Thursday, October 13, 2016

නොවැස්සොත් නෝ කරන්ට්.







මාස තුනක කාලයක සිට පවතින වියලි කාලගුණය හේතුවෙන් දිවයින පුරා උග්‍ර ජල අර්බුධයක් මතුව තිබේ. එවන් තත්වයක් තුළ ජලවිදුලි ජනනය සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් ඉදිරි කාලය තුළ ඇති වෙතැයි ලංකා විදුලි බල මණ්ඩලය උපකල්පනය කරයි. මේ වනවිටත් විදුලි උත්පාදනය සඳහා ජලය සැපයෙන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ ගොස් ඇත. විශේෂයෙන් ම සමනල වැව් ජලමට්ටම 21%ක දක්ව පහළ ගොස් ඇත. කොත්මලේ ජල මට්ටම 62%ක් ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 65%ක් දක්වාද කාසල් රී ජලාශයේ ජල මට්ටම 71% දක්වාද පහළ බැස ඇත. ඒ අතරවාරයේ නොරච්චෝලේ සිට කොළඹ දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන සම්ප්‍රේෂණ මාර්ග විසන්දි වී ඇත. ජනතාවට පානය කිරීමට මෙන්ම වගා කටයුතු සඳහාද ජලය අවශ්‍යවීම හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැකිය. පවතින තත්වය ඉදිරියේදි වෙනස් නොවුණහොත් විකල්ප ක්‍රම අනුගමනය කිරීමට සිදුවේ. විදුලිබල මණ්ඩලය මුහුණපා තිබෙන ජල අර්බුදය සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු අතුල වන්නි ආරච්චි අදහස් දැක්වීය.
දැනට හැම ජලාශයකම 54%ක වතුර ප්‍රමාණයක් තියෙනවා. බයානක තත්වයක් නැහැ. හැබැයි ඉදිරි මාස දෙකේ මෝසමෙන් අපි වැස්ස බලාපොරොත්තු වෙනවා. කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් අපිට කියලා නැහැ වැස්ස නැති වෙයි කියලා. ඒ හින්දා දැනට අනතුරක් නැහැ. නමුත් මහවැලි ජලය ‍සීමා කළොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ගිය අවුරුද්දේ අප්‍රේල් මැයි කාලෙදී අපිට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද වුණා. මහවැලි ජලාශයේ වතුර තිබුණා. ඒ වුණාට වතුර නිකුත් කළේ නැහැ. නියං කාලෙට ඕනෙ වෙයි කියලා වතුර නිකුත් නොකර තියාගත්තා. ඒ අයිතිය මහවැලි අධිකාරියටයි තියෙන්නෙත්. දැනට නම් අපිට විදුලිය නිපදවීමේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙනවා නම් මෝසමේ අඩුවීමක් වුණොත් විතරයි. සාමාන්‍යයෙන් අවුරුදු හතරට වරක් අඩුවීමක් සිද්ද වෙනවා. එහෙම මෙවර මෝසමේ අඩුවීමක් සිද්ද වුණොත් ජනවාරි පෙබරවාරිවලදී ජල විදුලිය නිපදවීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුලුවන්. දැට කියන්නත් කල් වැඩියි. ඉදිරි සති දෙක තුන තුළ වැස්ස පටන් ගනීවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. වැස්ස පටන් ගත්තේ නැත්තම් තමයි ප්‍රශ්නෙ වෙන්නේ.  

විදුලිබල මණ්ඩලය ඉදිරියේදි සිදුවන ජල හඟය හේතුවෙන් මතුවන අභියෝගයට මුහුණ දීම සඳහා 5%ක විදුලි මිල ඉල්ලා තිබේ. විදුලි ජනන වයදම් හා අනෙකුත් වියදම් අනුව මාස හයකට වරක් විදුලිමල සංශෝදනයක් ඉල්ලීමේ හැකියා සම්ප්‍රේශන බලපත්‍රලාභියා වශයෙන් ලංවිමට හැකියාව තිබේ. ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ ලංකා ලංවිම නියාමනය කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙනි. එනම් ලංවිම ආදායම් වියදම නියාමනය කරන්නේ මේ කොමිසමය. එම කොමිසම සමඟ මාස හයකට වරක් ඉදිරි මාස හයකට උපකල්පනය කරන ආදායම් හා වියදම් අනුව මණුඩයලය මුහුණ දෙන මූල්‍යමය තත්වයන් හා ඒ පිළිබඳව ගතයුතු පියවර මොනවා දැයි යන්න ගැන අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය ක්‍රියාවලියයි. 2016 ඔක්තෝබර් 01දා සිට 2017 මාර්තු 31දා දක්වා මාස හයක කාලය තුළ ඇති වෙතැයි උපකල්පනය කරන නියං කාලගුණය ආදී විශේෂ තත්වයන් මත විදුලි නිෂ්පාදන වියදම ඉහළ යනු ඇතැයි ලංවිම මහජන උපයෝගිතා කොමිසමට වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිත කොමිෂන් සභාවේ ආර්ථික අංශ සභාපති කාංචන සිරිවර්ධන මහතාගෙන් අප විමසීමක් කළෙමු.

 “ඒ ගැන අප දැනට අධ්‍යනය කරගෙන යනවා. 5%ක වැඩිවීමක් ඉල්ලන්න ප්‍රධාන වශයෙන් හේතුවෙන්නේ ජනන වියදමේ වැඩිවීම. දැනට ජලබලාගාරවලට ලැබෙන ජලය අඩුවීමක් තියෙනවා. එහෙම වෙද්දි තාප බලාගාරවලින් වැඩිපුර විදුලිය නිපදවන්න සිදු වෙනවා. දැන් ඉන්ධන මිලත් වැඩිවෙලයි තියෙන්නෙ. ගල් අඟුරු මිලත් වැඩිවෙලා තියෙනවා. මේ හේතූන් මතයි විදුලි මිල වැඩිවීමක් ඉල්ලලා තියෙන්නේ. දැනට ජලමට්ටම 53%ට අඩුවෙලා කියලා අපිට ලංවිම වාර්තා කරලා තියෙනවා. ඒ අනාවැකි අනුව තමයි ඉදිරි මාස හයක කාලයේ ජලවිදුලිය 36%ක් නිෂ්පාදනය කරන්න පුලුවන් කියලා අපි තීරණය කළේ. මේ ගැන ප්‍රතිපත්තීමය තීරණ ගන්න අපි විදුලිබල අමාත්‍යංශයටත් යොමු කරලා තියෙනවා. මිල වැඩි කරනවා ද සහනාධාරවලින් පියවනවද නැත්තම් වියදම අඩු කරනවද කියා විදුලිබල අමාත්‍යංශය තීරණයට ඒවි. ඒකත් සලකා බලා මහජන අදහසුත් විමසලා තමයි විදුලිබිල වැඩිකරනවා නම් වැඩි කරන්නේ.

ලවිබම මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් විදුලිබිල වැඩි කිරීමට හේතුව සහ ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයක් පිළිබඳව විමසුවෙමි.  “පුරෝකතනය කළ ආදායම් වියදම් අතර යම් පරතරයක් තියෙනවා. 5%ක විතර ආදායමට වඩා වියදම යෝජනා වෙලා තියෙනවා. එතැන්දි උපකල්පනයන් කිහිපයක් පාදක තමයි මෙහෙම දෙයක් සිද්ද වෙන්නේ. ජනනය කිරීමට දැරීමට සිදුවන වියදම වැඩියි. වර්ෂාව නොලැබුණොත් තාප බලාගාරවලින් විදුලිය නිපදවන්න සිදුවෙනවා. එතකොටය වියදමේ වැඩිවීමක් සිදුවෙන්නේ. සමහරවට ගල් අඟුරු මිල වැඩිවෙන්න නැත්තම් පහළ යන්නත් පුලුවන්. උපකල්පනයන් හරියන්නත් පුලුවන් නැත්තම් වරදින්නත් පුලුවන්. අපි සාමාන්‍ය ක්‍රමවේදය අනුව මහජන කොමිසමට මෙවරත් යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම එය අමාත්‍යංශයට යොමු කරලා තියෙනවා. මිල වැඩි කරනවා නැත්තම් වෙනත් ප්‍රතිපත්තීමය තීරණයට එළඹෙනවාද කියලා බලන්න. අමාත්‍යංශයේ තීරණය වුණේ මිල වැඩි කිරීමක් මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ දැන් තියෙන වියදම් කලමනාකරණය කරලා  වියදම පහළට ගෙනාවොත් මිලවැඩිකිරීමකින් තොරව පරතරය පාලනය කරගන්න පුලුවන්.

දැනට පුරෝකතන අනුව වර්ෂාව සක්‍රීය වේ යැයි ලංවිම හා මහජන උපයෝගිතා කොමිසමද බලාපොරොත්තු වේ. අන්තර්මෝසම් වර්ෂාව මෙන්ම ඊසාන දිග මෝසම් වර්ෂාවත් ලැබීමේ වැඩි ඉඩකඩක් තිබේ. නමුත් ඒ සියල්ල පුරෝකතනයන් වේ. එලෙස වර්ෂාව ලැබුණොත් අඩු වියදමකින් විදුලිය නිපදවීමේ හැකියාව ලැබෙනු ඇත. බලාපොරොත්තු වූ පරිදි නොවැස්සොත් ඉන්ධන ගල්අඟුරු මඟින් විශාල වියදමක් දරා විදුලිය ජනනය කරන්න  සිදුවේවි. එසේ වුවද විදුලිබිල ඉහළ නොනැංවීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබේ. ලංවිම සිදුවන ආදායම් වියදම් පරතරය පියවාගත යුත්තේ වියදම් කළමනාකරණය මඟිනි.


සකීෆ්                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

No comments:

Post a Comment