Thursday, October 13, 2016

කාටද කොළඹ කුණු ඕනේ.........







කුණු සමග කුණුවන කුණු කන්ද තරම්ම ගොඩගැසෙන මීතොටමුල්ල ජනතාවගේ කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම මාධ්‍යවේදීහු හඬනැගූහ. ඒ සෑම අවස්ථාවකම කන්බීරිවී සිටි බලධරයන් ඉදිරියේදී ඇතිවන තත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි අපේ අවධානය යොමුවූයේ නාගරික සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ අනාවරණකින් අනතුරුවයි. අඩි 175ක් තරම් උසට ගොඩගැසී ඇති මීතොටමුල්ල කුණු කන්දට කැළිකසල බැහැර කළ හැක්කේ තවත් සති දෙකකට පමණක් බවත් තවදුරටත් එහි කුණු ගොඩගැසීම කිසිසේත්ම කළ නොහැකි යැයි චම්පික අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. නමුත් එවැනි තත්වයට මුහුණ දීමට මහනගර සභාව හෝ නාගරික සංවර්ධන අධිකාරිය හෝ පළාත් සභාව හෝ සූදානම් නැත.

අත දැමීමට ඉඩ දුන් අධිකරණ නියෝගය මුවාවෙන සර්වාංගයම මීතොටමුල්ලට රිංගවාගත් බලධරයෝ එහි කුණු ගොඩගැසුවේ ජනතාවිරෝධය නොතකා ඔවුන්ට පහරදී මර්ධනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවිරෝධි අත්තනෝමතික ක්‍රමයකිනි. අක්කර දෙකක තාවකාලිකව කුණූ දැමීමට ලැබුණු අවසරයෙන් අක්කර 18ක් පුරා දිනකට කුණු ටොන් 700-1300 ක අතර ප්‍රමාණය බැඟින් කුණු ටොන් මිලියන 24කටත් වඩා දැන් මීතොටමුල්ලේ ගොඩගසා ඇත. මීතොටමුල්ල ජනයාට නරාකාදියක් වූ කුණුකන්ද හේතුවෙන් මේවන තුරු ජීවිත හානි 30ක් සිදුව ඇත. ලෙඩ රෝග බෝවීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවකට ද ඔවුන් මුහුණ දුන්හ. මේ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනගහනය දසදහසටත් අධිකය.

කසල කළමණාකරන ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම මේ ගැටලුවේ මුලාරම්භයයි. සති කිහිපයකට පෙර ඒකල ඔතේකැලේ ආශ්‍රිතව කුණු දැමීමට කොළඹ මහනගර සභාව කළ යෝජනාවට දැඩි ජනතා විරෝධයක් මතුවිය. එනමුදු මීට වසර දහයකට ඉහතදී එම ස්ථානයේ කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී අතහැර දමා ඇත්තේ අදිසි අස්තයක බලපෑම මත යැයි කීමට දැන් දැන් සාධක ප්‍රමාණවත්ව ලැබී ඇත. එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවා නම් අද මීතොටමුල්ල කුණු කන්දක් නැත. දැන් වසරක කාලයකට ඉහතදී යෝජනා වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂිත කලාපයක කසල තැන්පත් කිරීමේ යෝජනාවද යට ගසා අත පිසගන්නා බලධාරීන් බලා සිටින්නේ බ්ලූමැන්ඩල් සේම මීතොටමුල්ල පුපුරා යනතුරුද? නැතිනම් කුණු කන්ද කඩා වැටෙන තුරු හෝ නාය යන තුරුද? එසේත් නැතිනම් වසර දෙකකට ඉහතදී කුණු කන්ද අවට ප්‍රදේශයේ පැතිරී ගිය පණුවන් මීතොටමුල්ල පුරා පැතිරී යන තුරුද?

මීට මාස හතරකට පෙර එනම් 2016/5/08 දින එක්තරා මාධ්‍යයක මී තොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ලිපියක මෙලෙස පළවිය. අක්කර 18ක් පුරා විසිරී ඇති ටොන් මිලියන 23ක් බර මීතොටමුල්ල කුණු කන්ද එංගලන්ත සමාගමකට ලබාදී ඉන් මෙරටදීම විදුලිය හා කොම්පෝස්ට් නිපදවීම පසුගිය සතියේ ආම්භ විය යනුවෙනි. එම සිදුවීමට අදාලව නොයෙක් මාධ්‍යයන් තුළින් පුවත් ද පළවිය. එහිදි සඳහන් වූයේ වසර හයක් ඇතුළත කුණු ඉවත් කිරීමට බ්‍රිතාන්‍යෙය් එස්.ජේ.පී.වෙස්ට් ටු එනර්ජි ප්‍රවයිවට් ලිමිටඩ් සමාගම සමඟ ගිවිසුමකට එළඹුණු බවයි. එම ගිවිසුමට බස්නාහාරි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ බ්‍රිතාන්‍ය සමාගමේ අධ්‍යක්ෂක ඉම්රාන් අලි යන පිරිස 2016/05/05 දින මීතොටමුල්ල කුණු කන්ද ඉදිරිපිටදී අත්සන් තැබූහ. එම ගිවිසුම අනුව දිනකට ටොන් 4000 බැඟින් මීතොටමුල්ලෙන් කුණු ඉවත් කර විදුලිය උත්පාදනය කිරීමට හා කාබනික පොහොර නිෂ්පාදනයට යොදවන බව සඳහන් විය. මෙම ව්‍යාපෘතිය පළාත් සභාව යටතේ සිදුවන බවද තවදුරටත් සඳහන් වූ අතර ප්‍රධාන අමාත්‍යවරයා මූලිකත්වය ගෙන කටයුතු කළේය. නමුත් එම ගිවිසුම හුදු මාධ්‍ය සංදර්ශනයක් බව දැන් අනාවරණය වී ඇත. නැතිනම් එය වෙනත් ඩීල් එකක් දැයි සැක කිරීමට පවා සිතෙන්නේ අදාල ගිවිසුම පරිදි වැඩකටයුතු තවමත් සිදුනොවීම තුළයි. මේ සම්බන්ධයෙන් විමසීමට බස්නාහිර පළත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකම උත්සහ කළද සම්බන්ධ කරගත නොහැකි විය.

දිනකට කොළඹ නගරය තුළ රැස්වන කසල ප්‍රමාණය ටොන් 700 ඉක්මවයි. කොළඹ නගරයේ පදිංචි ලක්ෂ පහකට අධික ජනගහනයද දෛනිකව කොළඹ නගර තුළට පැමිණෙන ලක්ෂ හයහමාරක ජනගහනය ද බැහැර කරන අපද්‍රව්‍ය ඒ අතර වේ. ඔවුන් ප්ලාස්ටික්,, පොලිතීන්, දිරාපත් වන ආහාර පාන ඉඳුල් ඇතුලු කසල තොගයක් පරිසරයට එක් කරයි. ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වන ජංගම දුරකථන, පරිගණක, බල්බ ඇතුළ වීදුරු භාණ්ඩ ආදියද විශාල වශයෙන් කසල ලෙස බැහර කරයි. දිනකට ශ්‍රී ලාකාව තුළ ඝන අපද්‍රව්‍ය ටොන් 6400ක් උත්පාදනය වෙයි. නමුත් රට ඇතුළත කසලවලින් 60%ක්ම බස්නාහිර කලාපයෙන් උත්පාදනය වේ. මේ අපද්‍රව්‍ය අන්තරාකාරි සහා අන්තරාකාරී නොවන යනුවෙන් වර්ග දෙකකි. මධ්‍යම පරිසර අධිකාරියේ  වාර්තාවන් අනුව රට තුළ කර්මාන්ත 11585කින් අන්තරාකාරී අපද්‍රව්‍ය 45% බස්නාහිර පළාතෙනන් නිකුත් වෙයි. ඒ අතර දිනකට අන්තරාකාරී සෞඛ්‍ය අපද්‍රව්‍ය ටොන් 25ක් රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන මඟින් පරිසරයට එක්වේ.

පරිසරවේදී සජීව චාමිකර මහතා  අදහස් දක්වමින් සඳහන් කළේ මෙරට කසල කළමනාකරණ ක්‍රමවේදයක් නෑති බවයි. මේකට විසඳුමක් ඕනේ. අපිට විදිමත් ක්‍රමවේදයක් ඕනේ කසල කලමනාකරණය පිළිබඳව. මේ ප්‍රශනෙට වසඳුම මීතොටමුල්ල කුණු කන්ද වෙන තැනකට ගෙන යාම නෙවෙයි. එහෙම ගෙනයාම කියන්නේ ප්‍රශ්නෙ වෙන තැනකට ගෙනයාමක් විතරයි. ගෙන ගියා කියලා විසඳුමක් කාටත් ලැබෙන් නෑ. දැනට බස්නාහිර පළාත් ඝණ අපවහන කළමනාකරණ අධිකාරියක් පිහිටවලා තියෙනවා. එහෙම අධිකාරියක් තිබිලත් ප්‍රතිපත්තිමය සැලසුමක් කරන්නෙ නැත්තම් බදු මුදලින් එවැනි ආයතනයක් නඩත්තු කරන්න ඕනෙද? කුණු කියන්නේ බැහැර කිරීම් ක්‍රියාවලියක් නෙවෙයි කළමණාකරනයට යටත් කළ යුතු ක්‍රියාවලියක්.

මීතොටමුල්ලටමුල්ලට පාත්වූ මේ ශාපය ඔවුන්ට තව තවත් දැනුනේ මාස හතරකට ඉහතදී ඇතිවූ ගංවතුර තත්වයත් සමඟය. අපා දුක් විඳි එහි ජනයා අද සිටින්නේ හැඟීම් රහිතවය. ඔවුනට ගඳක් සුවදක් දැනෙන්නේ නැත. ඔවුන්ගේ දුක වේදනාව කියන්නවත් සිත් නැත. කීවත් පළක් නැත. බලධාරීන් ආයෙමත් උත්සහ කරන්නේ මීතොටමුල්ලේ කුණු දමන වපසරිය තවත් පුලුල් කරගැනීමටයි. ඔවුන්ගේ ඊලඟ ඉලක්කය 101 වත්තයි. නමුත් දැන් තිබෙන තත්වය උඩ තවත් කුණු දැරීමට තරම් එම භූමිය ප්‍රමාණවත් නැත. මේ පිළිබඳව සහ කොළඹ මහනගර සභාවේ කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් හා ක්‍රියාමාර්ග පිළිඳව නාගරික කොමසාරිස්වරයාගෙන් විමසුවෙමු. ඔහුගේ පිළිතුර වූයේ කුණූ දැමිය හැක්කේ සති දෙකක කාලයක් කියා දෙයක් තමා පවසා නැති බවත් දිගටම එම ස්ථානයේ කුණු දමන බවත් ය. එහිදි ඒකල ඔතේකැලේ ප්‍රදේශයට කුණු බැහැර කිරීමට සැලසුමක් ඇත්දැයි විමසු කළ එය තමන්ට අදාල නැති දෙයක් බවත් තමා එබන්දක් ප්‍රකාශ නොකළ බවත් නාගරික කොමසාරිස්වරයා පැවසමින් මඟහැරීය. මීතොටමුල්ලේ කුණු දමන්නේ කොළඹ නගර සභාව නම් මේ සම්බන්ධයෙන් පැහැදිළි පිළිතුරක් ලබා දිය යුත්තේ ද නගර සභාවයි. කොළඹ නගර සභාවේ ඝණ ද්‍රව්‍ය කළමනාකර අධ්‍යක්ෂකාව ද මේ ප්‍රශ්නය මඟහැරියේ තමාට කිසිවක් පැවසීමට බලයක් නැතැයි පවසමිනි.

පරිසරවේදී සජීව චාමිකර මහතා කුණු කඳු ගොඩ ගැසීම් සම්බන්ධයෙන් මෙවැනි අදහසක් ඉදිරිපත් කළේය. ප්‍රිතිචක්‍රිකරණය කියලා කසල සේරම එකතු කරලා එක තැනකට ගෙනෙල්ලා ප්‍රතිචක්‍රීකරණයක් කරන්න බෑ. කසල ප්‍රතිචක්‍රීකරණය කියන්නේ කළමනාකරණයේ එක් ක්‍රියාවලියක් විතරයි. කසල කලමණාකරණයට ලෝකේ පාවිච්චි වෙන්නේ ෆයි ආර් සංකල්පය. ඒකයි හොඳම ක්‍රියාවලිය. ඒ කසල ජනනය වන ස්ථානයේ ඉඳලම නැණවත්ව පරිහරණය කරන ක්‍රමයක්. ඒ තුළ කලමණාකරනය කරන්න බැරි දෙයක් තියෙනවා නම් ඒක බැහැර කරන විදිහයි අපි කතා කරන්න ඕනෙ. කිසිඳු ආකාරයකින් කුණු ටික එකතු කරලා මීතොටමුල්ල හෝ වෙන කොහෙවත් එකතැනකට ගෙනෙල්ලා ප්‍රති චක්‍රීකරණය කරන්න බෑ. එහෙම කරන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් නෑ.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ (Solid Waste management) අවශ්‍යතාව අද සමාජයට තදින්ම දැනී තිබේ. ඝන අපද්‍රව්‍ය රටක පරිසර සුරක්ෂිතතාවට බරපතළ ගැටලුවකි. රට තුළ උත්පාදනය වන කසල වලින් එකතු කරනු ලබන්නේ 2.4%ක් පමණි. අපද්‍රව්‍ය 44.7ක්ම පුලුස්සා දැමීම හෝ වළ දැමීම සිදුවේ. තවත් 27.7ක් පරිසරය තුළ ගොඩගැසේ. ලංකාවේ නිපදවෙන ටොන් හයදහස් ගණනාවක අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් නිපදවීමට යොදා ගැනෙන්නේ 5.2ක් පමණි. එම ප්‍රමාණය තව කිහිප ගුණයකින් ඉහළ දැමිය යුතුය. අපද්‍රව්‍ය ලෙස බැහැර කෙරෙන වීදුර නිසි ක්‍රමවේදයකින් ප්‍රතිචක්‍රීකරණය කර නැවත වීදුර නිෂ්පාදනය කළ හැකිය. එම තාක්ෂණය හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතුය. ඒ අයුරින්ම ඉවත් කරන ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදනායතන ද ප්‍රවර්ධනය කිරීම හා එම කර්මාන්ත කරුවන්ට විවිධ සහන සැපයීම යෝග්‍ය වේ. එතුළින් පරිසරයට නිකුත්වන ප්ලාස්ටික් හා වීදුරු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර්මාන්තයක් ලෙස දියුණු වෙයි.

නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයට අයත් භූමියක් වන මීතොටමුල්ල පිළිබඳව එම අමාත්‍යංශය භාර ඇමති පාඨලි චම්පික රණවක මහතා මෙවන් අදහසක් පළ කළේය. එතැන නාගරික සංවර්ධන අධිකාරියට අයිති අක්කර 21ක ඉඩමක් තිබෙනවා. ඒක අවුරුදු දෙකක තාවකාලික පදනමිකින් තමයි කොළඹ නගර සභාවට දුන්නේ ව්‍යාපෘතියක් හදාගන්නකම්. නමුත් ක්‍රමක්‍රමයෙන් කුණු අක්කර 21කටම පුලුල් වෙලා ගියා. තවදුරටත් එතැන්ට කුණු දාන්න බැරි බව අපි නගර සභාවට දැනුම් දුන්නා. තව දැම්මොත් පැත්තෙන් පැත්ත කුණු නාය යමින් විනාශයක් වෙයි. අපි නගර සභාවට දැනුම් දීලා තියෙනවා ඉඩම වහාම භාර දෙන්න කියලා. කසල පුත්තලමට ගෙනයාම සම්බන්ධයෙන් වැඩසටහනක් 2012 ඉඳලා ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් කොයගෝ කියලා කොරියානු සමාගමක් මැදිහත් වෙලා තාක්ෂණික සහය ලබා දුන්නා. ඒකේ පරිසර වාර්තාවට වනජීවී දෙපාර්තුමේන්තුව එරෙහි වුණා. ඒ හින්දා දැන් ඒ ඇගැයීම් වාර්තාව වෙනස් කරලා වයඹ පරිසර අධිකාරිය වැඩ කරගෙන යනවා.

මීතොටමුල්ල කසල ගැටලුවට එක් වසඳුමක් ලෙස ඉදිරිපත්වූ කසල පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථානයක තැන්පත් කිරීම සම්බන්ධව පරිසර එකමුතුවේ දැඩි විරෝධය දක්වමින් සජීව චාමිකර මහතා පෙන්වා දුන්නේ පුත්ලමට කුණු ගෙනයාම ගැටලුව තවත් උඝ්‍ර කරන බවකි. පුත්තලමට කුණු ගෙන යන වැඩේ සම්පූර්ණයෙන් වැරදියි. ඒ අනතුරු නැති ස්තානයක් නෙවෙයි. පුත්තලමේ අරුවක්කාලු කියන තැනටය කුණු දාන්න හදන්නේ. එක්තරා සමාගමක් කැනීම් කරන හුණුගල් නිදි තියෙන ස්තානයක් ඒ. එතැන කුණු තැන්පත් කරනවා කියන්නෙ දැන් මේ වෙන හානිය වගේ තවත් හානිකර ත්තවයක් විශාල කලාපයකට පැතිරීම තමයි ඒ හරහා වෙන්නේ. ඒක කිසිඳු ආකාරයකින් ක්‍රියාත්මක කරන්න පරිසරවේදීන් විදිහට අපි ඉඩ දෙන්නේ නෑ. ඒකට අවශ්‍ය නීතීමය ක්‍රියාමාර්ග අපි ඕනි වුණොත් ගන්නවා. මොකද විල්පත්තුව වනෝද්‍යාන මායිමේ, කලාඔය මායිමේ හා ලංකාවේ විශාලම ජෛව ප්‍රජාවක් ඉන්න කලාපයේ තමයි මේ කුණු තැන්පත් කිරීම කරන්න හදන්නේ. මයෝසින් ඩිපොසිට් කියන්නේ භූගත ජලය විශාල කලාපයකට පැතිරෙන ප්‍රදේශයක්. හුණුගල් තට්ටු නීදිගත වෙලා තියෙන තැනක ජලය සංතරණය වෙනවා පුත්තලම ඉඳලා යාපනය දක්වාම. ඒවගේ තැනක කසල දැම්මොත් ඒ රසායනික ද්‍රව්‍ය සේරම, ලෝහ ද්‍රව්‍ය, අනෙකුත් විෂබීජ, කර්මාන්ත ශාලා හා රෝහල් මඟින් ඉවත් කරන අන්තරායකාර අපද්‍රව්‍ය සියල්ල හැම තැනටම පැතිරෙනවා. ඉතිං එක් තැන තියෙන ප්‍රශ්නෙ තව තැනකට ගිහින් දැමීම නෙවෙයි විසඳුම ලංකාවේ පොදු කසල කලමණාකරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නේ.

ඉදිරියේදී මීතොටමුල්ලේ ද කුණු දැමිය නොහැකිය. ඒකල ඔතේකැලේ භූමයට ද කුණු බැහැර කළ නොහැක. පුත්තලම අරුවක්කාලුවලත් කුණු තැන්පත් කළ නොහැකිය. එසේනම් තව සති දෙකකට පසු කොළඹ කුණු බැහැර කරන්නේ කොහෙද? එම කුණුත් කරදියානට ගලා යාවිද? නැතිනම් මීතොටමුල්ලේ ඔලු පලා කුණු ගොඩගැසුවා සේ ඒකලදීත් සිදුවේද? ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ. අවසානයේ දී අප වටහ ගත්තේ කොළඹ කුණු කන්ද භූමිය නාගරික සංවර්ධන අධිකාරයට අයත්ය. එහි කුණු දමන්නේ කොළඹ නගර සභාවයි. එම ස්ථානයෙන් කුණු ඉවත් කළ යුත්තා පළාත් සභාවයි. නමුත් මේ තුන් කට්ටුවම නිහඬය. එබැවින් කාගෙවත් කුණු වෙනුවෙන් බැට කන්නේ පීඩා විඳින්නේ මීතොටමුල් අහිංසක ජනයායි.

මීතොටමුල්ල ජනයා තමන්ට සිදුවූ අපරාධයට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇත. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයයි. මේ වන විට 3011/2015, 3018/2015 යන නඩු අංක යටතේ එය විභාග වෙමින් පවති. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේ ඉතා ඉක්මණින් මීතොටමුල්ලෙන් කුණු ඉවත් කිරීමට අදාල කටයුතු දැනටමත් සිදුවෙමින් තිබෙන බවකි. ඒ ප්‍රකාශය අපට මෙන්ම මීතොටමුල්ල ජනයාටද සුපුරුදු මිහිරි වදන් පෙළක් පමණි. වරද කලින් ආණ්ඩුවට පටවමින් තම අත සුද්ද කරගැනීම වෙනුවට ජන සෙත වෙනුවෙන් වැඩ කරන්නේ නම් එයයි සැබෑ යහපාලනය බව අපි සිහුපත් කරමු. මීතොටමුල්ල කුණු කන්ද අක්කර 18ක් විශාලය. එබැවින් අක්කර 13ක් පුරා පැතිර තිබෙන කරදියාන කුණු කන්ද තාමත් කාගෙත් ඇස ගැටී නැත. එම කුණු කන්ද ද කුණුවී තවත් කුණු ප්‍රශ්නයක් වන තුරු කුණු බලධාරීන් බලා නොසිටිත්වායි ද අපි ප්‍රාර්තනා කරමු.


සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment