Friday, July 22, 2016

නවක වදය නෙවෙයි නවක නව්‍යීකරණය ලු.

නවක වදය නෙවෙයි නවක නව්‍යීකරණය ලු.

නවකවදය ගැන වෙනදාට වඩා පත්තර වල රූපවාහිනියේ, ගුවන්විදුලියේ හා සමාජය තුළ කතිකාවක් ගොඩ නැගිලා. ඒත් එක්කමමේ දවස්වල කැලණිය විශ්වවිද්‍යාලය ගැනත් අධිකව කතාබහට ලක්වෙනවා. ශිෂ්‍යන් හා ආචාර්යවරුන් අතර ගැටුම, ආචාර්යවරුන් රාජකාරියන් ඉවත්වීම, විශ්වවිද්‍යාල සිසුන් හත් දෙනෙකු නවකවද සිද්ධියකට අත්අඩංගුවට ගැනීම, තවත් සිසුන් දහතුනක් උසාවි කැඳවීම, ශිෂ්‍ය නායකයෙකු සිරගත කිරීම, සිසුන් රෝගාතුරුවී විශ්වවිද්‍යාලය වසා දැමීම, වසාදැමූ විශ්වවිද්‍යාලය විවෘත කිරීම තවත් දින කිහිපයකට කල්දැමීම, වසාදැමූ විශ්වවිද්‍යාලය විවෘතකරන ලෙස සිසුන් උද්ඝෝෂණ කිරීම ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත අනධ්‍යන සේවක වර්ජනය ආදි වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලය සම්බන්ධව සිදුවීම් ගණනාවක් වාර්තා විය. ඇත්තටම කැලණියේ සිද්ධ වෙන්නෙ මොකක්ද?
සුපුරුද පරිදි අධ්‍යනය වර්ෂය නිමාකර 2016 පෙබරවාරි විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨයන් තම නිවස් බලා ගියා.  එම මාසයේ .... දින විශ්විද්‍යාලයට ආධුනිකයින් 2000ක් පමණ කලා, වාණිජ හා විද්‍යාපීඨවලට එකතුවෙනවා. ආධුනිකයින් විශ්වවිද්‍යාලයට ඇවිත් සති තුනක් යනතුරුම ජ්‍යෙෂ්ඨයන්ට විශ්වවිද්‍යාලය තහනම් භූමියක්. මාර්තුමාසයේ අලුත් අධ්‍යන වර්ෂයකට මුහුණ දීමට හා නවක සහොයුරන් හමුවීමට ජ්‍යෙෂ්ඨයන් විශ්වවිද්‍යාලයට වෙනදා වගේම ආවා. ආධුනිකයන් හා ජ්‍යෙෂ්ඨයන් අතර පළමු සතිය තුළ කිසිම වෙනසක් නෑ. නමුත් දෙවන සතිය ඉදලා ආධුනිකයන්ට වෙනම ඩ්‍රස්කෝඩ් එකක් පැවරෙනවා. ශිෂ්‍යාවයන්ට ස්කර්ටයක්, බ්ලව්ස් එකක්, සෙරෙප්පු දෙකකින් සැරසී කොණ්ඩෙ මැදින් බෙදා තනි පොටයට ගොතා, අත්ඔරලෝසු හෝ වෙනත් ආභරණ නොපැළඳ, කොණ්ඩය ඩයි නොකර විශ්විද්‍යාලයට පැමිණිය යුතුයි. ශිෂ්‍යයන් අත්කොට කමිසය දිග කලිසමට යට කර ඇඳ සපත්තු කුට්ටමක් පැළඳ කොණඩය කොටට කපා,රැවුල් කපා සිටිය යුතුයි. එවිට දුප්පත් පොහොසත් භේදය නැතිවී සියලුදෙනා එකසමාන යන හැඟීම හා සහෝදරත්වයක් අලුත් බැජ් එකේ ඇතිවෙන බව ජ්‍යෙෂ්ඨයෝ පවයි. ඒත් එක්කම ප්‍රථම වසර නවකයන්ට බලපත්‍රයක් වශයෙන් ෆයිල් කවරයක් ද පිරිනැමෙයි. එසේ කරන්නේ නවකයින් එකිනෙකා හඳුනාගැනීමට බවත් ජ්‍යෙෂ්ටයන් පවසයි. එයද අනිවාර්යයෙන් අතැතිව පැමිණිය යුතුයි. ඒත් එක්කම නවකයන්ට ජංගම දුරකථන භාවිතය, පිටත ඇති පුටුවල වාඩිවීම, පෙම්වතුන් එකට යාම ආදියත් තහනම් වෙයි. ඒ අනුමැතිය ලැබෙන්නේ සෝෂල් ලැබීමෙන් අනතුරුවයි. සාමාන්‍යයෙන් සෝෂල් ලැබෙන්න නවක සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණ මාස 7ක් පමණ ගත විය යුතුයි. එවිට ඔවුන්ට සම්පූර්ණ නිදස නැතිනම් විශ්වවිද්‍යාලය පුරා පියාසර කරන්න පියාපත් ලැබෙයි. එය පියාපත් මංගල්‍යය යනුවෙන් හඳුන්වයි. නවකයෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත්වී මාස හතරක් පමණ දේශනයන්ට පැයක පෙර විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුයි. නවකයින් දේශනයන්ට යාමට පෙර ජ්‍යෙෂ්ඨ සිසුන් හමුවී ඔවුන්ගේ උපදෙස්වලට කන්දිය යුතුයි. මීට අමතරව තව තව දේවල්ද සිදුවෙයි. මෙයය කැලණිය සාම්ප්‍රධායක ක්‍රමය. මෙය කැලණියේ උපසංස්කෘතියයි. මෙය නවක නම්‍යීකරණය හෙවත් නවක හඳුනාගැනීම වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් හඳුන්වන අතර නවක වදය ලෙස හඳුන්වන්නේත් මෙයයි.
2016 ආධුනිකයන්ට විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨයන් විසින් සලකනු ලැබුවේ එම සාම්ප්‍රධායික ක්‍රමයටයි. නමුත් එහිදි ගැටලු මතුවීමත් සමග විශ්වවිද්‍යාල පද්ධතිය අක්‍රිය විය. ප්‍රථමයෙන්ම සිදුවුයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ආධුනියන්ට දේශනවලට සහභාගී වීමට අවහිරකරන වන බව පවසමින් ජ්‍යෙෂ්ටයනගේ නවකනම්‍යීකරණ වැඩසටහනට බාධා කළ ආචාර්යවරයා සමග සිසුන් ආරවුලක් ඇති කරගැනීමයි. පසුව එය ආචාර්යවරුන්ට මරණීය තර්ජන එල්ල කිරීම දක්වා දුරදිගිය බව වාර්තාවිය. ඒත් සමඟ ආචාර්ය සංගමය වහාම නවක නම්‍යීකරණය නමින් හඳුන්වන නවකවදය වැඩසටහන නැවැත්වීමට කැලණිය විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමයට බලකරමින් දේශනවලින් ඉවත්වූහ. දින හතරකින් සිසුන් හා ආචාර්යවරුන් අතර ඇතිවූ එකඟතාවයකට අනුව නැවත දේශන ඇරඹූනි. නමුත් මහාශිෂ්‍යසංගමය එම එකඟතාවය කඩකරමින් නැවතත් නවකනමයීකරණ වැඩසටහනට යොමුවන බව ආචාර්ය සංගමයට දැන්වීය. එයට ප්‍රතිචාරය වශයෙන් ආචාර්ය සංගමය පැවසුවේ ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වන ලෙසයි.
නවක නම්‍යීකරණයන යනුවෙන් හඳුන්වන ලබන වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨයන්ගේ පීඩන මධ්‍ය දැඩි පීඩනයට ලක්වූ එක් සිසුවියක් තම අත තමා විසින්ම බ්ලේඩ් තලයකින් කපා ගත්තාය. නමුත් ඇය ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව නැගීසිටීමට තරම් ධෛර්යමත් නුවූවාය. ඒ අතරවාරයේම පසුගිය අප්‍රේල් 25 තවත් ශිෂ්‍යාවක් සම්බන්ධව ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තාවිය. පළමුවසර ශිෂ්‍යාවන්ට ඩෙනිම් ඇඳීම තහනම්ය. එහෙත් එම නියෝගය නොතකා ඩෙනිමක් පැළඳ පැමිණි ශිෂ්‍යාවකට ජ්‍යෙෂ්ට සිසුන්ගේ බලපෑම් එල්ල විය. කැලණිය විශ්වවිද්‍ය ශිෂ්‍යකටයුතු අධ්‍යක්ෂක පවසන්නේ අදාල සිසුවියට ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු පහර දුන් බවයි. පහරදුන් වහාම එම සිසුවිය ශිෂ්‍යකටයුතු අධ්‍යක්ෂකවරයාට දුරකථන ඇමතුමක් දී පැමිණිලි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල පරිපාලනය අදාල සිද්ධියට නීතීය අනුව පියවර ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමට එම සිසුවිය යොමුකර තිබේ. සිසුවියට ශාරීරිකව හිංසා කළ එම ජ්‍යෙෂ්ට සිසුන් දෙදෙනා හඳුනාගත් පොලිසිය ඔවුන්ගෙන් කට උත්තරද ලබා ගත්තේය. ඒත් සමඟම හිංසාවට ලක්වූ සිසුවියගේ ජංගම දුරකථනයට ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් හා පළමු වසර සිසුන් කිහිප දෙනෙක්ද ඇමතුම් හා කෙටි පණිවුඩ ලබා දී වහාම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බලකර ඇත. මේ සිද්ධිය සිදුවූ දිනට පසු දින එනම් අප්‍රේල් 26වන දා විශ්වවිද්‍යාලය හදිසියේම වසා දැමීමට සිදුවුයේ නේවාසිකාගාරයක් තුළ පැතිරගිය වයිරසයක් හේතුවෙනි. විශ්වවිද්‍යාලය වසාදැමීමෙන් පසු තම ගම්වලට ගොස් සිටි සිසුන් හත්දෙනෙකු කිරිබත්ගොඩ පොලිසියට ගෙනඑනු ලැබුවා. ඒ අතර හිංසාවට ලක්වූ සිසුවයට ඇමතුම් ලබා දුන් හා කෙටිපණිවුඩ යැවූ සිසුන් හා හිංසාවට ලක්කළ සිසුන් දෙදෙනාද අන්තර්ගතයි. ඔවුන් අතර අතකපාගත් සිසුවියත් සිටින බව කැලණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යකටයුතු අධ්‍යක්ෂකවරයා පවසයි. මහර උසාවියට ඉදිරිපත් කළ එම චූදිතයන් නවකවද පනත යටතේ වරදකරුවන් වී සතිදෙකක කාලයටකට සිරගත කෙරුනා.
ඒත් සමඟම තවත් සිසුන් දහතුන්දෙනෙකු විශ්විද්‍යාලය වසා තිබියදීත් අනවසරයෙන් නේවාසිකාගාරයේ රැඳී සිටීමේ චෝදනාව යටතේ උසාවි කැඳවා තිබුණා. නමුත් ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙරුනා. මේ සිදුවීම් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමයේ සභාපති මෙසේ පවසයි. අපි කරන්නේ උප සංස්කෘතිය පවරාදීමක් විතරයි. ඒක තමයි පරිපාලනය නවකවදය කියල කියන්නේ. අවුරුද දහයකට පහලවකට කලින්නම් නවකවදය තුබුණා. දැන් තියෙන්නේ නවක නමයීකරණය. අපි සිසුන්ට කියවන්න, සාකච්ඡා කරන්න, සංවාද කරන්න හුරු කරනවා. අනික සාමුහික ක්‍රියාකාරකම්වල ගැටුම් ඇතිවෙන්න පුලුවන්. ඒවා මඟ හැරගන්නත් කියාදෙනවා. ඇත්තට මේ සිදුවුණේ එක් හුදකලා සිදුවීමක් විතරයි. ඇත්තටම කලිසම ගැලැව්වා නම් ඒක වැරදියි. අපිත් නවක වදයට විරුද්ධයි. නවකවද පනතටත් විරුද්ධයි. පොලිසි අත්අඩංගුවට ගැනීමෙත් ප්‍රශ්නයක් තියෙනවා. පොලිසියට කටඋත්තර දීලා මැයි මාසේ උසාවි කැඳවලා තියෙද්දිත් එකපාරට ගෙවල්වලට කඩාපැනලා මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කළා. මේක පරිපාලනය සිසුන් මර්ධනය කරන්න කරන වැඩක්. ශිෂ්‍ය සුභසාධන දෙනවා වෙනුවට සිසුන් මර්ධනය කරනවා. ආචාර්යවරයෙක් අතිනුත් ශිෂ්‍යකුට ලිංගික අතවරයක් සිදුවෙලා තියෙනා. අපි ඒ ගැන පරිපාලනය දන්වලත් තියෙනවා. නමුත් ඒවා පොලිසියට ගෙනිච්චෙ නෑ. ඒත් එක්කම තමයි සිසුන් මර්ධනය කරන්න සිසුන්ට සංවිධානය වෙන්න ඉඩ තියන්න නැතුව විශ්වවිද්‍යාලය වහලා දැම්මා. මුලින් කිව්වා වතුර ප්‍රශ්නයක් කියලා. පස්සේ පත්තරයටක කියලා තිබ්බා පාලනය කරන්න අමාරු වෙලා විශ්වවිද්‍යාලය වැහුවා කියලා. ඒත් එක්කම තවත් සහෝදරුවන් 13කට බොරු චෝදනා නගලා නඩු දැම්මා. දැන් එයාලා නිදහස්.
කැලණිය විශ්වවිද්‍යාලය නවක වදය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුවූ අකලංක හෙට්ටිආරච්චි මෙවන් අදහසක් පළ කළේය. මුලින්ම කියන්න ඕනේ නවක වදය කියන කාරනයට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන එක. යම්තාක් දුරකට හෝ නවකවදයක් තියෙනවා නම් ඒ සදහා ගන්න ඕනෙ විනය ක්‍රියාමාර්ග ගන්න පරිපාලනය ක්‍රියාකරන්න ඕනෙ. එහෙම නැතුව ප්‍රශ්න පොලිසියට සහ මාධ්‍යයට ගෙනියනවා කියන්නේ තමන්ගේ පරිපාලනය දුර්වලයි කියලා වක්‍රව පිලිගන්න එක.
නවක වදය කියන ජනප්‍රිය මාතෘකාව සහ යම් යම් හුදකලා සිද්ධි දඩමීමා කරගෙන ඉතිහාසය පුරාම පරිපාලනය විසින් කරලා තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මතුකරන සැබෑ ප්‍රශ්න යට ගැසීමට සහ ශිෂ්‍ය ව්‍යපාරය දුර්වල කිරීමට ක්‍රියාකරන එක.මේකත් එවැනිම තවත් එක් ක්‍රියාමාර්ගයක් කියලා තේරෙන තැන් බොහොමයක් තියෙනවා.මේ කියන කතාවල සමහර තැන් හොඳටම අවුල් කියලා තේරෙන්නේ නීතිඥ නුවන් බොපගේ නඩුව ගැන කරපු ප්‍රකාශය සසඳනකොට. පොලිසියට පැමිනිල්ල දාලා තියෙන්නේ අසභ්‍ය වචනයෙන් බැන වැදුනා කියලා. මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා නෑ එහෙම නෙමෙයි පහරදීමක් වෙලා කියලා.
අනික මේ අත්අඩංගුවට ගත්ත ළමුන් අතර ප්‍රථම වසර සිසුන් ඉන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ආචාර්‍යවරු අසමත්.විෂය මාලා තෝරා ගැනීමේ ගැටලුවට අදාලව ප්‍රථම වසර සිසුන් ක්‍රියාකාරීව මැදිහත් වීම වලක්වලා ඔවුන් මර්දනය කරන්න එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් දඩයම් කරන්න පරිපාලනය සමත්වෙලා කියලා තේරෙන්නේ මෙතනින්.එහෙම නැතුව නවකවද පැමිනිල්ලට ප්‍රථම වසර සිසුවියක් සහ සිසුවෙක් අත් අඩංගුවට ගන්න කිසිම සාධාරණ හේතුවක් දක්වන්න මොවුන් අසමත්.
කොටියා මරනවා කියලා පෙන්න පෙන්න මුවෝ මරන්න තමයි ක්‍රියාකරලා තියෙන්නෙ.මේ ආචාර්යවරුන් පවසන නවක සිසුන් සඳහා නව නිර්මාණශීලී වැඩපිලිවෙලක් සකසන යෝජනාව ඉතාම සාධනීය එකක් ලෙස බාරගන්න පුලුවන්. එහෙත් ඒක ශිෂ්‍ය ව්‍යාපරය කුරුවල් නොකරන ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සමගාමී සහයොගයෙන් ගොඩනැගුනක් විය යුතුයි. මොකද විශ්වවිද්‍යාලය පාසලක් හෝ දහම් පාසලක් නොවන බව පරිපාලනය අවබෝධ කරගත යුතුයි. අදාල නව නිර්මාණශීලී වැඩපිලිවෙලහි සංයුතිය ශිෂ්‍ය ව්‍යාපාරය සහ පරිපාලනය සාකච්ඡා කර සකස්කල හැකි අතර එය මෙහෙයවීම පූර්ණ වශයෙන් ශිෂ්‍ය ව්‍යාපරය විසින් සිදුකල යුතුයි.
අවසාන කාරනාව තමයි මේ සියල්ලෝම ශිෂ්‍ය යෝ.තමන්ගේ පටු වාසි වලට පොලිසිය සමග ඒකාබද්ධව මේ සිසුන් සහ දෙමාපියන් කුනු රස හොයන මාධ්‍ය ඉස්සරහ නිරාවරනය කිරීමේ වගකීමෙන් මිදෙන්න ඊට දායක වූ පිරිසට මාධ්‍ය හමු සීයක් තිබ්බත් බෑ.
මේ සිද්ධිය සම්බන්ධ කැලණිය විශ්වවිද්‍යල ශිෂ්‍යකටයුතු අධ්‍යක්ෂ චාමින්ද මහතා මෙසේ පැවසීය. “ජ්‍යෙෂ්ට සිසුන් රැග් එක පටන්ගද්දි අපි විරුද්ධ වුණා. රැග් එකෙන් බොහෝ පිරිස් අපහසුවට ලක්වුණා. මාව බොහෝ පිරිස් දැනුවත් කළා කායික හා මානසිකව පීඩා විඳින බව. මං ඒ අයට කිව්වා මට ඉදිරිපත් වෙලා පැමිණිලි කරන්න කියලා. ඒත් එක්ක තමයි මට 25වැනි කෝල් එකක් අරං ළමයං කිව්වෙ සර් මට කරදර කරනවා මාව බේරගන්න කියලා. ඒත් එක්කම පරුෂ වචන වලින් බනිනවත් මට ඇහුණා. ඒ ළමයාට ජ්‍යෙෂ්ඨයෝ ගහලා තිබ්බා. උපකුලපතිතුමා එක්ක කතා කරලා මේ ගැන  පොලිසියට පැමිණිලි කරන්න අපි කටයුතු කළා. මේ තමයි ප්‍රථම වතාවට ළමයෙක් පැමිණිල්ලක් සඳහා ඉදිරිපත් වුණේ. ඒකට මාත් ගියා. මේ තමයි අපි විශ්වවිද්‍යාලය විදිහට මේ සම්බන්ධයෙන් කළේ. මේ පැමිණීල්ලෙන් පස්සේ ජ්‍යෙෂ්ටයෝ ඒ ශිෂ්‍යාවට දුරකථන ඇමතුම් දීලා බලපෑම් කළා. ඒ අනුව පොලිසිය ඒ අංක හඳුනාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 07ක් අත්අඩංගුවට ගත්තා.”
“ මම පිළිගන්නවා ඕනෑම කෙනෙකුට අදහස් කරන්න පුලුවන්. මෙතන නම්‍යීකරණ වැඩසටහන දඩමීමා කරගෙන දැඩි කායික හා මානසික පීඩා වලට ලක්කරනවා. අපිත් ඉතිහාසයේ රැග් කරලා තියනවා. ඒ කාලෙ සිංදුවක් කියලා විහලුවක් කලාට ශරීරයට අත තියලා නෑ. නමුත් දැන් ඒකාධිතිවාදි අධිපතාවාදි පැසිට් රැල්ලක් යනවා. අවනත කරගන්න බැරි අය මතවාදිමය නෙවෙයි කායිකව හිංසා කරලා නතුකරගන්නවා.ළමයි දේශපාලනය කළ යුතුයි. ඒ කියලා විද්‍යාර්තීන්ගේ නිදහස හා අයිතීන් උල්ලංඝනය කිරීම වැරදිය. පහරදීම් කරලා දේශපාලනයට බලහත්කාරයෙන් නතුකරගන්නවා. ඒ හින්දා ප්‍රථම වසර සිසුන්ට දරුවන්ට දේශනවලට යන්න බෑ. නිදහසේ කන්න විදිහක් නෑ. එසේ පීඩනයට ලක්වෙච්චි ළමයෙක් අතත් කපා ගත්තා. ”
“ශිෂ්‍යයෝ හැමදාම කියන සටන් පාඨ දෙක තමයි ශිෂ්‍ය සුභසාධනය හා ශිෂ්‍ය මර්ධනය. අපිට සිසුන් මර්ධනය කරලා මොකක්ද ලැබෙන්නේ. ඔවුන්ට ඒ අදහස් කියන්න අයිතිය තියනවා නමුත් අපි ඒවා පිළිගන්නේ නෑ. නිවාඩු දීමට සිදුවූයේ රැග් සම්බන්ධයෙන් නෙවෙයි. පැතිරෙච්ච වයිරසයක් හින්දා. ඒකට විසඳුම් විදිහට අපි සමහර පිතිසංස්කරණ කරන්න සිදුවුණා. ඒකයි නිවාඩු දෙන්න සිද්ධ වුණේ. ඇත්තට කැළණියේ තමයි ඉහළමු සුභසාධනය තියෙන්නේ. සුභසාධන ගැටලු තියෙන්න පුලුවන්. අපි ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. සුභසාධන ගැටලුයි රැග් එකයි අතර සම්බන්ධෙ මොකක්ද? රැග්කරලා සුභසාධන ගැටලු දිනාගන්න පුලුවන්ද? උපසංස්කෘතිය ගොඩනගන්නේ ප්‍රචණ්ඩත්වයෙන්ද? මොවුන් සමාජයෙන් මුවා වෙන්න මර්ධනය සුභසාධනයි ඉදිරියට දානවා. අධ්‍යපනයේ නිදහස ගැන කතා කරන මොවුන් තමයි අධ්‍යපන නිදහසට බාධා කරන්නේ. මේක ජාතික ව්‍යසනයක්. සිසුන්ගේ නිදහස උපසංස්කෘතීන් සම්ප්‍රධායන් ආරක්ෂා විය යුතුයි. නමුත් ඒක කරන්න ප්‍රචණඩත්වය භාවිත කරන්න එපා. කෙනෙක් මැරුණම කතා කරළා වැඩක් නෑ. අඩලා වැඩක් නෑ.”
මේ සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා මෙසෙ පවසයි. ඇත්තටම අපිත් අවංකවා නවකවද පනතට අනුව වැඩ කරලා නෑ. නමුත් අපි ගැන හැම ළමයෙක්ම පනතේ බරපතලකම දන්වලා තියෙනවා. අපි ළමයි එක්ක සුහඳව වැඩ කළා. නමුත් එයාලා අත්තනෝමතික විදිහට වැඩ කළා. අපි කිව්වා ශිෂ්‍යයන්ට ඔගොල්ල එක්ක සංවාද කරන්න බෑ අවසානයේ යම් ඛේදවාචයකින් ඉවර වෙන්න පුලුවන්. ඒකේ වගකීම අපි භාර ගන්නෙ නෑ. ඔයාලමයි බාරගන්න වෙන්නෙ කියලා. දැන් අපි ආචාර්ය සංගමය විදිහට ඒකමතික තීරණය ඉන්නවා පාලනාධිකාරිය විසින් මීට වඩා ගන්න වෙන විසඳුමක් තිබු‍ණෙ නෑ කියලා. ඇත්තට මේ නවක ප්‍රශ්න විසඳන්න ශිෂ්‍යන්ගේ පංති තහනම් කරලා හිරේ දාලා විසඳන්න බෑ. මුලින්ම ශිෂ්‍යෙයෝ ඉදිරිපත් වෙන්න ඕනේ මේක අමානුෂික දෙයක් කියලා අතැරලා දාන්න. දැන් ලොකෙ කොහෙවත් නවකවදයක් නෑ. නවකයන්අනුගතකරගන්න අලුත් දෙයක් හොයාගන්න ඕනේ. දැනටමත් අපෙ විශ්වවිද්‍යාලය සිසුන් ගණනාවක්ම අතහැරලා ගිහින්. දැන් මේකට දඩුවම් කරලා බෑ. මේකට සංවාදයක් ගොඩනගන්න ඕනෙ. මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන මැදිහත් වෙන්න ඕනෙ. විශ්වවිද්‍යාලයේ හැම කෙනෙක්ට ඉගෙන ගන්න නිදහස් පරිසරයක් තියෙන්න ඕනෙ. ඒවගේම ආචාර්යවරුන්ට නිදහසේ වැඩකරන්න පුලුවන් වෙන්නත් ඕනෙ. ඉස්සර නම් මේ වැඩවලදී දේශන වලට වැළැක්කුවේ. ඉස්සර ආචාර්ය වරයෙක් ළගින් ගියොත් මග හැරලා යනවා. ආචාර්යවරු මැදිහත් වුණොත් ගහන්නෙ බනින්නේ නෑ. නමුත් දැන් එහෙම නෙවෙයි. දේශනවලට යන්න දෙන්නෙ නෑ. ආචාර්යවරුන්ට බලපෑම් කරනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා නවකවදය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකදී මෙවන් මතයක් ඉදිරිපත් කළේය. ඇත්තටම විශ්වවිද්‍යාල ඇතුළේ උපසංස්කෘතියක් තිබුණා. එම ලස්සන සුවිශේෂ සංස්කෘතිය ගලාගෙන යාමට නවක සිසුන් හඳුනාගැනීමේ අවශ්‍යතාවය තිබුණා. මේ රටේ නිදහස් අධ්‍යාපනය, රාජ්‍ය අධ්‍යාපනය සුරක්ෂිතභාවය ආරක්ෂා වෙලා තිබෙන්නේ මෙම උපසංස්කෘතිය ඇතුළෙයි. ඒක අනිසි ලෙස භාවිත කිරීමක් ලෙස තමයි මම නවකවදය දකින්නේ. පැරණි සිසුන් සෑමවිටම  කියන්නේ මේ කියන උපසංස්කෘතියේ පැවැත්ම වෙනුවෙන්, නවක සිසුන් හඳුනාගැනීම කරන බවයි. මෙම කරුණ මත මේක පටන්අරගෙන හිංසනයක් දක්වා ඔවුන් යනවා. මම හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට හැමවිටම කිව්වේ විශ්වවිද්‍යාලවල සුවිශේෂී උපසංස්කෘතිය පැවැතිය යුතු බවයි. හැබැයි එම උපසංස්කෘතිය ඊළඟ පරම්පරාවට දෙන්න තියෙන අවිය නවකවදයද කියන එකයි ගැටලුව. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට මගේ මතය තමයි එහෙම අවශ්‍යතාවයක් නැහැ, එහෙම හඳුනාගැනීමට අවශ්‍යනම් ඔවුන්ට ඕනතරම් ක්‍රම තිබෙන බව.
ඔවුන්ට මේ රටේ තිබෙන සමාජ සද්කාර්යක්, සොඳුරු සද්කාර්යයක් කරන්න, දුප්පත් මනුස්සයෙකුට කෑම වේලක් දෙන්නන, දුප්පත් මනුස්සයෙකුට ගෙයක් හදලා දෙන්න, දුප්පත් පාසලකට ගිහින් අවශ්‍ය පාඩම් ටික කියලා දෙන්න, ඔවුන්ට අවශ්‍ය පොත් ටික දෙන්න මැදිහත් වෙන්න පුලුවන්. එවැනි ප්‍රශ්නයක් වෙනුවෙන් එකතුවෙලා, යහපත් කාරණයක් වෙනුවෙන් එකතුවෙලා නවක ශිෂ්‍යයා සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා අතර සුහදත්වය ගොඩනගන්න පුලුවන් නම් අපිට නවකවදයක් අවශ්‍ය නැහැ.
නවකයන්ට තියෙන ගැටලු හඳුනාගන්න අවශ්‍ය නම් ඔයිට වඩා ලස්සනට, සරලව මිනිස්සුන්ට ප්‍රියමනාප විදියට නවක ශිෂ්‍යයාට විශ්වවිද්‍යාලය තවත් ඇලුම්කරන තැනක් බවට පත්කරන්න අපිට ලෙහෙසි ක්‍රියාමාර්ග තිබෙනවා. ඔයිට වඩා සරල සහ ඔයිට වඩා නිර්මාණශීලී කාර්යයන්වලට අපිට යන්න පුලුවන් නවක ශිෂ්‍යයන් හඳුනාගැනීම සඳහා.
එබැවින් විශ්වවිද්‍යාල ශිෂ්‍යා තම මතයන් හෝ උපසංසකෘතිය නවකසිසුන්ට පැවරීමට කළයුත්තේ ප්‍රචණ්ඩත්වය හෝ නවකවදය නොව සංවාද හා මතවාදීමය ක්‍රියවන් තුළිනි. ශිෂ්‍ය දේශපාලනයක් තිබිය යුතු වුවත් එම දේශපාලනය මුවාවන් අනෙකුත් සිසුන්ගේ අයිතීන් හෝ නිදහස උල්ලංඝණය කිරීමට අයිතියක් නැත. නවකනම්‍යීකරණය දේශපාලන පක්ෂයන්වල වුවමණාවන් සපිරීමේ මාධ්‍යයක් කරගත නොයුතුයි. විශ්වවිද්‍යාලය සැමටම නිදහස් භූමියක් විය යුතු අතර සෑම ශිෂ්‍යයෙකුටම ස්වාධීනව හා නිදහසේ වැඩකිරීමේ පරිසරයක්ද ආචාර්යවරුන්ට බලපෑමකින් තොරව වැඩකිරීමේ පරිසරයක්ද නිර්මාණය කිරීමට දායකවිය යුතුයි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින්ද ශිෂ්‍ය සුභසාධන ගැටලු ඇතොත් ඒවා කඩිනමින් විසඳීමට මැදිහත් විය යුතු අතර ඒ වෙනුවට වෙනත් ප්‍රශ්න මතුකිරීම දේශපාලනික වුවමණාවක් වෙනුවෙන් කටයුතු කරනවාය යන විවේචනය එල්ල වීමට ඉඩ ඇත. අනෙක් අන්තයෙන් ආචාර්යවරුන් නවකවදය සම්බන්ධයෙන් මැදිහත්විය යුත්තේ මතවාදීමය මිස සිසුන්ට තර්ජනය කිරීම් බැනවැදීම් වලින් නොවන බවද අවධාරණය කළ යුතුයි. සැබැවින්ම විශ්වවිද්‍යාල පරිපාලනය හා ආචාර්යවරුන් මෙන්ම ශිෂ්‍ය සංගමයද නවක වදයට විරුද්ධය. ඒ විරුද්ධත්වය සැබෑ විරුද්ධත්වයක් බවට පත්වන්නේ අන්ත තුනක සිට වැඩ කරන මේ පාර්ශව තුන එක් මතයකට හා එකඟතාවයකට එළඹ නවකවදයට තිත තැබීමෙනි.



සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment