Friday, July 22, 2016

වන්දි ගෙවන්නේ මෙහෙමයි.

වන්දි ගෙවන්නේ මෙහෙමයි.

මැයි මාසයේ ඇතිවූ දරුණු ස්වභාවික උවදුරෙන් කම්පාවට පත්වූ සිත්සතන් තවමත් දෙගිඩියාවක පසුවෙයි. අහිමිවූ ජීවිත සඳහටම වෙන්ව ගියේ රටම හඬවමිනි. උන්හිටිතැන් අහිමිවූ පිරිසක් තාමත් කඳවුර වල සිටින්නේ සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකිවයි. සැඩ සුලඟ, ධාරානිපාත වරුෂාව, හදිසි නායයෑම හා මහා ගංවතුර රටටම විශාල විපත්තියක් සිදුකර නිහඬ විය. ජීවිත හානි සියයක් පමණ බිලිගනිද්දීඋවදුරෙන් විනාශවූ අනෙකුත් දේපලවල වටිනාකම කෝටි දෙසීයක්ලෙස උපකල්පනය කරයි.ගංවතුර හා නායයාම ජීවිත හා දේපල හානි සිදුවූ මේ සාමාන්‍ය මිනිසාට ජීවිතය පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක් තබන්නට හේතුවක් නැත. ජීවිත කාලය පුරා ඉපයූ සියලු වස්තූන් හා ආදායම් ලබාගන්න තිබූ එකම ජීවනෝපායත් අහිමිවීම ඉදිරියේ ජීවත්වීම අසීරුය. නමුත් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ජාතික රක්ෂණ බාර අරමුදල පමණි.
ආපදා සමයේ නිවාස 400ක් මුලුමනින්ම හා නිවාස 4000ක් හා අඩක් විනාශ වී ඇත. ඒ හැරුනවිට ගංවතුර ගැලූ සෑම ප්‍රදේශයකම නිවැස්වල භාවිත කළ රූපවාහිනිය, ශීතකරණය, රෙදි සෝදනය ඇතුලු අනෙකුත් විදුලි උපකරණ, සෝෆා, ඇඳවල් ඇතුලු අනෙකුත් ගෘහ භාණ්ඩ හා යාන වාහන සියල්ල වතුරට හසුවිය. බොහෝ විදුලි උපකරණ හා ගෘහභාණ්ඩ නැවත භාවිත කළ හැකි තත්වයක නැත. ගෙවල්වල ඇතිකළ සුරතල් සතුන් හා ගොවිපල සතුන් ඇතුලු සතා සිව්පාවන් ගංවතුර හා නායයාම හමුවේ බේරාගැනීමට අවස්ථාවක් ලැබී නැත. පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා භාවිත කළ ලිං, කුණුවළවල් සහ වැසිකිලිවළවල්වල කුණු සහ මඩ පිරී ඇත. වතුරට හසුවූ කුඩා වැළඳ සැල් ඇතුලු අනෙකුත් ව්‍යාපාරික ස්ථාන හා වැඩපළවල්වල තිබූ භාණ්ඩ හා උපකරණ යන්ත්‍රාදිය සහමුලින්ම විනාශ විය. මේ සියල්ල ආපදාවට මුහුණු දුන් අයගේ එකම ආදායම් මාර්ගයද විය හැකිය. මේ අහිමිවීම් සියල්ල ආපදා සමයේ බෙදූ කෑම පැකැට්ටුවෙන් හෝ සුලු ආධාරවලින් පියවිය නොහැකිය. රක්ෂණ ආවරණය ඇත්නම් ඒ සඳහා රක්ෂණ ආයතනය විසින් වන්දි ගෙවනු අතර සාමාන්‍ය මිනිසුන් හා සුලු ව්‍යාපාරිකයන්ට රක්ෂණයක් නැත. මෙලෙස රක්ෂණ අහිමි විපතට පත් සාමාන්‍ය මිනිසා නැවත නගාසිටුවීම සඳහා ජාතික රක්ෂණ බාර අරමුදලින් අවශ්‍ය මූල්‍යම ආධාර සිදුකරයි.ජාතික රක්ෂණ බාර අරමුදලින් මූල්‍ය ආධාරය සිදුකරන ප්‍රායෝගික ක්‍රියාපටිපාටිය එහි සභාපති මංජුල ද සිල්වා මහතා මෙසේ විග්‍රහ කළේය.
අපි ජාතික රක්ෂණ බාර අරමුදල හැටියට හදිසි ආපදා තත්වයකදී රජයේ වගකීම ආවරණය කරනවා. ඒකේ කොටස් තුනයි. පළමු පියවර තමයි සහන සේවා සැපයීම. ඒ සඳහා මේ රක්ෂණ ආවරණයෙන් කෝටි 14ක් ආපදා කළමණාමරණය පිරිනැමුවා. දෙවන පියවර ලෙස ආපදාවෙන් සම්පූර්ණයෙන් හානි වූ නිවාසා නැවත හදා දීම හා අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කරනවා. සුද්ධ පවිත්‍ර කිරීම නැවත තින්ත ආලේපය වැනි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරනවා. තාප්ප බිත්ති වගේ දේවල් සම්පූර්ණයෙන්ම හානි වෙලා නම් ඒවත් නිවසේ කොටසක් ලෙස සළකලා අපි කටයුතු කරනවා. නිවසක් සම්පූර්ණයෙන් හානි වෙලා නම් ලක්ෂ 25ක උපරිමයකට යටත්ව අලාභයඅ අපි ගෙවනවා. අර්ධවශයෙන් හානි සිදුවෙලා නම් තක්සේරුවක් කරළා අලාභය ගෙවනවා.මේකට කුඩා ව්‍යාපාරිකයිනුත් ඇතුළත් වෙනවා. වැට් බදු ප්‍රමාණයට අඩු වාර්ෂික ආදායමක් ලබන කුඩා ව්‍යාපාරිකයන්ටත් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයට සිදුවූ හානිය අපි ගෙවනවා. කඩ සාප්පු, ටේලර් ෂොප් එකක්, බේකරියක්, වගේ පොඩි ව්‍යපාරික ස්ථාත්න මීට ඇතුළත් වෙනවා. ගෙවල්වල විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ වගේ හැම දෙයකටම අපිට ගෙවන්න අපහසුතාවයක් තියෙනවා. ඇත්තටම මේ රක්ෂණය තියෙන්නේ නිවාස ප්‍රතිසංස්කරණය හා නිවාස ඉඳිකිරීමටයි. නමුත් මේ පාර මිනිස්සුන්ගේ බඩුවලට ලොකු හානියක් සිදුවුණ හින්දානි තක්සේරුවක් සිදු කරළා අපි රුපියල් විසිපන්දහක උපරිමයකට යටත්ව අලාභයක් ගෙවන්න කටයුතු කරනවා. ඒක චක්‍රලේකයෙත් තියෙනවා. අපි ප්‍රමුඛතාවය දෙන්නේ විනාශ වූ ගෙවල් හදා දීමට. ගෙවල්වල ඇතිකළ සතාසිව්පාවුන් සම්බන්ධව දැනට කටයුතු කරන්න පුලුවන් කමක් අපිට නෑ. නමුත් අපි ඉදිරියේදී ඒ ගැනත් අවධානය යොමු කරනවා. නාය යාමට හසුවූ ගෙවල් හදන්නත් අපි රජයට අදාල මුදල් ලබා දෙනවා.
තවදුරටත් අදහස් දැක්වූ ජාතික රක්ෂණ බාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා මෙසේද පැවසීය. අපේ මේ වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම සම්බන්ධීකාරණ කටයුතු සිදුකරන්නේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය.ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් චක්‍රලේකයක් නිකුත් කර තියෙනවා ග්‍රාම සේවක හරහා අලාභ හානි තොරතුරු ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිළධාරිවරු ඒවා පිළිබඳ මූල්‍යම තක්සේරුවක් සිදුකරනවා. ඊට පසුව ඒ තක්සේරුව දිස්ත්‍රික් ලේකම් වෙත යොමුකරනවා. එතැනින් ආපදා කළමණාකරන අමාත්‍යංශය අවසාන වාර්තාව ලැබෙනවා. අපිත් ඒ වාර්තාව ගැන සොයා බැලීමක් කරලා රක්ෂණයෙන් තක්සේරු කරන ඒඅලාභය පමණක් ගෙවනවා.අපි තිබුණට වඩා ලොකු ගෙයක් හදා දෙයි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදිය. රක්ෂණයක් විදිහට අපිට එහෙම කරන්න පුලුවන්කමක් නෑ. ඒ තොරතුරු එකතුකිරීම දැන් සිදුවෙමින් පවතිනවා.අපිට තක්සේරුව ලැබුණ වහාම අපි මුදල් නිකුත් කරන්න සූදානම්. අපේ මුදල් පැත්තෙන් කිසිම ප්‍රමාදයක් නෑ. අපි දැන් වුණත් මුදල් නිකුත් කරන්න ලෑස්තියි අපිට අවසන් වාර්තාව ලැබෙනවා නම්. නමුත් තොරතුර රැස්කිරීමේ ක්‍රියාවලියට ගතවන කාලය අපිට කියන්න ටිකක් අමාරුයි. අපි සම්පූර්ණ වාර්තාව අවශ්‍යම නැහැ. අපිට කොටස් වශයෙන් වාර්තාව ලැබෙනවා නම් අපිට මුදල් නිකුත් කරන්න පුලුවන්. අපේ පරමාර්තාය අඩු ආදායම් අයට පිහිට වීම. අපි මධ්‍යම පාංතිකයන්ගෙන් ඉල්ලා හිටින්නේ ඉදිරියේදීවත් රක්ෂණය වෙන්න කියලයි. එතකොට ආපදාවන්වලදී සම්පූර්ණ අලාභය රක්ෂණ ආයතනය විසින් සිදුකරයි.
ප්‍රථම වරට මෙවර අයවැයෙන් ස්වභාවික විපතට මුහුණපාන්නන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුණි. ඒ අනුව ජාතික ස්වභාවික ආපදා සහ හදිසි සහන රක්ෂණය පසුගිය අප්‍රේල් සිට ක්‍රියාත්මකයි. එය ක්‍රියාත්මක වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්තික කරටයුතු අමාත්‍යංශය යටතේ ඇති රක්ෂණ භාර අරමුදල හරහාය. මෙම රක්ෂණය ජාත්‍යන්තර රක්ෂණ සමාගම් මගින් ප්‍රතිරක්ෂණයක් ලබා ඇත. මේ රක්ෂණ ආවරණය සඳහා කෝටි තිහක වාරිකයක් ගෙවිය යුතුයි. එමෙන්ම එයින් අපට වාර්ෂිකව ලැබිය හැකි උපරිම රක්ෂණ ආවරණය කොටි දහසකි. මෙම රක්ෂණ ක්‍රමය හරහා සුළි සුළං, ගංවතුර, නාය යෑම්, භූමිකම්පා ලැව්ගිනි ආදි ඕනෑම ස්වභාවික විපතකදී සිදුවන ජීවිත හානියක් සඳහා රුපියල් ලක්ෂයක්ද දේපල හානි සඳහා උපරිම වන්දිය විසිපන් ලක්ෂයක්ද පිරිනමයි. ස්වභාවික විපතකදී අතරුදන් වූවත් සඳහා මාස හයක් ගතවූ පසු රුපියල් ලක්ෂයක වන්දියක් යැපෙන්නන් වෙත පිරිනමයි. මෙම රක්ෂණ භාර අරමදලින් ධීවර කර්මාන්තය යෙදී සිටින ධීවරයින් සඳහා විශේෂ ආවරණය ක්‍රමයක් ද ක්‍රියාත්මකයි.මෙම රක්ෂණයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රක්ෂණාවරණයක් හිමි වන අතර රක්ෂණ වාරික මුදල් අමාත්‍යංශය විසින් ගෙවනු ලැබේ. සාමාන්‍ය ජනතාවට මෙන්ම රුපියල් මිලියන 10කට අඩු වාර්ෂික පිරිවැටුමටක් ඇති ව්‍යාපාර වෙනුවෙන් ද මේ යටතේ රක්ෂණය හිමි වෙයි.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment