කැලණිතිස්ස අඹතලේ ගංවතුරට.
පසුගිය
සතියේ පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි මිටියාවත දැඩි ගංවතුරක තත්ත්වයකට හසුවිය.
එම ගංවතුර හේතුවෙන් කැලණි මිටියාවත ආශ්‍රිතව ජනජීවිතයට බරපතල හානියක් සිදුවිය.
හානිය මිටියාවතට පමණක් සීමා නොවී මුලු රටටටම දැනෙන,මුලු රටේම ජනජීවිතය අඩාල කරන
විපතක් බවට පරිවර්ථනය වන්නටතිබුණේ තව දශමයකි. නමුත් වාසනාවකට එවැනි විපතක් සිදු
නොවීය. කැලණිතිස්ස විදුලිබලාගාරය හා අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසුවුණා නම් සිදුවන්නේ
මහත් විපත්තියකි. එසේ වුණි නම් රටේ විශාල
කොටසකට බලපානමෙම විපත ත්‍රිවිද හමුදාවම එක්වුවත් නැවැත්වීම අසීරුය. ගංවතුර තත්තවය
තුළ බලධාරීන් මෙවැනි බරපතල තත්ත්වයක් උද්ගතවෙතෙයි බලා සිටියත් එවන් අවස්ථාවක් සඳහා
පිළියම් යෙදීමට විකල්පයක් නොසෙවූහ.
වතුර
මට්ටම තව අඟල් කිහිපයක් ඉහළ ගියානම් කැලණිතිස්ස විදුලිබලාගාරය හා අඹතලේ ජලපවිත්‍රාගාරය
ඇනහිට විදුලි උත්පාදනය හා ජල පිරිපහදුව නවතියි. එමගින් වැස්ස, නාය යෑම, ගංවතුර හා
දැඩි සුලඟට අමතරව රටේ විශාල කොටසක් පානීය ජලය අර්බුධයකට හා විදුලිය කැපීමටත්
මුහුණපාන්නට සිදුවෙයි. දිනකට ජල ලීටර් 5,30,000ක් පිරිපහදු කර කොළඹ හා ගම්පහ
දිස්ත්‍රික්කයේ ලක්ෂ ගණනාවකට ජලය සපයන්නේ මෙම අඹතලේ පවිත්රාගාරයෙනි.එම පවිත්‍රාගාරයේ
පිරිපහදුව නැවතුනොත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පානීය ජල අර්බුදයට මුහුණ දෙති.නගර
සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා (මැයි 20වන දා) පාර්ලිමේන්තුවේදී
ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ වන
විට ජලපවිත්‍රාගාරය ආශ්රිත ජල මට්ටම අඩි 19.11 බවත් එය අඩි 23දක්වා වැඩි වුවහොත්
ජලපවිත්‍රාගාරය වසා දැමීමට සිදුවන බවත් ය.
කැලණි ගං ජල මට්ටම තවත් ඉහළ ගියා නම් අඹතලේ පොම්පාගාරයට වඩා
බයානක හානියක් සිදුවන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයටයි. එයට හේතුව බලාගාරය ගං
මට්ටමට වඩා පහළින් පිහිටා තිබීමයි. නොරොච්චෝල බලාගාරය බිඳ වැටීම ඇතුළුව මේ වන විට
විදුලි බලාගාර කිහිපයකම සිදුවී ඇති කඩා වැටීම් හමුවේ දැනට විදුලිබල මණ්ඩලයේ සමස්ත
උත්පාදන ධාරිතාව මෙගවොට් 1600 ක් පමණ දක්වා පහත වැටී ඇතත්දෛනික විදුලිබල ඉල්ලුම මෙගාවොට් 2300වෙයි. එයින් 17%ක් පමණ නිෂ්පාදනය කෙරෙන්නේ කැලණිතිස්ස විදුලිබලාගාරයෙනි.
කොටස් දෙකකින් යුත් කැලණිතිස්ස විදුලිබලාගාරයේ ලංකා විදුල බල මණ්ඩලයට අයත්
කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 300ක් හා කැලණිතිස්ස ජී.ටී සෙවන්
මගින් මෙගාවොට් 165ක් නිෂ්පාදනය කෙරේ. එබැවින් කැලණිතිස්ස බලාගාරය ගංවතුරට හසුවුණි
නම් වි.බ.ම. විශාල අර්බුධයකට මුහුණපාන්නේය. එක් පැත්තකින් බලාගාරයේ උපකරණ විනාශ වන
අතර ප්‍රමාණවත් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා විදුලිය කප්පාදු කිරීමටද
සිදුවෙයි. විනාශයට පත්වන උපකරණ මිලදීගැනීමට කිරීමට හා බලාගාරය ප්‍රතිසංස්කරණය
කිරීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 17%ක්
පෞද්ගලික බලාගාර වලින් මිලදී ගැනීමට සිදුවෙයි. ගංවතුර හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය මුහුණ දුන් ගැටලුව සමබන්ධව කැලණිතිස්ස විදිලිබලාගාරයේ නිළධාරියෙක්
මෙසේ පැහැදිළි කරයි.
“අපිට තිබ්බ ප්‍රශ්නේ මහා ගංවතුර තත්වයක් නිසා වතුර බන්ඩ් එකේ මට්ටමටත් වඩා
දායිද කියලයි. එහෙම වුණොත් අපි කොහොමද මැෂින් බේරගන්නේ කියලා අපිට ප්‍රශ්නයක්
මතුවුණේ. එහෙම වුණා නං අපිට බේරගන්න බැරි තත්වයක්
තමයි තිබ්බේ. අපි හිතුවා වැලි කොට්ට ගහන්න පුලුවන්ද කියලා. එහෙම කළත් වැලි
කොට්ට ගහල ඉවර කරන්න බෑ ගහනවා නම් ඇළ දිගේ දිගටම ගහන්න වෙනවා. උඩින් වතුර ආව නම්
බන්ඩ් එකත් කඩන් යන්න ඉඩ තිබ්බා. එහෙම වුණොත් තත්වේ දරුණු වෙනවා. අනික කැනල් එකේ
ගේට් ලීක්වුණත් ලොකු හානියක් වෙනවා. හොඳ වෙලාවට නවකලං වීදියේ ගේට්ටුව වහල තිබ්බේ.
මීට අවුරුදු ගාණකට කලිනුත් ලීක් වුණා.දැන් අවුරුදු දහයකට කලින් බන්ඩ් එකත් කැඩිලා
ලොකු අනතුරක් වුණා. ඒ බය අපිට තිබුණා. අන්තිමට අපිට තේරුණ දේ තමයි අපේ ප්‍රමාණයෙන්
කිසිම පියවරක් ගන්න බැහැයි කියල”.
පසුගිය සතියේ මාධ්‍යන් තුළින් වාර්තා වූයේ කැලණි ගගේ ජල මට්ටම
අඩි 20.5දක්ව ඉහළ ගොස් තිබූ බවත් ජලය අඩි 23ක් දක්වා ඉහළ ගියේ නම් අඹතලේ
පොම්පාගාරයේ ජලපොම්ප 13 යටවී ජලය සැපයීම මුලුමනින්ම අඩපන වන්නට ඉඩ තිබුණු බවයි. අඹතලේ
ජල පොම්පාගාරය ගංවතුරට හසුවෙයි යන පුවත පළවූ විගස නගරාශ්‍රිත ජනතාව කලබලවී
ඉදිරියේදී සිදුවන ජල අර්බුදයට මුහුණදීමට ජලය රැස්කරන්නට වෙහෙසගත්හ. මේ සම්බන්ධව
අදහස් දැක්වූ අඹතලේ ජලපවිත්රාගාරයේ මෙහෙයුම් විධායක රාජපක්ෂ මහතා පැවසුවේ ඔහුගේ
ප්‍රකාශයක් පදනම් කරමින් මාධ්‍යන් තුළින් වැරදි මතයක් ප්‍රචාරයකර ජනතාව මුලා කළ
බවයි. “පහුගිය දවස්වල මාධ්‍ය මඟින් වතුර
නවතිනවා ඒ හින්දා වතුර රැස් කරගන්න කියලා මිනිස්සු කලබලයකට පත් කළා. නමුත් එහෙම
දෙයක් තිබුණේ නෑ. මම කිව්වේ තව අඩි දෙක තුනක්ම තියෙන හින්දා අපිට බාධාවකින් තොරව
වතුර දෙන්න පුලුවන් කියලා. මාධ්‍ය මඟින් කළ මේ වැරදි ප්‍රකාශය ගැන මම කණගාටුව පළ
කරනවා.”
ගංවතුර තත්වයකදී අඹතලේ ජලපවිත්රාගාරයේ ජල සැපයුමට කිසියම් බාධාවක් හෝ
අනතුරක් ඇති විය හැකි දැයි අප කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ බියගම ජලපවිත්රාගාරයේ
කාර්යාලය පවා යටවුවත් පිරිසිදු ජලය කිසිඳු බාධාවකින් තොරව ජලය සැපයීමට හැකි වුණා.
ඒ වගේම1989දී අඩි විසිපහකක් විතර ජල මට්ටම ඉහළ ගියත් ජල සැපයුම නැවැත්වුවේ නෑ.
එබැවින් අඹතලේ ජලපවිත්‍රාගාරය අනතුරට පත්වීමේ කිසිඳු අවධානමක් නෑ.
පසුගිය සතියේ පැවැති ගංවතුර තත්වයේදී ජල සැපයීම සඳහා කටයුතු කළ ආකාරය
පිළීබඳව වැඩි දුරටත් අදහස දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. ජල මට්ටම අඩි විසිගානකට
ගියා. ඒත් කොහෙවත් ජල සැපයුම නැවත්තුවේ නෑ. ඒ විදිහටම පිරිසුදු වතුර අපි දුන්නා. වටේ
සේරම යටවෙලා තිබ්බේ. පොම්ප තියෙන්නෙ ඉහළින්. ඒ හින්දා අපේ ඔපරේටර්ස්ලා බෝට්ටුවලින්
ගිහිල්ලා පොම්ප්ප ඔපරේට් කෙරෙව්වා. පොම්පාගාරය සම්බන්ධව කිසිම ගැටලුවක් නෑ.
ගංවතුර වැනි විපතක් සිදුව ඇති තත්වකදී වැරදි ආරංචි පතුරවා ජනතාව
අපහසුතාවයට පත්කිරීම සිදුනොවිය යුත්තක්. ලැබුණ පුවත විපරම් කිරීමකින් තොරව පළ
කිරීම හෝ ලැබුණ පුවත විකෘත කර පළ කිරීම පාර්ශව කිහිපයක්ම අපහසුතාවයට ලක්වෙයි. ආපදා
තත්වයදී එය බරපතලම වරදකි. අනවශ්‍ය කලබල හා භීතියක් ඇතිකිරීමෙන් ආපදා කළමනාකරණ
කටයුතු පවා අඩාල වෙයි. අඹතලේ පොම්පාගාරය සම්බන්ධ ආරංචි කෙසේ වෙතත් කැලණිතිස්ස
විදුලි බලාගාරය සම්බන්ධව නම් ගැටලුවක් තිබුණි. වාසනාවක කිසිඳු හානියක් තොරව
බලාගාරය ආරක්ෂා විය. ඒ ගැන අදහස් දක්වන බලාගාරයේ සේවකයෙක් මෙසේ පවසයි. “ගඟ පැත්තට වෙන්න බැම්මක් තියෙනවා. හුක කලකට කලින් හදපු බැම්මක් ඒක. ඒ බැම්ම
හින්ද තමයි අපි ආරක්ෂා වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් බලාගාරය තියෙන්න ගං මට්ටමටත්
පහළින්. මේ පාර ඒ බැම්ම වැඩ කළා. දැන් වෙන්න ඕනෙ බැම්ම තවත් ශක්තිමත් කරන එකයි”.
ගංවතුර නිසා සිදුවූ හානිය විශාලයි. එම ජීවිත හානි, පාරිසරික හානි හා දේපළ
හානි සියල්ල පෙර සූදානමක් තිබුණා නම් යම්තාක් දුරකට වළක්වා ගන්නට ඉඩ තිබුණි. නමුත්
විවිධ ආපදාවන්වලට මුහුණ දුන්නත් තාමත් අප සතුව ආපදාවන්ට මුහණ දීමට පෙර සූදානමක් නැත.
සිදුවූ හානියෙන් පාඩමක් ලබාගෙනත් නෑ. ආපදාවක් සිදුවන අවස්ථාවන් වලදී අප ආපදා
කළමණාකරණය ගැන කතා කළත් පසුව අමතක කර දමමු. මේ සිදුවූ ආපදාවත් පෙර පරිදිම සියල්ල
අමතක කර නොදැමිය යුතුයි. ගංවතුරෙන් අඹතලේ ජලපවිත්රගාරය හා කැලණිතිස්ස
විදුලිබලාගාරය අනතුරට ලක්නුවූවත් අනතුරට පත්වීමේ අත්‍යාසන්න තත්ත්වයක් තිබුණු බව
පැහැදිලිය. ඒවා අනතුරට පත්වූ පසු ඒ ගැන කතා කිරීමෙන්ද පලක් නැත. ඉදිරියේදී දරුණු
ගංවතුර තත්වයක් ඇති වුවහොත් බලාගාරය හා පොම්පාගාර අනතුරට ලක්වීම අවධානමක් ඇති බව
පැහැදිළිය. එබැවින් දැන් ආණ්ඩුවේ හා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුත්තේ අඹතලේ හා කැලණිතිස්ස
ඕනෑම ආපදා තත්වයකදී අනතුරට පත්නොවන අන්දමින් ආරක්ෂා කිරීමට අදාල පියවර ගැනීමයි.
No comments:
Post a Comment