Thursday, October 13, 2016

පුංචි ඡන්දය ලොකුම ප්‍රශ්නයයි








ශ්‍රී ලංකාවේ පහලම මට්ටමේ දේශපාලන ආයතනය පළාත් පාලන ආයතන වේ. ඈත අතීතයේ සිටම ප්‍රදේශීය පරිපාලනය ගම් සභා, රටසභා, සුලුනගර සභා ආදි විවිධ නම්වලින් සිදුවුවද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියළුම ගොඩබිම් ප්‍රදේශ කිසියම් පළාත් පාලන ආයතනයකට අයත්ය. 1988 දී එතෙක් පැවැති දිස්ත්‍රික්ක සංවර්ධන සභා ක්‍රමය අහෝසිකර නගර සභා ක්‍රමයක් බිහිවිය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුව ප්‍රාදේශීය සභා පළාත් සභා යටතට පත්වන අතර මධ්‍යම ආණ්ඩුවේ ඍජු බලයටද යටත් කර තිබේ. මේවන විට මෙරට ක්‍රියත්මක පළාත් පාලන ආයතන වර්ග තුනකි. එනම් මහනගර සභා (23), නගර සභා (41) හා ප්‍රාදේශීය සභා (271) වේ. වසර පහක ධූර කාලයක් සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා කලින් කල පළාත් පාලන මැතිවරණ පවත්වනු ලැබේ.
2015 මාර්තු 15වන දින පළාත් පාලන ආයතන 234ක නිල කාලය අවසන්වූ අතර යළි මැතිවරණයක් පවත්වන තුරු ඒව විශේෂ කොමසාරිස් හා නිළධාරී පාලනයකට යටත් කර තිබේ. අද වන විට සියලුම පළාත් පාලන ආයතනයන්හි දූර කාලය අවසන්වී සෑම ආයතනයක්ම විසුරුවා ඇත. එහෙත් මැතිවරණයකට යාම සඳහා බාධාවක් වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක් අනුව ඡන්දය පැවැත්වීම සඳහා සීමා නිර්ණය කටයුතු අවසන් නොකිරීම නිසාවෙනි. එනමුදු අවස්තා කිහිපයකම කඩිනමින් මැතිවරණය පවත්වන බව විෂයභාර ඇමැතිවරයා පොරොන්දු විය. පොරොන්දුවූ පරිදි මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් සිවිල් සංවිධාන අධිකරණමය ක්‍රයාමාර්ග ගැනීමටද කටයුතු කළේය. මෙලෙස පළාත්පාලන ආයතන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව කිහිපයගෙන් දේශය අදහස් විමසීමක් සිදු කළේය.

පළාත් හා පළාත් පාලන ආයතන විෂය භාර අමාත්‍ය - ෆයිසර් මුස්තෆා.
කලින් සීමා නීර්ණ වාර්තාව තනි පුද්ගල වුවමාණවට කළ දෙයක්. නමත් අපේ රජයේ අරමුණ රටට සුභවාදී කොට්ඨාස බෙදීම. සීමා නීර්ණය අවසන් කිරීමට නැවත නැවත කාලය පරක්කු කරන්න සිද්ධ වුණේ කලින් වාර්තාවේ තිබ්බ අඩුපාඩු හන්දයි. කමිටුවට වුවමණා කළා ගමින් ගම යන්න, මිනිස්සු එක්ක කතා කරන්න, සෑම පක්ෂයකම අදහස් ගන්න. ඉතිං මට සදාචාරාත්මක වගකීමක් තිබ්බා ඒ සඳහා අවකාශය දෙන්න. මගේ වගකීම මේ වාර්තාව ඉක්මණින් හදලා මැතවරණ කොමිසමට ඉදිරිපත් කරන්න. නමුත් ප්‍රායෝගික ගැටලු ගණනාවක්ම තියෙනවා ඒ කාර්යය ඉක්මණින් අවසන් කරගැනීමට. මෙතැන්දී මැතිවරණය පරක්කු වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වරදකරුවෙක් කරන්න බෑ. කලින් ආණ්ඩුවල ඇමතිවරුවන් වගේ සීතල කාමරවල ඉඳලා මම වැඩ කරන්නේ නෑ. මම පක්ෂ සමඟ කතා කළා. මිනිස්සු සමඟ කතා කළා. අපිත් බලන්නේ පුලුවන් ඉක්මණින් මැතිවරණයකට යන්න.
පළාත් පාලන පනතට මැතිවරණ කොමිසම නිර්දේශ කළ සංශෝදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වැඩිකාලයක් ගත වෙන එකක් නෑ. ඒක ඉක්මණින් කරගන්න පුලුවන්. මේ වෙනකොට ඒ සඳහා පත්කළ සීමා නීර්ණ කමිටුවේ වැඩකටයුතු බහුතරයක් ඉවරයි. ඔක්තෝම්බර් 30 දක්වා කාලය දීලා තියෙනවා අවසන් වාර්තාව ලබා දෙන්න. මම ලබන මාර්තු මාසෙට කලින් මැතිවරණය තියන්න පුලුවන් කියලා ප්‍රකාශයක් කළා. දැනුත් කියනවා සීමා නීර්ණ කර්තව්‍ය අවසන් වූ වහාම මැතිවරණයකට යනවා. මාර්තු මාසෙට කලින් පුලුවන් ඒකත් කරන්න අපි සූදානම්. සීමා නීර්ණ කමිටුවට උපදෙස් දීලා තියෙන්නේ වැඩකටයතු කඩිනම් කරන්න කියලයි. මෙච්චර පරක්කු වෙන්නේ සීමා නිර්ණය කටයුතුවල සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි කියන පරමාර්තය හේතුවයි. ඒමසක අපි පරාද වෙයි කියලා බයකට නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාජය කරන්න පුලුවන් වුණ අපට පළාත් පාලන මැතිවරණය ලොකු දෙයක් නෙවෙයි. ඉතිං අපි මොකටද බය වෙන්නේ. අනික කවුරු කොහොම කිව්වත් යෝජිත මැතිවරණ ක්‍රමය වෙනස් කරලා පැරණ ක්‍රමයට අපි යන්නෙ නැහැ. අනික ඊලඟ පළාත් පාලන ආයතනවල 2000ක කාන්තා සභික සංඛ්‍යාවක් පත්කරනවා.


සීමා නීර්ණ කමිටු සභාපති - අශෝක පීරිස්.
සීමා නිර්ණයේදී කොටස් තුනක් තියෙනවා. මූලිකව තියෙන්නේ කොට්ඨාශ ගැලපීම හා කොට්ඨාශ සංශෝදන යෝජන හැදීම. අනතුරුව එම කොට්ඨාශ සඳහා මිනින්දෝරු දෙපාර්තුමේන්තුව මගින් සිතියම් ඇඳීම සහ මායිම් ලකුණු කිරීම. අවසාන පියවරේදී මේ සියල්ල ඉංග්‍රීසි හා දමිළ භාෂාවන්ට පරිවර්තනය කිරීම. මේ වනතුරු සීමා නිර්ණය කමිටුව විසින් නීර්ණ කටයුතු අවසන් කළ සෑම කොට්ඨාශයක්ම මිනින්දෝරු දෙපාර්තුමේන්තුවට ලබා දී තිබෙනවා. ඔවුන් ඒවායේ මායිම් සිතියම් කළ පසු පරිවර්තනයට අපි යොමු කරනවා. මේ කාර්යයන් තුනම සමාන්තරව එකම වෙලාවේ සිදුවෙනවා. තව ඉතිරිවෙලා තියෙනවා අවසන් පරීක්ෂා කිරීම. නැවත වරක් කොට්ඨාස හා මායිම් නිවැරදිව ලකුණු වී තිබෙනවද කියලා සොයා බැලීම ඉතිරිවෙලා තියෙනවා. පහුගිය ගැසට් පත්‍රයෙන් එක් ග්‍රාමසේවා වසමක් අඩුයි. එවැනි අඩුපාඩු ඇති නොවෙන්න සීමා නිර්ණය කටයුතු සියල්ලම අවසන් වූ පසු නැවත පරීක්ෂණයක් සිදුකළ යුතු වෙනවා. අනතුරුව අපි අවසන් වාර්තාව විෂයභාර ඇමතිවරයාට ලබා දෙනවා. ඔක්තොම්බර් මස පහළොස්වෙනිදා අපිට එම අවසන් වාර්තාව ලබා දෙන්න පුලුවන්. සීමා නිර්ණය කටයුතු සියයට අනූවක්ම දැනට ඉවරයි. තිව සීමිත කොටසක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.

පෙෆරල් සංවිධානයේ සභාපති - රෝහණ හෙට්ටිආරච්චි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග අපි සෑහෙන කාලයක් නිරීක්ෂණය කළා. නමුත් මැතිවරණය කඩිනමින් පවත්වන්න ආණ්ඩුව සාධාරණ උත්සහයක් ගන්නා බවක් පෙනෙන්න නැහැ. සීමා නීර්ණ ගැටලු තිබෙන බව හැබෑවක්. ඒක නිවරදි කළ යුතුයි. ඒත් ඒ කාර්යය ආණ්ඩුව ඉක්මණින් ඉවර කරන්න උත්සහ කළේ නැහැ. මේ පිළිබඳව අපි ඇමැතිවරයා දැන්වුවා. මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළා. මේ සියල්ලම අසාර්තක වුණ හන්දා අපි අධිකරණයට ගියා. හෙට (19) දෙවන නඩුව තියෙනවා. අපි කරුණු තුනක් ඉල්ලා තියෙනවා. මුලින් සීමා නිර්ණය අවසන් කොට්ඨාස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කළ යුතුයි. දෙවනුව මේ සියලු පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය අවසන් කරන දිනය අධිකරණය දන්වන්න. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ඇමැතිවරයා අවස්තා කිහිපයක දින කිහිපයක් කිව්වා. ඇමැතිවරයා කියන දිනයන්වල වලංගුභාවය පවා නැතිවෙලා තියෙනවා. ඒ නිසා අධිකරණයට දිනය කීවොත් නිත්‍යානුකූල බැඳීමක් ඇතිවෙනවා කියන දිනයට අවසන් කරන්න. තුන්වනුව මැතිවරණය පවත්වන දිනය නොවුණත් පවත්වන කාලවකවාණුව අධිකාරණයට ඉදිරිපත් කළ යුතුයි.
තවත් ඉල්ලීමක් ලෙස අපි ඉදිරිපත් කළා සීමා නීර්ණ කටයුතු සිදුකරන අතරතුරුම පනතේ ගැටලු සංශෝදනය කරන්න කියලා. නැතිනම් සීමා නිර්ණය අවසන් වූ පසු පනතේ සංශෝදනය කරන්න තවත් කාලයක් ගත කරන්න අමාත්‍යංශය කටයුතු කරන්න පුලුවන්. මැතිවරණ කොමිසම සංශෝදනය නිර්දේශ කළේ 2013 වුණත් අද වනතුරු අවසාන විසඳුමකට එළඹ නැහැ. මේ කාර්යන් සම්බන්ධව අනුකමිටුවක් පත්කර තිබෙනවා. එය පැසසිය යුතු කටයුත්තක්. හැබැයි සීමා නිර්ණය අවසන් වනවාත් සමඟ පනතත් සංශෝදනය කළ යුතුයි. පසුගිය කාලයේ දේශපාලන වුවමණා මත සිදු කළ වරද භාවිත කර මේ ආණ්ඩුවත් නැවත එම වරදම කරනවා නම් බරපතල ගැටලුවක්. පෙෆරල් සංවිධානයේ ස්තාවරය වන්නේ පාලකයාට වුවමණා පරිදි මැතිවරණ දිනය වෙනස් කළ නොහැකි වන සේ ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කැලන්ඩරයක් රටට අවශ්‍යයි.

දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා සභාපති - ධනසිරි අමරතුංග
පළාත් පාලන ආයතනය තමයි ජනතාවට ලගින්ම ඉන්න ආයතනය. ජනතාවගේ එදිනෙදා කටයුතුවලට සම්බන්ධ වෙන්නෙත් පළාත්පාලන ආයතන. ඉස්සර පළාත්පාල ආයතන ඡන්දයක් කලින් සභාපතිවරයා නැත්තම් නගරාධිපතිවරයා ඉන්දෙද්දි තමයි පවත්වන්නේ. ඡන්දය දිනුවට පස්සේ ඔහුට කටයුතු භාර දීලා ඉවත්වයාම තමයි සම්ප්‍රදාය. ව්‍යවස්ථාවේ මෙන්ම නගරාසභා ආඥා පනතවල තියෙන්නෙත් පළාත්පාලන ආයතනයක් විසුරුවිය යුත්තේ ඡන්දය තැබීමෙන් පස්සේ කියලයි. නමුත් මෙවර පළාත් පාලන ආයතනය විසුරවලා මාස ගණනාවක් වෙනවා. තාම මැතිවරණයවත් තියලා නෑ. මේක ජනතාවගේ පැත්තෙන් ලොකු අසාධාරණයක්. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න, මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න කෙනෙක් නැහැ. දැන් පළාත් පාලන ආයතනවල ඉන්නේ 8-5 රාජකාරී කරන පිරිසක්. මහජන නියෝජිතයෙක් කියන්නේ තමන් නියෝජනය කරන පළාතට වගකියන පුද්ගලයා. ඉතිං මහජනයා ඔහු හරහා තමයි තමන්ගේ ගැටලු වසඳගන්නේ තමන්ගේ කාර්යයන් කරව ගන්නේ. නමුත් අද නිළධාරීන්ගේ ඒ දේවල් කරගන්න බෑ.
දැන් ආයතන මන්දගාමී වෙලා. මහජන නියෝජිතයෙක් සිටිද්දී ඔහුගේ බලතල සමඟ සෑම දෙයක්ම කාර්යක්ෂම කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි දෙගොල්ල අතර වෙනස. දැන් පළාත්පාලන ආයතන හා නගර සභා අතරමං වෙලා. දැන් නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල කුණු ඇදීම සම්බන්ධ ගැටලු මතුවෙලා තියෙනවා. සැලසුම් ක්‍රියා ප්‍රමාදයි. කොමසාරිස්වරයෙකුට දේශාපලඥයෙකුට තියෙන දේශපාලන පෞර්ෂයක් නොමැතිකම නිසා හැම දෙයක්ම ඇනහිටිලයි තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න ගොඩ ගැහිලා. මේ කිසිම දෙයක් දේශපාලන අධිකාරියේ නායකයෙක් ඉන්දේදි සිද්ධ වෙන්නේ නෑ. ඉතිං දැන් හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ කියලයි අපි ඉල්ලන්නේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් - මොහොමඩ් මහතා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව සමානුපාතික සහ කේවල් ක්‍රමය මිශ්‍රවූ ක්‍රමයකට මැතිවරණය පැවැත්විය යුතුයි. ඉතිං කේවල් ක්‍රමයට මැතිවරණ තියන්න නම් කොට්ඨාශ නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා සීමා නීර්ණ කොමිසමක් පත්කරලා තියෙනවා. ඔවුන් සීමා නිර්ණය අවසන් කළ පසු නැවත සමාලෝචනය කිරීමට තවත් කමිටුවක් පත්කළ යුතු බවටත් නීතිය තිබෙනවා. ඒ දේවල් වෙනමම සිද්ධ වෙමින් පවතිනවා. ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට බලතල නැහැ. පළාත් පාලන මැතවරණ පනතේ සම්බන්ධයෙන් සංශෝදන කරන්නත් අපි නිර්දේශ කළා. ඒ වැඩකටයුතුත් පළාත්පාලන අමාත්‍යංශය හරහා සිදු වෙමින් පවතිනවා. ඉතිං නීතිය අනුව සීමා නීර්ණ වැඩ අවසන් වූ පසු පළාත් පාලන ආයතන විෂය භාර ඇමතිවරයා කොට්ඨාශ ගැසට් කළ යතු වෙනවා. ඉන්පසු අපිට මැතිවරණයක් තියන්න පුලුවන්. නීතියෙන් අපිට තියෙන බලය ඕකයි. ඉතිං පළාත් පාලන ඇමැතවරයාගේ කාර්යයන් අවසන් වූ පසු අපි අපේ රාජකාරිය ආරම්භ කරනවා. පළාත් පාලන අමාත්‍යංශයේ කටයුතු අවසන් වීමෙන් දින අනූවක් ඇතුළත මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමට තියෙනවා.
සකීෆ් සාම් තන්වීරි.


No comments:

Post a Comment