Wednesday, October 12, 2016

පුපුරන කදුරට බල දේශපාලනය






කඳුකර වතුකම්කරු හා වෘතීය සමිති දේශපාලන බල තුලනයේ නවතම සටන ආරම්භ වූයේ පාරිලිමේන්තු මන්ත්‍රී තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු දැවැන්ත උද්ඝොෂණ මාලාව කදුකරයම අක්‍රිය කිරීමත් සමඟිනි. වතු දේශපාලනයේදී රාධා ක්‍රිෂ්ණා, පලනි දිගම්බරන හා තොණ්ඩමන් යන තිදෙනා අතර නිරතුරු ඝට්ටන සිදුවේ. නමුත් විශේෂත්වය වන්නේ තිදෙනාම ආණ්ඩුවට සහයෝගය දක්වන පක්ෂ පිරිස් වීමය. මෙවර සටන නැවත ඇවිලී ඇත්තේ දිගම්බරන සහ තොණ්ඩමන් දෙපල අතරයි. දැනට වතුකරයේ නිල බලය ඇත්තේ යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතාටයි. එහෙත් එම බලයට අභියෝගාත්ම අයුරින් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු උද්ඝෝෂණයට දහස් සංඛ්‍යාත ජනයා මහපාරට ඇදුනහ.
වැටුප් අරගලයේ ජය රේඛාව අබියසටම තොණ්ඩමන් මන්ත්‍රීවරයා ගමන් කර ඇත ඇමැති ධූර තුනක් හිමි ටීපීඒ හෙවත් ප්‍රජිතන්ත්‍රවාදි ජනතා පෙරමුණ දිනා දීමට අපොහොසත්වූ සටන ජයගැනීමට ආරුමුගම් තොන්ඩමන් සැරසෙයි. නමුත් දිගම්බරන් මහතා පවසන්නේ තොණ්ඩමන් මන්ත්‍රීවරයා ඇමති ධූරයක් ලබා ගැනීමේ වුවමණාවෙන් කඩකප්පල්කාරි ලෙස හැසිරෙන බවයි. එහෙත් තොණ්ඩමන් මහතා පවසන්නේ ඇමැති ධූරයක් දරමින් රුපියල් 100ක වැටුප් වැඩි කිරීමක් ලබා දී වතුකරයේ දැවෙන ප්‍රශ්නය යට ගැසීමට දිගම්බරන්, රාධා ක්‍රිශ්න හා මනෝගනේෂන් කටයුතු කර ඇති බවයි.
දෙවසරකට වරක් වතුකම්කරු වෘතිය සමිති හා හාම්පුතුන්ගේ සංගමය අතර ඇතිකරගන්නා සාමුහික ගිවිසුම අනුව වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සිදුකරනු ලැබේ. 2013 ගිවිසුමෙන් පසු 2015දී සාමුහික ගිවිසුම අත්සන් කිරීමට නියමිත වුවද හාම්පුතුන්ගේ එය මග හැරීය. එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ තොණඩමන්ගේ නායකත්වයෙන් යුතු CWC LGW යන වෘතීය සමිති හා හාම්පුතුන්ගේ  අතරයි. 2015 මාර්තු සිට අද වන තුරු සාකච්ඡා වට 11ක් පවත්වා ඇතත් එම වෘතීය සමිති ඉල්ලා සිටි රුපියල් 1000ක වැටුප් වැඩි කිරීම ලබා ගැනීමට හැකියාවක් ලැබී නැත. ආරුමගම් තොන්ඩමන් මහතා ජයග්‍රහණයෙන් පසු රු1000ක වැටුප් වැඩිවීමක් ලබා දීමේ පොරොන්දු මත 2015 මහමැතිවරණයේදී එජනිසයෙන් තරඟ වැදීය. එහෙත් එ.ජ.නි.ස තනි ආණ්ඩුවක් පිහිටුවා ගත නොහැකි විය. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී එ.ජා.ප.යෙන් තරඟ වැද ජයගත් දිගම්බරම් මහතාට ඇමති ධූරයක් හිමිවෙද්දි යහපාලනයට සහය දුන් රාධා ක්‍රිෂ්නා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සැහීමට පත්වීමට සිදුවිය. රාජපක්ෂ සහයකයෙක් වූ තොණ්ඩමන් මන්ත්‍රීවරයා වතුකරයේ හුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්විය.
පූර්වයේ රාජපක්ෂ ආණ්ඩුවට සහය දුන් සහ එම ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් දැරූ සී.ඩබ්.සී නායක ආරුමුගම් තොන්ඩමන් දැන් වික්‍රමසිංහ ආණ්ඩුවේ ද ඇමති ධූරයක් ලබා ගැනීමට මං සොයමින් සිටී. ජනවාරි අට මෛත්‍රී ජයග්‍රහණයට දැවැන්ත දායකත්වයක් ලබා දෙමින් කදුකරයට නායකත්වය දුන්නේ කම්කරු ජාතික සමිතියේ නායක පී දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ වී. රාධා ක්‍රිෂ්ණන් දෙපලයි. මාස දෙකකට පමණ පෙර තොණ්ඩමන් මහතාට ඇමති ධූරයක් ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත්වූ අවස්ථාවේ එයට ප්‍රසිද්ධියේම දිගම්බරන් මහතා විරුද්ධත්වය දැක්වූයේ කඳුකරයේ බහුතර බලය හිමි තමන් තවදුරටත් ආණ්ඩුවට සහය නොදක්වන බව පවසමිනි. එයන් යටගිය සී.ඩබ්.සී. නායක තොණ්ඩමන් මහතාගේ ඇමති ධූර අපේක්ෂාව ඉටුකරගැනීමට අලුත්ම උපක්‍රමය වැටුප් අරගලයද? ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ දිගම්බරන් අමාත්‍යවරයා.
වැටුප් ප්‍රශ්නෙ මට දේශපාලනිකව විසඳන්න පුලවන්. ඒත් හාම්පුතුන් සමග සාමුහික ගිවිසුමේ අත්සන් කරන්න ඕනෙ වෘතීය සමිති නායකයෝ. මාස දෙකකට කලින් මම මැදිහත්වෙලා පෞද්ගලික අංශයට ලබා දෙනවා කිව්ව 2500ක පඩි වැඩි කිරීම වෙනුවෙන් වතු ජනයාගේ දෛනික වැටුප රු100කින් වැඩි කරලා දුන්නා. තොන්ඩමන් මහත්තයා මැතිවරණ කාලේ මාව පරද්දන්න රු 1000ක් වැඩි කරලා දෙනවා කියලා බොරු පොරොන්දු දුන්නා. තාම ඒ වැඩි කිරීම එයාට කරන්න බැරි වෙලා. දැන් එයා සාමූහික ගිවිසුම අත්සන් කිරීමත් මගහරිනවා. මේ පාරවත් රු1000ක් දිනා නොදුන්නොත් මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙයි. මේ දැවැන්ත උද්ඝෝෂණය මෙහෙයවන්නේ තොණ්ඩමන් නෙවෙයි. මිනිස්සු කරන උද්ඝෝෂණයක්. මේ උද්ඝෝෂණය වෘතීය සමිති එකමුතුව විසින් කරන්නේ. ඔහු උත්සහ කරන්නේ තමන්ගේ තනි බලයෙන් උද්ඝෝෂණයක් කළා කියල පෙන්නන්න. වතුකරයේ බලය තියෙන්නේ මට. ජනතාව ඉන්නෙ මං එක්ක. මම ජනතාවට සාධාරණයක් ඉටුකරන්න පෙනී හිටිනවා. සාමූහික ගිවිසුමෙන් තොණ්ඩමන් මහත්තයා දාහක් දිනලා දෙනවා නම් මාත් ඒකට සහයෝගය දක්වනවා. මං අභියෝග කරනවා පුලවන්නම් රුපියල් දාහක් අරං දීලා පෙන්නන් කියලා.
දිගම්බරන් අමාත්‍යවරයා තොන්ඩමන් මන්ත්‍රීවරයාට විරුද්ධව නැගූ චෝදනාවන්ට පිළිතුරු දෙමින් මධ්‍යම පළාත් පළාත් සභා මන්ත්‍රී හා සී.ඩබ්.සී උපසභාපති පලනි ශක්තිවේල් මහතා දේශයට අදහස් දැක්වීය.
අපි වැටුප් ප්‍රශනේ විසඳන්න හාම්පුතුන් සමඟ සාකච්ඡා වට 11කට ගියා. පහුගිය බදාදා සාකච්ඡාවෙන් පස්සේ දෛනික පඩිය 630 සිට 720 දක්වා වැඩිකරගන්න පුලුවන් වුණා. 720න් අපි සෑහිමට පත්වෙන්නේ නැහැ. ලබන බදාදා 12වැනි සාකච්ඡාවටත් අපි යනවා. රුපියල් 1000ක් දිනා දීම තමයි අපේ අරමුණ. දිගම්බරන් ඇමැතිවරයා කියනව වගේ අපිට හැම ගිවිසුමකටම අත්සන් කරන්න බැහැ. රුපියල් සීය දෙසීය වැඩිකරන ගිවිසුම්වලට අත්සන් කළොත් ඒක නිකම් විහිලුවක් වෙයි. කලින් සාකච්ඡාවල හාම්පුතුන් එකඟතාවයකට ආවේ නැහැ. ඒකයි මෙච්චර කල් ගිවිසුම අත්සන් නොකළේ. එහෙම නැතුව අපි ඕනෑකමින් අතහැරියේ නැහැ. අපිට අවුරුදු 30ගාණක පළපුරුද්දක් තියෙනවා හාම්පුතුන් සමඟ අත්සන් කරලා. අවුරුදු 70ක් වෘතීය සමිති කරලා සී.ඩබ්.සීයට පළපුරුද්ද තියෙනවා. අපි දන්නවා කොහොමද හාම්පුතුන් සමඟ වැඩකරන්නේ කියලා.
දිගම්බරන් කියන්නේ වෘතීය සමිති නායකයෙක්වත් දේශපාලඥයෙක්වත් නෙවෙයි. අහම්බෙන් යූ.එන්.පී ඡන්දවලින් පත්වෙච්ච ව්‍යාපාරිකයෙක් විතරයි. දැන් එයා කරන්නේ මිනිස්සු කුලප්පු කරන වැඩක්. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නෙ විසඳුවේ අපි. අපි විසඳුවේ නැත්තම් අද දිගම්බරන්ටවත් ඡන්දෙ ඉල්ලන්න වෙන්නනෙත් නැහැ. අපි තමයි පුරවැසි අයිතිය පවා අරං දුන්නේ. වතු කම්කරුවට විමුක්තිය ලබා දුන්නේ සී.ඩබ්.සී. ඒ බව දිගමරන් මහත්තය දන්නවා. ඒත් එයාගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් තමයි මේ වගේ වචන පාවිච්චි කරන්නේ. තොණ්ඩමන් නායකතුමාට තමයි කඳුකරයේ වැඩි බලතල තියෙන්නේ. වැඩවර්ජනය නවත්තලා වැඩට යන්න කියලා තොන්ඩමන් මහත්තයා කිව්වම 95%ක කම්කරුවෝ වර්ජනය අත ඇරලා වැඩට ගියා. පහුගිය කාලේ එක් එක් පක්ෂ වෘතීය සමිති පස්සේ ගිය මිනිස්සු දැන් තේරුම් අරං තියනවා තොණ්ඩමන් මහත්මයා නැති පාඩුව. ඒ හින්දා දැන් ආයෙත් මිනිස්සු සී.ඩබ්.සී එක්ක පෙළ ගැහිලා ඉන්නවා. මේ දේවල් අපි කරන්නේ ඇමැතිකමක් ගන්න නෙවෙයි. තොණ්ඩමන් මහත්තයාට ඕනි නම් ඇමතිකමක් ගන්න විනාඩි 15ක් ඇති. දැනටමත් අමාත්‍යංශයක් භාරදීලා තියෙනවා. ඒත් තොන්ඩමන් මහත්තයා තමයි භාරගන්නෙ නැතුව ප්‍රතික්ෂේප කළේ. තොණ්ඩමන් මහත්තයා අගමැතිවරයා ජනාධිපතිවරයා එක්ක සමීපව වැඩ කරලා තියෙනවා. අපි ජ්‍යෙෂ්ඨ පක්ෂයක්. අපිට රටේ සෑම ජ්‍යෙෂ්ඨ නායකයෙක් එක්කම සම්බන්ධකම් තියෙනවා. අපිට ඇමැතිකමක් ලැබෙනවද නැද්ද කියන එක තීරණය කරන්න දිගම්බරන්ට බෑ.
වතුකම්කරු දේශපාලන හා වෘතීය සමිති බලඅරගලය තුළින් හෝ වතුජනයාගේ අයතීන් හා වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලු විසඳෙයි නම් එය වතු ජනතාව ලබන අතිමහත් ජයග්‍රහණයකි. නමුත් ඔවුන්ගේ බල අරගලය හේතුවෙන් වතුජනයාගේ සැබෑ ප්‍රශ්න අමතක වී දේශපාලනය බලය තහවුරු කරගැනීම සඳහා පමණක්ම වැඩ කරන වෘතීය සමිති හා පක්ෂ ආකෘතියක් නිර්මාණය වේ නම් තවදුරටත් වතුජනයාගේ ජීවිත අවසනාවන්ත තත්වයකම ඉතුරුවනු ඇත.


සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment