Friday, July 22, 2016

ගංවතුරෙන් වැලපෙන ජීවිත.

ගංවතුරෙන් වැලපෙන ජීවිත.


මැයි මස මැද ඇතිවූ කාලගුණික වෙනස්වීම් සමග රට පුරා ස්ථාන රැසක ගංවතුර තත්වයක් අතිවිය. එම ගංවතුර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් උන්හිටිතැන් අහිමිවී අවතැන්වූහ. ගංවතුරට හසුවූ ගම්මාන බරපතල ලෙස විනාශයට පත්විය. නිවාස, ගොඩනැගිලි, ව්‍යාපාරික ස්තාන, යානවාහන අඩි කිහිපයක් ජලයෙන් යටවිය. දින කිහිපයකට පසු කෙමෙන් කෙමෙන් වතුර බැසගිය අතර ගංවතුර තත්වය සතියක් පුරා පැවැතුනි. ඒ කාලවකවානු තුළ මුලු රටේම අවධානය ගංවතුර ගැලූ පෙදෙස්වලට යොමු විය. ජනතාව ඔවුන්ගේ දුක බෙදාගත්හ. ඔවුන්ට ආධාර උපකාර කළහ. ගංවතුරෙන් පසුවත් හමුදාව, සිවිල් සංවිධාන එක්වී විපතට පත්වූ පෙදෙස් පිරිසිදු කිරීමේ කාර්යයන්වල නිරත විය. අනපේක්ෂිතව සිදුව මෙම විපත හේතුවෙන් ජනතාවට අතිවිශාලා පාඩුවක් විඳින්නට සිදුවිය. ගෙවල්වල තිබූ බඩුභාණ්ඩ සියල්ල විනාශවිය. ඇතැම් ගෙවල් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ විය. එම පාඩුවට ජාතික රක්ෂණ භාර අරමුදලින් වන්දියක් ගෙවන බව රජය පොරොන්දු විය. අදවන විට ගංවතුර තත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇත. එනම් ගංවතුර අවසන්වී මාසයක් ගතවූවා පමණි. එබැවින් ගංවතුරෙන් පසු සාමාන්‍ය ජනජීවිතයට සිදුව ඇත්තේ කුමක්දැයි විපතට මුහුණපෑ ස්තාන කිහිපයක් නිරීක්ෂණය කිරීමට සංචාරයක නිරතවීමු.
ගංවතුරට හසුවූ කඩුවෙල නගරයට පිවිසි අපට වෙනදාට වඩා වැඩි වෙනසක් නොතිබුණි. සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙයි. ගංවතුරට හසුවූ වගක් පෙනෙන්න බිත්තිවල තිබූ මඩතීරුව හැරුනුවිට වෙන කිසිදු ලක්ෂණයක් දිස්නොවීය. තැනින් තැන කඩයක් දෙකක් වසා දමා තිබුණි. ඒවා වසා දමා ඇත්තේ ගංවතුරෙන් හානිවූ වෙළඳ භාණ්ඩ ඉවත් කර අලුත් භාණ්ඩ තවමත් දමා නැති නිසා විය හැකිය. ඒ හැරුනු විට දින පහක් පමණ යටව තිබූ කඩුවෙල පිරවුම් හල පවා වෙනදා මෙන් ව්‍යාපාරික කටයුත්තේ යෙදෙයි. කඩුවෙල නගරය පසුකර යද්දී පාර දෙපස තැනින් තැන පහත්බිම්වල තවමත් වතුර රැඳී තිබුණි. ඒවායේ කුණු රොඩුද පිරී තිබුණි. තණ කොල කහ පැහැ ගැන්වී ඇත.
නගරය පසුකර සැතපුමක් පමණ ඉදිරියට ගිය අපට විවිධ යන්ත්‍ර, උපකරණ, මේස පුටු මිදුලේ ගොඩ ගැසූ ව්‍යාපාරික ස්ථානයක් දක්නට ලැබුණි. එය දැන්වීම්  සැකසුම් ආයතනයකි(ඇඩ්වර්ටයිසින් ෆර්ම්). එහි යන විට දෙදෙනෙකු බර කතාවක යෙදී සිටියහ. වචනයක් දෙකකින් කන වැකුනු විට එම කතාව වන්දි මුදල් ගැන බව අපට වැටහුණි. මෙම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු චින්තක ජයලාල් කොස්තා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. මේ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකක්. අපි ඩිජිටල් ප්‍රින්ටිං කරන්නේ. අපේ සේරම බඩු විනාශවුණා. දැන් ඔක්කම කෑලි ගලවල දාලා තියෙන්නෙ. මේ ස්කෑනර් එක, ඩිජිටල් ප්‍රින්ටර් එක, ප්ලොටර්, ගයින්ඩර්, බ්‍රින්ඩ් මැෂින්, ස්ටිකර් කපන මැෂින්, කව්න්ටර් තිබුණ පාටිෂන් සේරම...  විදුරුත් කැඩිලා. මැෂින් එකේ ඉඳලම සේරම විසි කෙරුවා. හිතපු නැති විදිහට යටවුණා. මේවා හදන්න නම් බෑ. හදන්න අපිගාව සල්ලිත් නෑ. ඒවායෙ මඩ පිරිලා. කොහෙත්ම හදන්න වෙන් නෑ. වන්දි ගෙවන්නම් කියල නං ලියාගෙන ගියා. ඉතිං තාම එහෙම දෙයක් නම් නෑ. යටවෙච්ච වෙලාවෙ මිනිස්සු උදව් කළ ටික විතරයි. අදටත් අපි කන්නේ ඒවා තමයි. දැන් ඉතිං අපි ඉන්නෙ නම් බොහොම අමාරු තත්වෙක.
තවත් මද දුරක් ගමන් කළ අපට තම වැඩපල ඉදිරියට වී පාරිභෝගිකයෙක් පැමිණෙන තුරු බලා සිටින වාහන සයිලාන්සර් රිපයාර්කරුවෙකු දුටුවෙමු. ඔහු දෙසට ගිය අපට මෙවන් අදහසක් දැක්වීය. තාම ආණ්ඩුවෙන් ඇවිල්ල අපිට ආධාරයක් උපකාරයක් කළේ නෑ. ගොඩක් මිනිස්සු අවතැන්වුණා. එයාලව බැලුවෙවත් නෑ. මගෙ මැෂින්, බඩු එහෙම යටවුණා. ඒවා අයින්කරනවා තාම. පුලුවං ඒවා සුද්ද කරලා ගන්නවා.දවස් විස්සක් විතර අපි වහල තිබ්බෙ.අනික දැන් බිස්නසුත් නෑ. ගොඩාක්ම අඩුයි. ඇත්තෙම නැති තරම්. වෙනදාට තියෙන බිස්නස් දැන් නෑ. තව ටික කාලයක් යයි සාමාන්‍ය තත්වෙට එන්න. (වික්ටර් මහතා)
එතැනින් පිටත්වූ අපට කුඩා පළතුරු කඩයක් හමුවිය. එහි අයිතිකාරිය පළතුරු පිළිවෙලට අඩුක්කු කරමින් සිටියාය. අක්කෙ ගංවතුරෙන් පස්සෙ දැන් ඔයාලගේ වැඩ කටයුතු කොහොමද කියමින් කතාවට බැස්සෙමු. දවස් විසිඑකක් විතර අපි වහලා තිබුණා මල්ලි. දැන් ඉතිං යටවෙච්ච පළතුරුවල ණය කවර් කරගන්න බැරුව ඉන්නවා. දැන් කඩේ ඇරල සතියක් විතර වෙනවා. දැන් තමයි බිස්නස් හැදීගෙන එන්නෙ. මේ බඩු අපි දුන්නෙත් බඩු දාන අය අනුකම්පා කරලා. පරණ ණය පස්සෙ ගෙවන්න කිව්වා. ඒ සහනෙ තමයි අපිට තිබ්බෙ. (ශ්‍යාමලි මහත්මිය)
පළතුරු කඩයට යාබදව පිහිටිමෝටර් ස්පෙයාර් පාට්ස් කඩයක් (වාහන අමතර කොටස්) ඉදිරිපිට උඩුකය නිරුවත් අවුරුදු 65ක් 70ක් පමණ වැඩිහිටියන් දෙදෙනෙකු මලකඩ සූරමින් සිටියහ. සීයේ මොකද්ද කරන්නේ? ගංවතුරට යටවෙච්චා පිරිසිදු කොරනවා. මුලු කඩේම යටවුණා. සේරම තනිකර මඩයි මලකඩයි. දවස් දොළහක් විතර අපි බඩු සුද්ද කරනවා. රාක්කවල වතුර පිරිලා. (වික්‍රමදාස මහතා)
ඉන් අනතුරුව අපි නිවසක් කරා ගියේ ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්දැයි විමසන්න. ඊයෙ ඉඳන් තමයි අපි කුස්සියට ඇවිත් බත් උයං කන්නෙ. ගේ ඇතුළෙ වැඩක් කරන්න බෑ වතුර. වතුරමත් නෙවෙයි. තෙත ගතියක්. බිත්තිවත් අතගාන්න බෑ. ලයිට් ස්විච් සේරම විනාශ වෙලා. ඔක්කොම අලුතෙන්ම දාන්න වෙනවා. දැනට ටෙම්පරි ලයින් එකක් අරගෙන තමයි ගෙදර ඉන්නෙ. අපි ලිං වතුර පාවිච්චි කරන් නෑ. ලිංවල තෙල් මිදෙනවා. වතුර ලබුගමින් දෙන හින්දා ටැප් වතුර ප්‍රශ්නයක් නෑ. (සේනගමගේ මහතා)
තවත් නිවසක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් තිබුණි. මුල සිට නැවත තීන්ද ගා ඇති අතර අපි යනවිටත් තරුණයෙකු පොළවේ හා බිත්තිවල හෑරී තිබුණු වලවල් සිමෙන්තිවලින් පුරවමින් සිටියේය. එය ධනවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසකි. එම නිවස යටවූ බවක් නොපෙනුනි. එය දිස්වූයේ අලුතින්ම හැදූ නිවසක් මෙනි. “ඔක්කොම විනාශ වුණා. දැන්නම් සේරම රිපෙයාර් කරළා ඉවරයි. ගේ මේ විදිහට තිබුණෙ නෑ. අඩි හයක්ම යටවුණා නේ. ඔය තියෙන සෝෆා එහෙම ගලවල වේලලා අලුතෙන්ම හදල තියෙන්නේ. ඔව්වට ගෙවන එකක් නම් නෑ.” (පද්මසිරි මහතා)
එම ස්තානයෙන් පිටත්වූ අප තව ටික දුරක් ඉදිරයට ගියෙමු. කාන්තාවක් පාර අයිනේ රෙදි ගොඩක් ටයර් දමා පුලුස්සමින් සිටියාය. අම්මේ ගංවතුර දැන් ඉවරයි නේද? “කොහෙද පුතේ. අපේ ගේ ඇතුළේ පොලව බැහැල තියෙන්නේ. ඒ හින්දා ඉන්නෙ පිට ගෙදරකට වෙලා. මේ ඇඳුම් හොදලාවත් ගන්න බෑ. ඒවා අයින් කරන් නැතුව බෑ. ඔක්කොම දැන් පුච්චනවා. කඩේ බඩුත් දාලා ටයර් දාලා පුච්චනවා. ගේ ඇතුළේ ඉන්න බයයි. කනුවක් පුපුරලා තියෙන්නෙ. කොයිවෙලාවෙ කැඩිල වැටෙයිද දන්නෑ. වහල ගානටම වතුර තිබ්බා. වෙනදා නම් වතුර ඇවිත් දවසින් දෙක්කින් බහිනවා. මේ පාර දවස් දාහතරක් වතුර අල්ලල හිටියා. අල්මාරි, ටීවි, ඇඳවල් සේරම ඉවරයි. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ වියලි ආහාර නෙවෙයි ලිපක්, පැදුරක් එහෙම. ඔය ඔක්කොම අපිට ගන්න විදිහක් නෑනෙ.” (රේණුකා මහත්මිය)
ඉන්පසුව අප වැල්ලම්පිටිය හා මීතොටමුල්ල දෙසට ගමන් කළෙමු. වැල්ලම්පිටියේ සතියකට පෙර පාර දෙපස ගොඩගසා තිබූ කුණු ගොඩවල් ඉවත් කර තිබුණි. නමුත් මීතොටමුල්ල කුණු කන්ද පාමුල ජනතාව තවමත් අපාදුක් විඳිති. “අපිට අදින්න වස්තරයක්වත් නැතුව ගියා. ඇඳන් හිටපු ටික විතරයි. ගේ අස්සෙ මඩ තට්ටුවක්ම පිරිලා තිබ්බා. සති දෙකක්ම වතුර තිබ්බා. දැන් ඉන්න බෑ ගඳ, මැස්සෝ, මදුරුවෝ, බෝවෙන රෝග  වැඩිවෙලා. ළමයි දැන්නං ඉස්කෝලේ යනවා. ආදි ශිෂ්‍ය සංගමයෙන් තමයි ඒකට උදව් කළේ. අනික අපේ ගෙදර බඩු සේරම ඉවරයි. කඩයක් කළා. ඒකෙත් බඩු විසිකළා. අපිට කෝප්පයක්, පිඟානක් වලඳක්වත් නෑ.” (කුමුදු මහත්මිය)
ගංවතුරට හසුවූ ජනතාව නගන පොදු චෝදනාව වූයේ ඔවුන්ට තවමත් වන්දි මුදලක් නොලැබුණු බවයි. ඒ පිළිබඳව අප ප.ම. එස්.එම්.මරික්කාර් මහතාගෙන් විමසීමක් කළෙමු. “ගංවතුරෙන් පස්සෙ ගෙවල්වලට පදිංචි වෙන යන අයට ආණ්ඩුවෙන් රුපියල් 1500ක වියලි ආහාර සලාකයක් ලබා දුන්නා. පොරොන්දුවූ වන්දි මුදල් ලබා දීම තමයි දැන් තියෙන්නෙ. ඒකෙ සමීක්ෂණ කටයුතු දැන් සිදුවෙමින් තියෙනවා. ඒක අවසන් වනතුරු අත්තිකාරම් මුදලක් දෙන බව ආණ්ඩුව පොරොන්දු වුණා. ඒක අපි ලබන සතියෙ ඉදලා ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඔක්කොම සමීක්ෂණ ඉවර වෙනකම් හිටියොත් කාලෙ යන හින්දා එකතු වෙච්ච පිළිවෙලට මුදල් ලබා දෙන්න කටයුතු කරනවා.” ගංවතුර තත්වය අවසන්වී මසක් ගතව තිබුණත් ජනජීවිතය තවමත් සාමාන්‍ය තත්වයට හැරී නැත. එබැවින් එම ජනතාවට සහනයක් වීමට ඉතා ඉක්මණින් වන්දි මුදල් ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment