කම්කරුවන්ට කොකා පෙන්වන හාම්පුත්තු
1796 දී ශ්‍රී ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍ය ශ්‍රී
ලංකාවේ සම්පත් සියල්ල තම මව් රටට ඇදගත් පසු තවදුරටත් ලංකාව භාවිත කළේ
නිෂ්පාදනාගාරයක් ලෙසිනි. 19වන සියවසයේ බ්‍රිතාන්‍යයන් අපනයන ආර්ථික භෝගයක් ලෙස තේ,
කෝපි, රබර් කර්මාන්තයන් දියුණු කිරීමට පියවර ගත්තේය. නමුත් ඒ කර්මාන්තයේ වැටුපට
වැඩකිරීමේ සේවකයන් වශයෙන් වැඩ කිරීමට ලාංකිකකයන් අකැමැති වූ හෙයින් අර්ධ වහල්
සේවකයන් ලෙස ඉන්දීය දෙමළ ජනයා මෙරටට ගෙන්වා එම තේ හා රබර් කර්මාන්ත ආශ්‍රීතව
පදිංචි කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළහ. එතැන් සිට අද දක්වා වසර 200ක් පමණ
වතුකරයේ එම ජනයා ජීවත් වෙයි. අද වන විට ඔවුන් දිස්ත්‍රික්ක අටක 1,044,168 ජනගහනයක් ජීවත් වෙයි. ඒ අතර ප්‍රධාන වශයෙන්
එස්ටේට් 996 වතු ජනගහනයෙන් 123,654 ජීවත්
වෙයි. වතුකරයේ ජීවත් වන එම වතුකම්කරුවන් ගත කළ වසර 200තුළ අයිතීන් අහිමි, පීඩිත
ජනකොටසක් ලෙස ජීවත්ව ඇත. ඔවුන්ගේ පුරවැසිභව පිළිබඳවද විශාල ගැටලුවක් මතුවූ අතර
අදවන විට එය නීතීමය තළය තුළ විසඳී ඇතැත් ප්‍රායේගික ජීවිතයේ ඔවුන් වහලුන් ලෙස
සළකනු ලැබෙති. එහෙත් ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලැබෙන්නේ ඉතිහාසය පුරාවටම
ලැබී ඇත්තේත් එම වතුකම්කරුවන්ගෙනි. තේ කර්මාන්තය හා රබර් කර්මාන්තය මුලුමනින්ම රඳ
පවතින්නේ වතුකම්කරුවන් මතයි. දළ ජාතික නිෂ්පාදනයේ වැඩිම නිෂ්පාදනය එම තේ
කර්මාන්තයෙන් සිදුවෙයි.
ජාතික නිෂ්පාදනයේ විශාල කොටසකට සියවස් දෙකක්
මුලුල්ලේ තම ඍජු දායකත්වයක් සපයන වතු ආශ්‍රිත ජනයාගේ ජන ජීවිතය, ආර්ථික, සමාජීය හා
සංස්කෘතික ජීවිතය ඛේදනීය තත්වයකට වැටී ඇත. එක් පැත්තකින් ස්වභාවික ව්‍යසනයන්
(කොස්ලන්ද නාය යෑම වැනි), කොටින් දිවියන් වැනි වනසතුන්ගේ තර්ජනය ආදී ලෙස අනාරක්ෂිත
ජීවිතයක් ගත කරයි. අඩුපහසුකම් සහිත ලයින් කාමර, විදුලි පහසුකම් නොමැතිකම, පිරිසිදු
ජලය නැතිවීම, ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නැතිවීම තුළ පීඩිත ජීවිතයක වතු ජනයා
ජීවත් වෙයි. ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැති නිසා වැඩිම ලදරු මරණ හා මාතෘ මරණ
වාර්තා වන්නේත් වතු ආශ්‍රිතවයි. මන්ද පෝෂණයෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේත් වැඩිම
ළමා මරණයන් වාර්තා වන්නේත් වතු ජනතාව අතරයි. වතුකරයේ දරුවන් මූලික අධ්‍යාපනයට යොමු
වුවත් ද්විතීක අධ්‍යපනය ලබන්නේ අතලොස්සක් පමණි. තෘතීක අධ්‍යාපනය ලබන්නන් නැති
තරම්ය. පාසල් අධ්‍යාපනය මගදී නතර කර විවාහවීම හෝ කුලී වැඩි කිරීමේ අවාසනාවන්ත ජීවන
රටවකටව වතු ජනයා හුරුවී සිටිති. දැන් දැන් තරුණයෝ වතු අතහර නගරයට පැමිණ නාට්ටාමි
වැඩට හෝ ඇඟලුම්හල්වල සේවයට යොමුවී සිටිති. ගතවූ වසර 200ක් තුළ වතුකරයේ ජනයා ජීවත්
වූයේ මෙවැනිම ඉරණමක් තුළයි. ඇතැම් විට මීටත් වඩා අන්ත තත්වයකයි. මේවාට වතුකරය ආශ්‍රීත
දේශපාලඥයන් හා වෘතීය සමීති වගකිව යුතු බව විවේචනයන් ද ඉදිරිපත් වෙයි. වතු ජනයා
පවසන්නේ දේශපාලඥයෝ මැතිවරණ සමය තුළ පොරොන්දු පත්‍රිකා අතැතිව පැමිණ ඡන්ද කොල්ලයක
නිරත වූ බවයි. ඉන්පසු ඔවුන්ට රැවටිල්ල පමණක් ඉතුරුවූ බවයි.
ඒ කෙසේ වෙතත් වතුජනයාගේ ජීවන රටාව හා ඉරණම තීරණය
කළ ප්‍රධානම සාධකය ඔවුන් ලබන වැටුපයි. වතු ආශ්‍රිතව එක් අයෙක් ජීවත් වීමට
අනිවාර්යෙන් එක් අයෙකු ඉපැයිය යුතුයි. දෙදෙනෙකු ජීවත් වීමට දෙදෙනෙකු ඉපැයීය
යුතුයි. එබැවින් සැමිය සහ බිරිඳ යන දෙදෙනාම වතුවැඩට යායුතුයි. එසේ ගියත් ඔවුන් ලබන
පඩියෙන් බඩ පිරෙන්න වේල් තුනක් කෑමට හෝ අවශ්‍ය ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීමට හෝ
ලෙඩක් දුකකදි අවශ්‍ය ප්‍රතිකාර සඳහා වියදම් කිරීමට හෝ නොසෑහේ. ඔවුන් උදෑසනින්ම තේ
කූඩයත්, මට්ටම් කෝටුවත්, ඉනෙහි බඳින පොහොර උරයත රැගෙන වතු වැඩට පිටව යති. සැතපුම්
ගණනාවක් පසුකර ගොස් උදය සිට දහවල ආහාරය දක්වාම අව්ව වැස්ස නොබලා කූඩැල්ලන් ඉවත් කර
කර වැඩ කරති. ඒ වැඩ කරන අතරතුර විවේකයක් ගැනීම තියා හිස ඔසවා අහක බැලුවත්
කංකානිගෙන් බැනුම් අහන්න සිදුවෙයි. එලෙස ඔවුන් දවසම වැඩකර උපයාගන්නේ සොච්චම්
මුදලකි. ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙයි.
මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට අනුව රැකියාවක් කිරීමට හා එකී රැකියාවට
සාධාරණ වැටුපක් ලැබීමට සැමට අයිතියක් ඇත. ඔවුනට දවසටම ලැබෙන් 400-650ත් අතර
වැටුපක් පමණි. රැපියල් 650ක් ලැබීමට නම් මසකට දින 27ක්ම වැඩ කළ යුතුයි. දින 27ට
අඩුවෙයි නම් දිනකට එම වැටුප 450 හෝ 500ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ මාසික ආදායම
6500-10000ට සීමා වෙයි. වතුකම්කරුවා යනු ස්තීර මාසික වැටුපක් නැති දෛනික වැටුප්වලට
සීමා වූ නිවාඩු ලබාගැනීමේ අයිතියක්ද නැති පිරිසකි. වත්තේම ඉපිද, වත්තේම වැඩකර,
වත්තේම පස් කඳු යට මියයති.
වතු හිමිකාරීත්වය කුඩා තේවතු හිමියන් හා
මහාපරිමාණ තේ වතුහිමියන් ලෙස කොටස් දෙකකි. වතුකරයේ ප්‍රධාන වශයේන සමාගම් 22කට තේ
වතු අයිතිය වෙයි. එම සමාගම් විසින් වතුවැඩවල නිරතවන වතුකම්කරුවන්ගේ වැටුප් තීරණය
කරයි. එම මහා පරිමාණ වතු හිමි
හාම්පුතුන්ගේ සංගමයක් ද ඇත. එම හාම්පුතුන් හා වතුකම්කරුවන් අතර 1992දී ඇති කර ගනු
ලැබූ ගිවිසුමට අනුව සෑම වසර දෙකකට වරක්ම වතු සේවක වැටුප් සම්බන්ධයෙන් සම්මුතියකට
පැමිණ වැටුප් වැඩි කළ යුතුයි. එම ගිවිසුම ප්‍රකාරව අවසන් වරට 2013 මාර්තු මස
වතුකම්කරුවන් හා හාම්පුතුන් අතර එකඟතාවක් සිදුවිය. ඉන් පසු නැවත එම එකඟතාවය 2015
මාර්තු මස සිදුකිරීමට නියමිතව තිබුණි. එහෙත් අද වන විට වසරක් හා මාසයක් ගත වී
තිබුණත් වතුකම්කරුවන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් හාම්පුතුන් එවැනි එකඟතා වටයටක
පැමිණීම මඟහැර ඇත.
ජන හා සංඛ්‍යාලේඛන දොපාර්තුමේන්තුවේ වාර්තාව අනුව
වතුජන පවුලක මාසික වියදම රු.29779කි. ඒ අනුව දිනකට වතුකම්කරුවෙකුගේ වැටුප 1192ක්
විය යුතුයි. නමුත් වතුකම්කරුවන් හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින්නේ රු.1000ක වැටුපක්
පමණි. එයද ඔවුන් මඟහරිමින් සිටිති. ඒ හේතුවෙන් බොහෝ සේවකයන් සේවයෙන් ඉවත්ව ඇති
නිසා මේ වන විට ශ්‍රම හිඟයක් ද නිර්මාණය වී ඇත.
2015 අයවැයෙන් වතුකම්කරුවන් ඇතුලු පෞද්ගලික අංශය
2500ක වැටුප් වැඩීවීමක් හිමිවන බව සදහන් වුවත් තවමත් කිසිඳු වැටුප් වැඩිවීමක්
වතුකම්කරුවන්ට ලැබී නැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තලවාකැලේ පැවැති
ජනහමුවේදී වතුකම්කරුවන්ට රු.1000ක වැටුපක් ලබා දෙන පොරොන්දු වුවත් අගමැතිගේ එම
පොරොන්දුවත් පොරොන්දුවක් ලෙස පමණක් වතුකම්කරුවන්ගේ මනසේ රැඳී ඇත. එමෙන්ම වතුකර
ජනයා වත්මන් ජනපති කෙරේ තැබූ විශ්වාසයද බොඳ වුයේ ජනපතිතුමා පොරොන්දුවූ පරිදි
වැටුප් වැඩීවීක් ලබා දීමට තවමත් මැදිහත් නොවූ නිසාය. දේශපාලනික විසඳුම එවන් තත්වයක
පවතිද්දී තම ව්‍යාපාරයේ කොඳුනාරටිය බඳුවූ කම්කරුවා මඟ හැරීමට හාම්පුතුන්ද කටයුතු
කර තිබේ.
වතුකම්කරුවන්ගේ මේ වැටුප් වැඩිකිරීම මඟ හැරීම
සම්බන්ධයෙන් කම්කරු ඇමැති ජෝන් අමරතුංග මහතා හාම්පුතුන්ගේ සංගමය සමඟ 2015 වසර සිට
අවස්ථා ගණනාවකදි සාකච්ඡා කර ඇතත් තවමත් වතුකම්කරුවන්ට විසඳුමක් ලැබී නැත. පසුගිය
අප්‍රේල් 28වනදාත් කම්කරු ඇමති මාධ්‍ය හමුවක් කැඳවා වතුකම්කරුවන්ට 2015 මැයි 01දා
සිට දෛනිකව රුපියල් 60බැඟින් හා 2016 ජනවාරි 01දා සිට තවත් රුපියල් 40 බැඟින්
දෛනික වැටුපට එක්කිරීම වතුහාම්පුතුන් කටයුතු කළ යුතුව තිබියදීත් එය මඟහැර ඇති
බවත්, වහාම හාම්පුතුන් සියලු වතු සේවකයන් රුපියල් 2500ක වැටුප් වැඩිවීම
අනිවාර්යයෙන් ලබා දිය යුතු බවත් අවධාරණය කළේය. නමුත් එය හාම්පුතුන් නොසලකා හැරීම
හේතුවෙන් නැවතත් පසුගිය හත්වන දා හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඇමතිතුම පවසා සිටියේ
වහාම ක්‍රියාත්මක වන පරිදි හාම්පුතුන් වතුකම්කරුවන්ට පඩිවැඩිවීමක් කළ යුතු බවයි.
මෙරට කම්කරු නීති අර්ථසාධක පිළිබඳ නීති තිබුණත් ඒව හාම්පුතුන් ක්‍රියාත්මක නොකරයි.
එයද හාම්පුතුන් මගහරින්නේ ප්‍රමාණවත් ලාභයක් නොලැබෙන බව පවසමිනි.
1978 අංක 18 දරණ කම්කරුවන්ගේ අයවැය සහන පනත හා
2005 අංක 36 දරණ සේවකයන්ගේ අයවැය සහන පනත යනුවෙන් කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම
පිළිබඳව පනත් තිබුණත් ඉන් වතුකම්කරුවන්ට ලැබුණු සහනයක්ද නැත.එම හේතූන් නිසා මුලු
දිවයිනේම දරිද්‍රතාවය 15.2ක් සටහන් වෙද්දී වතුජනයාගේ දරිද්‍රතාවය 32ක් වශයෙන්
දෙගුණයක් වාර්තා වෙයි. ඔවුන්ගෙන් 49%කට දෛනිකව අවශ්‍ය කැලරි අවශ්‍යතාව සම්පූර්ණ
නොවෙයි. මෙරට ඉපදී දින 28ක් ඇතුළත මියයන ළදරුවන්ගේ ප්‍රමාණය 13.9ක් වෙද්දී වතුකරය
එම ගණන 31කි. අවරුදු 5කට අඩු ළමුන්ගේ මරණ
අනුපාතය 51%කි. මෙලෙස ඉතාමත් දුක්ඛිත ජීවන තත්වයකට වතුකරයේ ජනයා තල්ලු වූයේ
ඔවුන්ගේ ශ්‍රමයට සාධාරණ වැටුපක් නොලැබීම හේතුවෙනි. මේ අයුරුන් හාම්පුතුන් විසින්
නොසලකා හරිනු ලබන ලක්ෂ තුනක වතුකම්කරුවන්ගේ හා ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ දොළහක ජනතාවගේ
මේ ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුය. එදා සිට අද දක්වා
වතුකම්කරුවන් වැටුප් වැඩි කරගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමේ නම් අඩුවක් නැත. එම උද්ඝෂණ
වතුකරයේ දේශපාලඥයන්ගේ ප්‍රබල දේශපාලන අවියක් වී ඇත. අනෙක් අන්තයෙන් පැවැති සෑම
ආණ්ඩුවක්ම එම උද්ඝෝෂණයන් මඟ හැරියා මිසක ඒවාට විසඳුම් ලබා දීමට ක්‍රියා කළේ නැත.
දැන්වත් රජය වතුකරයේ ජනතාවට සාධාරණත්වයක් ඉටුකළ යුතුයි. පසුගිය දිනවල පැනවූ බදු
වැඩිකිරීම් ආදිය නිසා වතුකරයේ ජනයා තව තවත් පීඩාවට පත්ව ඇති නිසා වහාම ඔවුන්ගේ
වැටුප් වැඩි නොකළොත් ඔවුන් වෘතීමය ක්‍රියා මාර්ග ගනු ඇති. වතුකරයේ ජනයාගේ සීමිත
දැනුම් මට්ටම නිසා වෘතීය ක්‍රියා මාර්ග වලට වඩා ඇඟට ගිනි තබාගෙන ඔවුන්ගේ විරෝධය
පෑමට ඉඩ ඇත. නමුත් ඔවුන් එලෙස විරෝධය පෑ පසු ක්‍රියාත්මක වීමේ ඇති ඵලයක් නැත.
එබැවින් වහාම හාම්පුතුන් ලවා ශ්‍රමයට සාධරණ වැටුපක් ලබාදීමට හෝ නැතිනම් වෙනත් ක්‍රිමයකින්
වතුජනයාට සහනාධාර ලබාදීමට රජය මැදිහත් විය යුතුයි.
No comments:
Post a Comment