Thursday, October 13, 2016

පෞද්ගලික බසයේ අලුත් සීසන්....



ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් රථ ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් කාටත් තිබෙන්නේ ඍණාත්මක ආකල්පයක් හා දැඩි විවේචනයකි. දැඩි තරඟකාරීත්වය, අධික තදබදය, මුදල් ගසාකෑම, අනතුරු අධිකවීම පෞද්ගලික බස් රථ ප්‍රවාහන සේවයේ පොදු ලක්ෂණයකි. පෞද්ගලික මෙන්ම රාජ්‍ය ප්‍රවාහන සේවයෙන්ද අපසුතාවයට පත්වීමේ හේතූන් මත පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත්වන මගියා විකල්ප ප්‍රවාහන මාධ්‍යන් කරා යොමුවීම තුළින් අධික මාර්ග තදබදය, ඛණිජ නාස්තිය, වායුදූෂණය ආදි අතුරු විපාක විඳිමට සිදුව තිබේ. එය රටේ ආර්ථිකයට, පරිසරයට, සෞඛ්‍යටද අහිතකර ලෙස බලපායි. මෙම ගැටලුවට විසඳුම් සෙවීම කාලීන අවශතාවයකි. එබැවින් පෞද්ගලික සහ ලංගම බස් සේවාවන් දෙකකම දියුණු කිරීමේ විසඳුමක් අත්‍යවශ්‍යය.
ඉහත ගැටලුවලට විසඳුමක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහසර ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය මාසයේය. එතුළින් නව බස්රථ ධාවන ක්‍රමයක්, නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මධ්‍යම පළාත් බස් රූට් පනහක බස් රථ 350ක් ආවරණය වන පරිදි අලුත් බස්රථ ධාවන ක්‍රමයක් මේ මස දෙවනදා සිට ක්‍රියාත්මකයි. මහනුවර දිගන මාර්ගය සහ මහනුවර කඩුගන්නාව මාර්ගයේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියත්මක කර තිබේ. එනම් දිගන හෙවත් දුම්බර බස් ලයිනයේ මාර්ග 23ක් හා කඩුගන්නාව මාර්ගයේ මාර්ග 27කි. මාස තුනක කාලයක් අත්හදා බැලීමක් වශයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සාර්තක වේනම් පියවරෙන් පියවර ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිත උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය, ප්‍රවාහන අමාත්‍යංශය හා මොරටුව විශ්වවිද්‍යාලය එක්ව සිදුකරයි.

සහසර ව්‍යාපෘතියේදී මගී ඉල්ලීම අනුව නිර්මාණය කරන කාලසටහනකට බස්රථ ධාවනය සිදු කරයි. නව තාක්ෂණය අනුව දවසින් දවස පැයෙන් පැය මගීන්ගේ ඉල්ලීම් හඳුනාගනිමින් එම වේලාවන්වලදී බස්රථ ප්‍රමාණය වැඩි කිරීමටත් මගීන් අවම වේලාවන්වලදී සාධාරණ ප්‍රවාහන සේවයක් සැපයීමත් මෙම ව්‍යාපෘතියේදී සිදුවෙයි. එමෙන්ම දවසක් තුළ ධාවනය වූ සියලුම බස්රථ තම තමන් උපයාගත් මුලු ආදායම බස් හිමියා වෙත ඍජුව නොගොස් එක් පොදු ගිණුමකට බැරවෙයි. අනතුරුව එම ආදායම සෑම බස්රථයක් අතරම ඔවුනනොවුන් ධාවනය වූ දුර හා වාරගණන අනුව සාධාරණ අන්දමින් බෙදා දෙනු ලැබේ. එමනිසා බස් රථ එකිනෙකා හා තරඟකර තම බසයට මගීන් නංවා ගැනීමේ අවශ්‍ය නොවේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මගීන් වෙත ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ගමන් ප්‍රවේශපත්‍රය මුදල් වෙනුවට ඉලෙක්ට්‍රෝනික කාඩ් භාවිතයෙන් මුදල් ගෙවිය හැකිය. මෙම පෙරගෙවුම් කාඩ්පත් කොමියුනිකේෂන්වලින් මිලදී ගැනීමේ හැකියාව තිබේ. මෙම ව්‍යාපෘතිය ආරම්භකර සතියක්ගත වීමට මත්තෙන් පෙරගෙවුම් සහසර කාඩ්පත් 10.000කට අධික සංඛ්‍යාවක් අලෙවිවී ඇත. මගියා ප්‍රවාහනය සඳහා ගාස්තු ගෙවීමේදී සහසර කාඩ්පත කොන්දොස්තර මහතාට ලබා දීමෙන් එම පෙරගෙවුම්පතේ වලංගු මුදලින් දුර ප්‍රමාණය අනුව අදාල වටිනාකම අඩුවේ. මගියට තම කාඩ්පත නැවත රීලෝඩ් කර භාවිත කළ හැකිය. කාඩ්පත භාවිතය නිසා ඉතිරි මුදල් ලබා නොදීම වැනි ගැටලු මග හරවා ගත හැකිය. සහසර කාඩ්පතක් නැති මගීන් මුදල් ගෙවා බස් රථයේ කොන්දොස්තර මහතා අතැති සහසර කාඩ්පතින් ගමන් ගාස්තුව ගෙවිය හැකිය. කොන්දොස්තර මහතා දිනය අවසානයේදී තමන් මගීන්ගෙන් ලද මදලින් සහසර කාඩ්පත රීලෝඩ් කරගත හැකිය.

සහසර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති සෑම බස්රථයකටම ඉලෙක්ට්‍රෝනික ටිකට් යන්ත්‍රයක් ජී.පී.එස් යන්ත්‍රයක් හා සී.සී.ටී. කැමරාවක්ද ලබා දී තිබේ. මධ්‍යම මෙහෙයුම් මැදිරයක් ස්තාපිත කර ඇති අතර එහි සිට ජී.පී.එස් හා සීසීටීවි. තාක්ෂණය භාවිතයෙන් බස්රථ පාලනය කිරීම හා නිරීක්ෂණ කටයුතු සිදු කරයි. මෙම මෙහෙයුම් මැදිරියෙන් මගියාගේ සෑම අවශ්‍යතාවයක්ම හදුනාගනියි. මගී අවශ්‍යතාවය පරිදි බස්රථ කාලසටහන් යාවත්කාලීන කිරීමද මෙහෙයුම් මැදිරියෙන් සිදුකරයි. මෙම මෙහෙයුම් අංශයෙන් නව ක්‍රමය දියුණු කිරීමට අදාල කටයුතුද සිදු කරයි.

සහසර නියමු ව්‍යාපෘතිය ආරම්භ කර සති දෙකක් ගත වන විට බස් රථ කොටකොටා යාම අඩුවී ගමන් වේගය වැඩිවී තිබෙනවා, පාරේ ඇති අධික තරඟකාරිත්වය අඩුවී තිබෙනවා, බස්රථවලට ගොඩවීමට කෑකෝ ගැසීම අඩුවී තිබෙනවා, මාරු කාසි ප්‍රශ්නය එන්න එන්නම අඩුවී තිබෙනවා, නවීන ක්‍රමානුකූල බස්රථ සේවයකට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය වී තිබෙනවා ඇත්තටම මේක සංකීර්ණ ක්‍රියාදාමයක්. විවිධ පාර්ශවයන් ඒවා විසඳන්න දායක වෙලා තියෙනවා. නමුත් තාමත් හරියට සාර්තක කරගන්න හැකිවෙලා නෑ. ආර්ථිකමය, සමාජමය, රැකීරක්ෂ ගැටලු තියෙනවා. ඒවා ජයගනිමින් අවසාන ඉලක්කය වන්නේ සමස්ථ බස්රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමයි. බස්රථ සේවා ස්වරූපය වෙනස්වීම, මගීන් ආකර්ෂණය කරගැනීම වැනි ප්‍රතිසංස්කරණය අපි මෙතුළින් බලාපොරොත්තු වෙනවා. දැනට තිබෙන ආකෘතිය අවුරුදු 35කට වැඩියි. ඉතිං දැන් ගමනාගමය සේවයත් 21වන ශතවර්ෂයට ගැලපෙන ආකෘතියට දියුණු කළ යුතුයි. යනුවෙන් සහසර ව්‍යාපෘතියේ තාක්ෂණික නිර්මාණ පිළීබඳ මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමල් කුමාරගේ මහතා සිය අදහස් දැක්වීය.

මෙම නවක්‍රමය තුළ පදනම් කර ඇති තරගකාරීත්වය නැමැති සාධකය නිවැරදි යැයි කිව නොහැකිය. තරඟකාරීත්වය වෙනුවට මෙම නියමු ව්‍යාපෘතීයේ ගෙවීම් සිදුකරන්නේ බස්රථයක් ධාවනය කරන දුර ප්‍රමාණය අනුව මිසක බසයට නංවාගන්නා මගීන් ප්‍රමාණය අනුව නොවේ. අතීතයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවයේද තරඟකාරීත්වය නොමැතිකම හේතුවෙන් බස්රථය ආරම්භක ස්ථානය සිට අවසාන නැවතුම දක්වා හිස් බස්රථය මගීන් නොනග්වා ධාවනය වූ ඉතිහාසයක් තිබුණි. එවැනිම දෙයක් මෙම නව ව්‍යාපෘතියෙන්ද සිදුවිය හැකිය. එය මග හරවා ගැනීමට ජී.පී.එස් තාක්ෂණය යොදා තිබුණද එය නිරීක්ෂණය වේ දැයි ස්තීරවම කිව නොහැකිය. ජාතික ප්‍රවාහන කොමිසමේ යොදා ඇති ජී.පී.එස් යන්ත්‍ර 2000 පවා නිරීක්ෂණය සිදු නොවද්දි මෙම නව ක්‍රමයේ ජී.පී.එස් යන්ත්‍ර සාර්ථකව නිරීක්ෂණ කළ හැකිදැයි සැක සහිතය
.
මෙම ව්‍යාපෘතියේ තවත් අංගයක් වන කැමරාව තුළින් වුවද නිරීක්ෂණය කළ හැක්කේ බස්රථයට නගින හා බසින මගීන්ව මිසක මහපාරේ රස්තියාදුවීමට සිදුවන්නව නොවේ. එවගේම මම නියමු ව්‍යාපෘතිය තුළින් බස් හිමියන්ට බස්රථය ධාවනය කරන දුර ප්‍රමාණයට ගෙවීම් කරනා බැවින් මගියාගේ සනීපාරක්ෂා හෝ මගී පහසුකම් ලබා දේ යැයි සිතිය හැකිය. බසය පිරිසිදු කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, හෝ රේඩියෝ ටී.වී වැන වෙනත් පහසුකම් ලබා දේ දැයි සැක සහිතය. තරඟකාරීත්වයේ තිබෙන මෙම ගැටලු විසඳීමට වෙනත් තාක්ෂණික උපක්‍රම භාවිත කළ හැකිය. එබැවින් තරඟකාරීත්වය ඉවත් කිරීම මගීන් වෙත කරන විශාල අසාධාරණයක්. එබැවින් තරඟකාරීත්වය නිස මතුව ඇති ගැටලු විසඳීමේදී පදනම් කර ඇති තරඟකාරීත්වය ඉවත් කිරීම වෙනුවට වෙනත් පදනමක් භාවිත කිරීම වඩාත් සුදුසුය.

මෙම අලුත් ධාවන හා ගෙවීම් ක්‍රමය තුළින් ගුණාත්මක සේවාවක් මගියාට ලබාදීම, නිසිවේලාවට බස් රථ ධාවනය කිරීම, රථයේ ධාරිතාවට සුදුසු මගීන් ප්‍රමාණයක් පමණක් නංවා ගැනීම, රියදුරු සහයක දෙපල විනීත වීම, අවධානම් සහගත ලෙස රිය ධාවනය නොකිරීම, කෙරෙහි අවධානය යොමුකිරීමට අනිවාර්ය වෙයි. එමෙන්ම ධාවන කලාපයේ බස්රථ අතර සාමුහිකත්වයද අනිවාර්ය වෙයි. කෙසේ වෙතත් ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත යොමුවීමට නම් දියුණු පහසුකම් සහිත කලට වේලාවට ගමන් කළ හැකි විශ්වසනීය පොදු ප්‍රවාහන සේවක් අවශ්‍යය. මෙම ක්‍රියාවලිය සඳහා නගර සේවා බස්රථ සේවාවක් ආරම්භ කිරීම, දුම්රිය සේවය පුලුල් කිරීමද වැදගත් වෙයි.

සකීෆ් සාම් තන්වීරි.


No comments:

Post a Comment