Friday, July 22, 2016

අගනුවර හොර ගෙවල් පුරයකි.

අගනුවර හොර ගෙවල් පුරයකි.


ශ්‍රී ලංකාවේ කාර්යබහුලම හා ප්‍රධානම වාණිජ නගරය වන කොළඹ නගරයේ පදිංචිකරුවන්ගෙන් සියයට පනහක්ම අඩු පහසුකම් සහිත අනවසර පදිංචිකරුවන්ය. අනවසර ඉඳිකිරීම් හා ඉඩම් ගොඩකිරීම් පැල්පත් හා වතු සංස්කෘතිය බිහිවන්නේ ඔවුන්ගෙනි. අනවසර ඉඳිකිරීම් හා පැල්පත් සංස්කෘතිය ඇතිකරමින් ඔවුන් අත්පත්කරගෙන ඇති භූමි භාගය ඉතා ඉහළ පාරිසරික හා වාණිජමය වටිනාකමින් යුතු ඇළ මාර්ග, ගංගා ඉවුරු ප්‍රදේශයන්ය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග දෙපස හා පහත්බිම් ගොඩ කරමින් සිදුකළ අනවසර ඉඳිකිරීම් 2347ක් දැනට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. නමුත් එය 5000 ඉක්මවන බව අපගේ නිරීක්ෂණයයි. දැනට හඳුනාගෙන තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග දෙපස පවුල් 543ක්ද ද්විතීයික ඇළ මාර්ග දෙපස පවුල් 907ක්ද පදිංචිව සිටියි. මීට අමතරව වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ පාලනය යටතේ පවතින ගංගාධාරා හා ඇළ වේලි ආශ්‍රිතවද අතිවිශාල අනවසර ඉඳිකිරීම් තිබේ. ඒවා තවමත් සංගණනය කර නැත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව කරන ලද සමීක්ෂණවලට අනුව පහත්බිම් ගොඩකරමින් කරන ලද ඉඳිකිරීම් ලෙස නාවල ඉඳිකිරීම් 167ක්ද, කෝට්ටේ 130ක්ද, ගොතටුව 445ක්ද, බ්ලූමන්ඩල්හි ඉඳිකිරීම් 135ක්ද හඳුනාගෙන ඇත. මීට අමතරව කොලන්නාවේ අතිවිශාල අනවසර ඉඳිකිරීම් ඇතත් ඒවායේ සමීක්ෂණ කටයුතු තවමත් අවසන්වී නැත. ඒ හැරුනු විට කොළඹ නගරය තුළ ඇති අනෙකුත් අනවසර ඉඳිකිරීම් ගණ දසදහස ඉක්මවයි. මේ පිළිබඳව රජය අවධානය දැන් යොමුව තිබේ.
මෙවර අනවසර ඉඳිකිරීම් පිළිබඳ ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමුවන්නේ ගංවතුර ව්‍යසනයත් සමඟයි. ඉඩම් ගොඩ කිරීම හා ගංගාධාරවන් වල අනවසර ඉඳිකිරීම් නිසා සිදුවූ විපත කිහිප ගුණයකින් වැඩිවූ බව හා තත්වය පාලනය කිරීමට ඉතාමත් අසීරුවූ බව අප කවුරුත් දනිමු. ගංවතුරට යටවූ ස්ථානවලින් බහුතරයක්ම අනවසර ඉඳකිරීම් වෙයි. කැළණි ගඟ අවට පහත්බිම් ගොඩ කිරීම හා ගංගාධාරවල අනවසර නිවාස තැනීමෙන් හේතුවෙන් ඇතිවූ විපත්තිය නිසා සිදුවූ පාඩුව බිලියන ගණනකි. එම ඉඩම්වලින් ඉවත්වන ලෙස එහි පදිංචිකරුවන්ට විවිධ අවස්ථාවන්වල සෑම රජයක්ම දන්වා තිබුණත් අදවන තුරු ඔවුන් ඉවත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් නොවීය. සෑම අවස්ථාවකම විධි දේශපාලඥයන්ගේ පෞද්ගලික වාසි අවාසි වෙනුවෙන් එම ව්‍යාපෘතීන් අක්‍රමවත්ව අවසන්ව ඇත.
කොළඹ නගරයේ පැල්පත් මුඩුක්කු ඉඩම් ගොඩකිරීම් හා අනවසර ඉඳිකිරීම් ප්‍රශ්නය මතුවූයේ අද ඊයෝ නොවේ. 19වන සියවස මැද සිට නිර්මාණය වූ මෙම ගැටලු අද ඉතාමත් සංකීර්ණ ගැටලුවක් බවට පත්ව තිබේ. ඇළ මාර්ග ආශ්‍රිත සිටින ජනාවාස කණ්ඩායමට අමතරව නාගරික භූමියට අයත්  නිදහස් ප්‍රදේශවල ව්‍යාප්තවූ තවත් ජන කණ්ඩායම් ජීවත් වෙයි. ඒ හැරුණු විට තාවකාලිකව ඉඳිකරගත් නිවාසවලත් විශාල පිරිසක් ජීවත් වන අතර පාර දෙපස පදික වේදිකාවන් වල අටවාගත් කඩකාමරද අතිවිශාලය.
ඒ හේතුවෙන් සුලු වැස්සකට වුවද නගරය තුළ ප්‍රදේශ රැසක්ම යටවන තත්වයකට පත්ව තිබේ. එයට කාණු පද්ධති අවහිරවීම ප්‍රධානම හේතුවෙ ලෙස හඳුනාගත හැකිය. පැල්පත්වාසීන් බැහැරකරන කුණු හා අනෙකුත් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස කාණු හා බොක්කු තුළට දමයි. එම කාණු තුළ එක්වන වතුර පල්වී දුර්ගන්ධයක් හමන අතර ඒවායේ මදුරුවන්ද විශාල වශයෙන් බෝවෙයි. සුලුව්‍යාපාරිකයන් පදික වේදිකාවන් වල ලැගුම් ගෙන සිටීම නිසා පදිකයින්ටද අවහිරතා ඇතිවෙයි. මේ සියල්ලට වඩා නගරයේ අලංකාරය නැතිවීම ද සිදුවෙයි.
මෙලෙස ඔවුන් විවිධ ස්ථානවලින් කොළඹට පැමිණ අනවසරයෙන් නිවෙස් තනාගත්තේ නොයෙක් හේතූන් නිසාය. ප්‍රධාන ලෙසම ග්‍රාමීය ප්‍රදේශයන්වල මතුවූ විරැකියාව ඉදිරියේ ජීවත්වීමේ අභියෝගයට මුහුණ දීමට නගරබද පෙදෙසට පැමිණයහ. කම්කරුවන් ලෙස සේවය කරන මෙම දුප්පතුන් ඉඩම් මිලදී ගැනීමට හෝ නිවසක් තනා ගැනීමට වත්කමක් නොමැති බැවින් ගංගා ඉවුරුවල හා පහත්බිම් වල පැල්පත් තනාගත්හ. අඩි දහයක් පමණ උසැති ලෑලි හා තකරම් යොදා තැනූ එක් කුඩා පැල්පතක සාමාජිකයන් 5-10 දක්වා ජීවත් වෙයි. විදුලිය හෝ ජල පහසුකම පවා නැති එක දිගට පේලියට තනා ඇති පැල්පත් නිවැසියන් පවුල් 30කට පමණ වැසිකිළි 4ක් භාවිත කිරීමට සිදුවෙයි. අඩුපහසුකම් හා අවම සනීපාරක්ෂාව හේතුවෙන් ලෙඩ රෝග බෝවීම මෙන්ම විවිධ සමාජීය ගැටලුද මතුව ඇත. මව සහ පියා යන දෙදෙනාම රැකියාවක නිරතවීමට සිදුවන අතර දරුවන්ගෙන් අධික පිරිසක් පාසල් නොගොස් අයාලේ යති. තරුණයත් බැරෑරුම් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බෙහිවී සිටිති. කොළඹ පදිංචිකරුවන් වුවත් ඔවුන්ට කොළඹ තිබෙන පහසුකම් කිසිවක් අයිති නැත.
මෙම අනවසර ඉඳිකිරීම් ජාතික සංවර්ධන ඉලක්කවලට බාධාවක් බව සැබෑය. එබැවින් ආණ්ඩුවද, රාජ්‍ය නිළධාරීන්ද, ජනතාවද ඉතා ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතුය. සංවර්ධනයේ ප්‍රමුඛ ඉලක්කය විය යුත්තේ ජනතා සුබ සෙත මිසක හුදු භෞතික සංවර්ධනය පමණක්ම නොවේ. සංවර්ධනය කරා පිය නැගිය යුත්තේ කාටත් සාධාරණය ඉටුකරමිනි. සැබෑ සංවර්ධනය එයයි.
මේ පැල්පත් වාසීන්ගේ අද ඇතිව ඇති ඉරණම ඔවුනට හෙට දිනයටත් ඉතිරි කළ නොයුතුය. ඔවුන් සම්බන්ධයෙන් සමාජයට ඇත්තේත් ඍණාත්මක ආකලප්යකි. නව ජීවන තත්වයන්, අපේක්ෂාවන් ඔස්සේ ඔවුන්ගේ හෙට දවස ධනාත්ම කළ හැකිය. ඔවුන්ගේ දිවිය පැල්පතටම සීමා වුවහොත් ඔවුන්ගේ දරුවන්ටද ඉතිරිවන්නේ අපාදුක් පමණි.
පසුගිය ආණ්ඩු සමය තුළ ආරක්ෂක අමාත්‍යංශය හරහා අනවසර ඉඳිකිරීම් හොඳින් හෝ නරකින් ඉවත් කිරීම සිදුවිය. මෙම ආණ්ඩුවෙන්ද නාගරික සංවර්ධන අධිකාරය හරහා එම කාර්යයම ආරම්භ කළේය. ඒ අනුව තොටලඟ කදීජාවත්ත අනවසර ඉඳිකිරීම් ඉවත්කිරීමට කටයුතු කරද්දි මහත් කලබගෑනියක් සිදුවිණ.එබැවින් නැවත පදිංචි කිරීම බලහත්කාරයෙන් සිදුකළ හැකි දෙයක් නොවන බව වටහාගත යුතුය. මෙගා පොලිස් ව්‍යාපෘතිය අවසන් වීමට තවත් වසර 14ක් පමණ ඉතිරිව ඇත. එතෙක් අනවසර ඉඳිකිරීම් කර තම ජීවිකාව ගෙවන නාගරික දුප්පතුන්ගේ ඉරණම ඉදිරි වසර 14 තුළ කෙසේ විය යුතුද? මෙගා පොලිස් සංකල්පය හුදු නගරය අලංකාර කිරීම හෝ නගරය සැලසුම් කිරීමට පමණක් සීමා නොවී පැල්පත්වාසී ජනයාගේ ජීවිතයත් අලංකාර කිරීම හා සැලසුම් කිරීමට අවධානය යොමුවිය යුතුයි.
නැවත පදිංචි කිරීමද ඉතාමත් ප්‍රවේශමෙන් සිදුවිය යුතු දෙයකි. නැවත පදිංචි කිරීම නිසි ලෙස සිදු නොවන කල දිළිඳුබව වැඩිවීම, ළදරු හා කාන්තා මරණ වැඩිවීම, ආහාර අනාරක්ෂිතභාවය, පොදු දේපළවලට හා රජයේ සේවාවන්ට ළඟාවීමේ අපහසුතාව, හුදකලාවීම, පරිසරයට අනුගතවීමේ අපහසුතාවය සහ පවත්නා සමාජ සම්බන්ධතා බිඳවැටීම ඇතුළු සමාජීය ගැටලු ගණවාක්ම ප්‍රධාන වශයෙන් මතුවෙයි.එබැවින් පැල්පත්වාසීන්ගේ නිජබිම වූ කොළඹ නගරය ඇතුළතම සියලු පහසුකම්වලින් සපිරුනු මහල් නිවාස ඔවුන සඳහාම ඉතා කඩිනමින් ඉඳි කළ යුතුයි. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් නිර්මාණය කර දිය යුතුයි. ඔවුන්ගේ රැකියා ගැටලු සඳහාද හැකි තරම් මැදිහත් විය යුතුයි. පදික වේදිකා ආක්‍රමණය කර සිටින වෙළඳුන් සඳහා ක්‍රමවත් සැලසුමක් සිදුකළ යුතුයි. එවිට ඉතා අලංකාර නගරයක් මෙගා සිටි එකක් බවට කොළඹ නගරයත් පත්වනු ඇත.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment