යවශ්‍යයි.

ලෝක ළමා දිනට පෙර දින එනම් සැප්තැම්බර් 30වන සවස කොච්චිකඩේ උඩංගාව ප්‍රදේශයේදී තවත් පාසැල් සිසුවන් දෙදෙනෙකු දියේ ගිලී මියගියහ. තවත් සිසුවෙකු අසාධ්‍ය තත්වයේ රෝහල්ගත කෙරුණේය. ළමා අනතුරුවලට ප්‍රධාන හේතූන් අතර දියේ ගිලීම්, වැටීම්, පිළිස්සුම්, වසවිෂ ශරීරගතවීම්, ආදියද හඳුනාගෙන ඇත. වසරකට සිදුවන ළමා රෝහල්ගතවීම්වලින් 22%ක්ම අනතුරුවලට ලක්වීම් වලට අදාලවේ. එනම් සෑම ළමා රෝහල් ගතවීම් 5කින්ම එකක් අනතුරු නිසා සිදු වේ. බල්ලන් සපාකෑම් (24100), වසවිෂ ශරීර ගතවීම් (16800), පිළිස්සුම් (6400) සහ සර්ප දෂ්ඨ කිරීම් (5500) ක් ලෙස දරුවන් රෝහල් ගත කෙරේ. වසරක ළමුන් 20800කගේ අතපය කැඩුම් බිඳුම් සිදුවේ. 600කට ඇස්වලට අනතුරු සිදුවේ. 3500ක් අතපය අහිමි වීමේ අවධානමට ලක්වේ. 4700ක් පමණ දීර්ඝ කාලීන ආබාධිත තත්වයන්ට පත්වේ. මෙලෙස ළමා අනතුරු අතිබයානක තත්වයකට අදවනවිට පත්ව ඇත. ළමා අනතුරු වැළැක්වීමට රෝහලෙන් ඔබ්බට විහිදුනු වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මානව ක්ෂමතාවය පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති ප්‍රජා වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

අනතුරු වැළැක්වීමට E3 ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. Education දැනුවත්වීම. Engineering තාක්ෂණය, Enforcement ක්‍රියාත්මක කිරීම. මුලින්ම දෙමාපියෝ හිතන්නේ අනතුරු කලාතුරකින් සුදුවෙන දෙයක් කියලයි. නමුත් මගේ දරුවාටත් ඕනෑම වෙලාවට අනතුරක් වෙන්න පුලුවන්. හැම අනතුරක්ම අපිට වළක්වගන්න පුලුවන්. ඒවා දෛවය හෝ අහම්බයක් නෙවෙයි. යන දැනුවත්වීම දරුවා, දෙමාපියෝ, ගුරුවරු හැම පාර්ශවය ලබාගත යුතුයි. දරුවා ඉන්න ගෙදර පරිසරය, මහාමාර්ගය හා පාසල සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය යුතුයි. විශේෂයෙන්ම දරුවෙක්ට වේගය තීරණ ගැනීමේ හැකියාව ලැබෙන්නේ අවුරුදු 12න් පස්සේ. ඒ හින්දා හැමනිතරම දරුවන් ගමන් කිරීමේදී වැඩිහිටියන් එක්කගෙන යාමට වගබලාගත යුතුයි. ඒවගේම අවුරුදු දෙකක් යනතුරු දරුවන් යතුරු පැදියේ තියාගෙන යන්න බැහැ. එහෙම ගෙනියනවා නම් හෙල්මට් පාවිච්චි කළ යුතුයි. නමුත් යතුරු පැදිය ළමුන් ප්‍රවාහනයට උචිත ප්‍රවාහන මාධ්‍යක් නෙවෙයි.

ඉහළ පැලැන්තියේ වාහනවලත් ළමුන් ඉදිරි ආසනයේ ගෙනියන්න බැහැ. ළමුන්ට වෙනමම ආරක්ෂිත ආසනයක් භාවිත කළ යුතුවෙනවා. වාහනය ලක්ෂ 30 40 දීලා ගනිද්දි රුපියල් 2500ක ළමයින්ට උචිත කාර් සීට් එකක් දෙමාපියෝ ගන්නේ නැහැ. මේක එක්තරා විදිහක අඥානකමක්. මෙවැනි අනතුරු සිදුවන ආකාරය සහ ඒවා වළක්වගන්න ආකාරය ගැන දැනුවත් වෙන්න ඕනේ සෑම පාර්ශවයක්ම. ඊගාවට අනතුරක් සිදුවුවහොත් මූලික ප්‍රතිකාර මොනවද කියන දේත් දැන සිටිය යුතුයි. සර්පයෙක් බල්ලෙක් කෑවොත් මොකද කරන්නේ. මේවගේ අනතුරු වෙච්ච වෙලාවේ සිටම කරන දේ පිළිබඳ දැනුමක් දෙමාපියන්ට වගේම හැම කෙනෙක්ම දැනගන්න ඕනෙ. රිය අනතුරුවලින් ළමයි 2300ක් මැරෙනවා. නමුත් ඒ අතරින් රෝහලේදී මැරෙන්නේ ළමයි 130ක් විතරයි. අනෙක් අය රෝහල ගේනන කලින්ම මරණයට පත්වෙනවා. ඒකට එක් හේතුවක් තමයි හදිසි අනතුරු ප්‍රවාහන සේවයේ දුර්වලතා සහ ප්‍රථමාධාර සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම. ඉතිං අනතුරු වළක්වගන්න වැදගත්ම දේ මේ දැනුවත්වීම කියන දේ.

දෙවනුව තාක්ෂණය යොදව ගැනීම. එනම් නිමැවුම් කිරීම. පදිකවේදිකා, කහඉරි, මන්තීරු දෙකේ මාර්ග, මාර්ග සංඥා වගේ දේවල් භාවිත කිරීම. ඒවගේම තමයි නිවසක් හදද්දි දරුවාට සුරක්ෂිත නිවසක් හැදීම. ඒවගේම අනෙකුත් දේවල් ළමා හිතවාදි විදිහට සුරක්ෂිතව ගොඩනැගීමට තමයි තාක්ෂණය යෙදවීමෙන් අදහස් වෙන්නනේ. තෙවනුව නීතිය ක්‍රියාත්මක කිරීම. රථවාහන බලපත්‍රය, සීට් බෙල්ට් භාවිතය, හෙල්මට් භාවිතය, වගේ දේවල්වලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා. මේ කාරණා තුන සිදුවෙද්දි යම්කිසියාකාරයක සුරක්ෂතතාවක් ළමයාට ලැබෙනවා. ඊට අමතරව රජයේ පාර්ෂවයෙනුත් ප්‍රාථමික සුපරීක්ෂාකරිත්වය, ද්විතීක සුපරීක්ෂාකාරිත්වය, තෘතීක ප්‍රතිකාර සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයට දායක වෙන්න ඕනේ. එවිට අනතුරු වැළැක්වීමටත් සිදුවූ අනතුරු හේතුවෙන් ඇතිවන අලාභය අවම කරගන්නත් පුලුවන් කමක් ලැබෙනවා.

ළමා සම්පත ලොව උතුම්ම සම්පතයි. එම සම්පත අහිමිවීම කිසිවෙකුට දරාගත නොහැකිය. එබැවින් නොසැලකිල්ල අතහැර එළඹෙන ලෝක ළමා දිනයට පෙර ළමයාට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීමට දැනුවත්භාවය, තාක්ෂණය යෙදවීම හා, නීතිය ක්‍රියාත්මක කිරීම සියලු පාර්ශවයන් විසින්ම ඒකාකාරව සිදුවිය යුතුය.


සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment