Thursday, October 13, 2016

ලයිට් බිල් නගී!!!!



ඉදිරි කාලය තුළ විදුලි බිල ඉහළ යනු ඇතැයි ආරංචි පහළ වෙමින් තිබේ. මේ වසරේ මුල්කාර්තුවේ ලංකා විදුල බල මණ්ඩලය ලැබූ පාඩුව පියවීම සඳහා විදුලිබිල වැඩි කිරීමට ල.වි.බ.ම. සූදානම් වන බව වෘතීය සංගම් චොදනා කරයි. එනම් විදුලබල මණ්ඩලය පාඩු ලැබීම නැතිනම් බංකලෝත් වීම වළක්වාගැනීමට විදුලිබිල ඉහළ දැමිය යුතුය. නමුත් එය කවරාකාරයේ විදුලිබිල ඉහළ දැමීමක් දැයි තවමත් පැහැදිළි නැත. නමුත් සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයකින් විදුලිබිල ඉහළ යනු ඇතැයි සිතිය හැකිය. එසේත් නැතිනම් මෙම විදුලිබිල වැඩිවීම සියලු මට්ටම්වල විදුලි පාරිභෝගිකයන් හට බලපාන එකක් නොවිය හැකිය. එසේ වන්නේ නම් අඩු ඒකක ගණනක් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාව මේ විදුලිබිල වැඩිවීමේමේදී ඉල්කකය බවට පත්වෙයි. එම පාරිභෝගිකයන් අතර ප්‍රධාන වශයෙන් මූලික අවශතා වෙනුවෙන් සීමිත විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරන්නන්ය. එම පිරිස මෙරට විදුලි පරිභෝජනය කරන්නන් අතුරින් 90%කට ආසන්නය.

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා විදුලිබල මණ්ඩලය මිලියන 5000ක් පමණ පාඩුවක් ලබා ඇත. එලෙස මණ්ඩලය පාඩු ලැබූවේ මණ්ඩලය තුළ සිදුවූ දූෂණ හා වංචා නිසා බව ලංකා විදුලි සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් මහතා පවසයි. නමුත් එසේ ලැබූ පාඩුව ජනතාව මත මුදාහැරීමට විදුලිබලමණ්ඩලය සැරසෙන බවද ඒ මහතා චෝදනා කරයි. 2015වසරේ මුල්කාර්තුවේ විදුලිබල මණ්ඩලය මිලියන 1800ක ලාභයක් ලැබුණද එහි ප්‍රතිලාභ ජනතාවට ලබා නොදුන් විදුලිබල මණ්ඩලය පාඩු ලබන අවස්ථාවේ ජනතාවට පැටවීමට උත්සහ කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
විදුලි ගාස්තු ඉහළ නැංවීම අප රටේ සෑම ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරන ලද සම්ප්‍රදායකි. 2002 වසරේ වාර්තාගත ලෙස සිදුවූ විදුලි ගාස්තු ඉහළ නැංවීම, ගාස්තු ඉහළ නැංවීමක් නොව ගැලපීමක් පමණක් බව එවකට විෂයභාර ඇමතිවරයාව සිටි කරු ජයසූරිය මහතා පවසා සිටියේය. එදා පවා විදුලි ගාස්තුව ඉහළ නැංවීමට හේතුව ලෙස දක්වා තිබුණ් විදුලිබල මණ්ඩලයේ අධීක වියදමයි. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ කාලය තුළදීද අවස්ථා කිහිපයකම විදුලිබිල වැඩිකරන ලදී. ඒ සෑම අවස්ථාවකම විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම ප්‍රධාන හේතුව විය. මණ්ඩලය බංකලෝත්වීමෙන් මිදීමට භාවිත කළ උපක්‍රමය විදුලිබිල වැඩි කර ජනතාවට පාඩුව මුදා හැරීමයි.

ඉකුත් සමයේ පැවැති දැඩි වියළි කාලගුණය සමඟ විදුලි නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. නමුත් එහි බර ජනතාව මත පැටවෙන ආකාරයේ විදුලිබිල ඉහළ නැගීමට කිසිඳු සූදානමක් නැති බව හා එවැනි වැඩිකිරීමක් සම්බන්ධ තීරණයක් ගෙන නැතැයිද පවසයි.

අපේ රටේ විදුලි අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ජල විදුලිය ප්‍රමාණවත් නො වේ. මේ නිසා තාප බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට විදුලිබල මණ්‌ඩලයට සිදු වේ. මේවා පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ බලාගාර ද වේ. තාප බලාගාරවලින් විදුලිය ඒකකයක්‌ නිපදවීම සඳහා යන වියදම විදුලි පාරිභෝගිකයන්ට විදුලිය සැපයෙන සාමාන්‍ය මිලට වඩා අධික ය. අවසානයේ දී සිදු වන්නේ විදුලිබල මණ්‌ඩලයට පාඩු සිදු වීම ය. ජල විදුලිය මඟින් විදුලිබල නිෂ්පාදනයට සැපයෙන දායකත්වය අඩු වන කාලවකවානුවල දී මේ පාඩුව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ වසරේ බොහෝ විදුලි බලාගාරවලට ලැබී ඇත්තේ අඩු වර්ෂාපතනයකි. එබැවින් විශාල පාඩුවක් දැරීමට සිදුව තිබේ.

අපට පෙනෙන පරිදි විදුලි ජනනය සඳහා ඉන්ධන යොදා ගැනීමේදී මෙතෙක් කල් ලබා දුන් සහනය තවදුරටත් ලබදීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරන බවකි. ඔවුන් බලා සිටිනුයේ විදුලි ගාස්තුව ඉහළ නංවා පාරිභෝගිකයන්ගෙන් එය අය කරගැනීම පිළිබඳවය. ඒ අනුව ලාභදායී විදුලි ජනනය අඩු කාල වකවානුවලදී විදුලි පරිභෝජනය අඩු කිරීමට විකල්ප මාර්ග සෙවීම යෝග්‍ය යැයි අපි සිතමු.
විදුලිබල මණ්ඩලයට ආර්ථික පාඩු සිදුකරන්නේ ජාතික පද්ධතියට 35%-40%ක් අතර තාප විදුලිය සපයා ඒ සඳහා සමස්ථ ආදායමෙන් 70%-80% ලබා ගන්නා පෞද්ගලික තාප විදුලිබලාගාරයි. ඒ සඳහා වගකිව යුත්තේ පසුගිය කාලවකවානුව තුළ අඩුවියදම් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකොට පුද්ගලික අංශයෙන් අධික මුදලට තාප විදුලිය ලබා ගැනීමට කටයුතු කළ පාලනයන්ය. එහි ප්‍රතිපලයක් ලෙස වර්ථමාන මණ්ඩලයට පමණක් නොව මහජනතාවට අතුරුවිපාක විඳීමට සිදුව ඇත.


සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment