Friday, July 22, 2016

පුපුරා ගිය සාලාව තවමත් දෙදරුම් කයි.


 පුපුරා ගිය සාලාව තවමත් දෙදරුම් කයි.






කොස්ගම සාලාව හමුදා අවිගබඩාව පිපිරී අදට මාස එකහමාරක් පමණ ගතවී ඇත. අවි ගබඩාව පිපිරීමෙන් පසු කඳවුර අවට සාලාව ගම විනාශ විය. අවට ජනතාව සරණාගයන් බවට පත්වූහ. නමුත් තවමත් එම ජනතාවගේ ගැටලු විසඳී නැති බව අසන්නට ලැබේ. පිපුරුමට මාස එකහමාරක් ගතව තිබෙද්දි සාලාව ජනතාවගේ ප්‍රශ්න ගැන සොයා බැලීමට දේශයෙන් අප සාලාව නගරයට ගියෙමු. කඳවුර පිටුපස උසට වැඩුන රබර් ගස්ය. ඒත් මේ රබර් ගස්වලින් ආයේ කවදාවත්ම කිරිකපන්න බෑ. එම ගස් විකුණීය හැක්කේ වෙන්නේ දරට පමණි. කඳවුර ඉදිරිපස නිවාස කිහිපය පසු කරද්දි විශාල කුඹුරු යායකි. ඒත් ආයේ කිසිකලෙක මේ කුඹුරු කරන්න පුලුවන් වේවිද කියන්න බෑ. කුඹුරකට බහින්න මිනිස්සුසූදානම් නැත. මිනිසුන් උදැලු ගහන්න වුවදබය වන්නේ පස් අස්සේ ආටි වැනි පුපුරන තියෙන්න පුලුවන් නිසාවෙනි.‍
අප උදෑසන සාලාව කඳවුර ප්‍රදාන ගේට්ටුව වෙත ලංවෙද්දි හමුදා නිළදාරීන් හතලිහක් පමණ පොළව පරික්ෂා කරමින් සිටියහ. එම ස්තානයට ගොස් විමසීමේදී ඔවුන් පොලව හාරමින් පුපරන ද්‍රව්‍ය කොටස් ඉවත් කරන පැවසූහ. එම ස්තානය පසුකරමින් ඉදිරියට ගමන් කළ අප වෙත දුව ආ පුද්ගලයෙක් දේශපාලඥයන්ට දොස් පවරන්නට විය. මුල් දවස්වල දේශපාලඥයෝ ආවා. දැන් කවුරුත් එන්නේ නෑ. 50000 අපිට මදියි. ආමි එකෙන් නම් ලොකු උදව්වක් කළා. ඊයෙත් පිපිරුණා. අපි බයෙන් ඉන්නේ. විවිටින් විට පිපිරෙනවා. කෑම්ප් එකෙන් දුම් යනවා. ගිනි ගන්නවා. ආමි එකෙන් වතුර දාලා නිවල දානවා. ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා කියන්නේ නෑ. ගෙවල්වල මිනිස්සු ඉන්නේ බය වෙලා.
ඉන්අනතුරවබොරලුගොඩ විහාරස්ථානයේ විහාරාධීපති ඥාණානන්ද හාමුදුරුවෝ හා සම්බන්ධ වෙද්දි උන්වහන්ස සාලාව තත්වය ගැන මෙවන් අදහසක් දැක්වූහ.සාලාව අවිගබඩාව පිපිරී ගොස් දැන් මාසයක් පමණ ගත වෙනවා. මේ දක්වා රජයෙන් යම් තරමකට සහන සපයා තිබෙනවා. නමුත් නිසියාකාරව ජනතාවට අවශ්‍ය කරන දීමනා ලැබී නැති බව තමයි අපට නිරන්තරයෙන් ජනතාව සඳහන් කළේ. ඇත්තටම රුපියල් 50000 සමහර අයට නිසියාකාරව ලැබිලා නෑ. සුලු වශයෙන් හානි වෙච්ච අයට ලැබිලා තියෙනවා විශාල වශයෙන් හානිවෙච්ච සමහර අයට ලැබිලා නෑ. ඒ ගෙවල් දොරවල් තක්සේරු කිරීමේ ගැටලු රාශියකුත් තියෙනවා. ඒ තක්සේරු කිරීමේදී නිසියාකාරව ගෙවල් දොරවල් හදාගැනීමේ සඳහා තක්සේරු වෙලා නැති බව තමයි මිනිස්සු පන්සලට පැමිණියහම නිරන්තරයෙන් අපට මතක් කරන්නේ. මේ නිසා නැවතත් තක්සේරු කර ඉදිකිරීම් කටයුතු සිදු කළොත් හොඳයි කියන කාරනය මම රජයට මතක් කරනවා. ඇත්තට මේක ජනතාව විසින් කරගත්ත විපත්තියක් නෙවෙයි. මේක රජය පැත්තෙන් සිදුවෙච්ච දෙයක් නිසා රජයේ විශේෂ සැලකිල්ල යොමු විය යුතුයි. මේ අවස්තාවේ මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ ජනතාවගේ විනාශ වෙච්ච ගෙවල් ඉක්මන්ට හදා දීලා විනාශ වෙච්ච බඩු භාණ්ඩවලට ඉක්මනට වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.
සාලාව හංදිය තවමත් දිස්වෙන්නෙ යද්ධයකින් විනාශ වූ නගරයක් ලෙසයි. විනාශයට පත්වූ දෙමහල් ව්‍යාපාරික ස්තාන කිහිපයක්ම පිලිස්සුම් හේතුවෙන් කලු පැහැ ගැන්වී ඇත. කුඩා කඩ කාමරද සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. පිපිරීම සිදුවී මාස එකහමාරක් ගතව ඇත සාලාව හංදියේ කිසිමු සාප්පුවක් විවෘත කර නැත. සාලාව හංදියෙන් ගමන් කරන විට විනාශයට පත්වූ ව්‍යපාරික ගොඩනැගිල්ලක් ඉදිරියේ කලු කොඩි දමා තිබුණි. එම ස්තානයේ කිහිප දෙනෙකු අසුන්ගෙන් සිටියේ ජනතා එකමුතු ව්‍යාපාරය - සාලාව යන බැනරයද ඉහළින් ප්‍රදර්ශනය කරමිනි. ජනතා එකමුතු ව්‍යාපාරයේහේමන්ත රොද්‍රිගෝ මහතා හා කතාබහ කළ විට දැනට සාලාව ප්‍රදේශය වාතාවරණය පිළිබඳව අපට විස්තර කිරීමක් කළේය.දැනට මෙතන ක්‍රමානුකූලව වැඩ සිද්ධ වෙනවා. වන්දි ගෙවීම් පළමු වාරිකයේ මේ සතියේත් දෙවන වාරිකය එලඹෙන සතියේ ලබා දීලා අවසන් කරනවා කියනවා. තක්සේරු සම්බන්ධව සෑහිමට පත්වෙච්ච අයට ආපදා කළමණාකරන අමාත්‍යංශයෙන් ඒ මුදල ලබා ගන්න පුලුවන්. සෑහිටම පත්නොවෙච්ච අයට අභියාචනා කරන්න පුලුවන්. ඒවා විගාභ කෙරෙනවා. රුපියල් පනස්දාහ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ස්තානය හදලා දෙනකම්ම ගෙවන්න ඕනේ. ගෙවල්නම් මාස හයක් ගෙවනවා. ඊට කලින් හදලා ඉවර නම් එතැනින් ගෙවීම නතර කරනවා. මෙහෙ සුලු හානි, අර්ධ හානි හා පූර්ණ හානි වෙච්ච අය ඉන්නවා. පූර්ණ හානි වෙච්ච අයට සම්පූර්ණ මුදලම ගෙවන්න ඕනේ. ඒත් තාම ඒ මුදල් නොලැබිච්ච අය ඉන්නවා. එයාලගේ ප්‍රශ්න තාම විසඳිලා නෑ. තව එක්දහස් ගාණක් ඉන්නවා ගෙවලා නැති. මේ සතියේ ඒකෙන් 800කට ගෙවලා ඉවර වෙනවා කියලා ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. අපිට ආණ්ඩුව එක්කවත් හමුදාව එක්කවත් ගැටෙන්න වුවමණාවක් නෑ. අපිට අපේ දේවල් ඉක්මන්ට හදලා දෙන්න. මෙහෙ නැති බැරි මිනිස්සු හිටියේ නෑ. නමුත් අපි අද සරණාගතයෝ වුණා. යන එනමං නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ. තාමස් පනස් දාහ ගෙවල නැති හින්දා ගෙවල් කුලී ගෙවා ගන්නත් බෑ.
හේමන්ත මහතාගේ කතාවට එක්වූ සාලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්වන සුනිල් කරුණාතිලක මහතාවාහන හානි වෙච්ච ඒවා තියෙනවා තර්ඩ් පාටි දාපු ඒවා. ඒව ෆුල් කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. ඒවට මිනිස්සුන්ට ගෙවා ගන්න විදිහක් නෑ. ඒ වාහන නැති වුණේ පාරේ දුවල නෙවෙයි ගෙවල්වල තියෙද්දි. ඉතිං ආණ්ඩුවෙන් ඉල්ලන්නේ තර්ඩ් පාර්ටිවලටත් ෆුල් ඉන්සුරන්ස් ගෙවන්න කියලා. තාම මේකට පිළියම් ලැබිලා නෑ. දැනට එහෙම වාහන 27ක් විතර තියෙනවා. වාහන පොත්පත් සේරම ගිනි අරං. අපි ලඟ ඔරිජිනල් පොත් නෑ. අපි ලඟ තියෙන්නේ ෆොටෝ කොපි විතරයි. ඉතිං ඒවටත් ඔරිජිනල් පොත් ලබා දෙන්න කියලත් අපි ඉල්ලනවා. අපිට දෙන්නේ ණයක් නෙවෙයි නිවාස හානියට ගෙවල් හදාගන්න වන්දියක්. ඒක අදියර වලින් නැතුව එකවරම ගෙවන්න ඉල්ලනවා. අනික අපිට ලැබෙන මුදල් අපි බැංකුවට දැම්ම ඒකටත් ටැක්ස් ගහන්න එපා. මේ අපි ආදායම් උපයලා ගත්තු සල්ලි නෙවෙයි මේ අපිට සිදුවෙච්ච හානියට ලැබුණ දේවල්. මේකෙනුත් ටැක්ස් ගහනවා කියන්නේ වැඩක් නෑ.
අනතුරුව අපි ගියේ පෙරපාසලක් පිහිටි ස්තානයකටයි. එම ස්තානයේ ස්තානභාර එස්.එන් විජේදාස මහතා පිපිරීමෙන් මාස එකහමාරකට පසු ඔවුන් මුහුණ දී ඇති තත්වය මෙසේ පැහැදිලි කළේය.අපි දැන් පෙර පාසල පවත්වාගෙන යන්න විදිහක් නෑ. පෙරපාසල තාම ආමි එකෙන් හදනවා. වැඩ ටික්ක් ස්ලෝ යන්නේ. කලින් 25ක් විතර ඇවිත් වැඩ කළා. දැන් 7දෙනෙක් විතර තමයි ඉන්නේ. දෙමාපියෝ නිතරම ඇවිත් අහනවා කවද්ද පෙර පාසල පටන් ගන්නේ කියලා. ඉතිං මේක දරුවන්ට ලොකු පාඩුවක්. කොහොම හරි ඉක්මනින් විසඳමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ භූමියේම තියෙන සෙයිලම ප්‍රදර්ශනාගාරයත් විනාශවුණා. නිවෙල් සැන්චුරි ෆැක්ටරියත් හානියට ලක්වුණා. ව්‍යාපාරික ස්තාන දෙකේ තාම හරියට ඇස්තමේන්තු කෙරිලා නෑ. තාම මුදල් ලැබිලත් නෑ. ඉදිරියේදී දෙන්නම් කියල නම් කියනවා. මොනව වෙයිද දන්නේ නෑ. මෙතෙන සේවකයෝ හත් අට දෙනෙක් වැඩ කරනවා. ඒ අයට පඩි ගෙවන්න වෙලා තියෙන්නෙත් අතින්. මේක හරි ප්‍රශ්නයක්. රජයේ වන්දි මුදල් තාමත් හරියාකාරව ලැබිලා නැති හන්දා ව්‍යාපාරික ප්‍රජාව අනතුරේ. පනස්දාහේ පළමුවාරිකෙත් දෙවැනිවාරිකෙත් සෙයිලම ප්‍රදර්ශනාගාරයටත් සැන්චුරි ෆැක්ටරියටත් තාම ලැබිලා නෑ. පෙර පාසලට නම් තක්සේරු කරලා ඉවරයි. සමහර දීපු චෙක්පත්වල මුදල් නෑ. බැංකුවට ගියාම මුදල් නෑ කියනවා. සමහර මුදල් අනුමත වෙච්චි තැන්වලට වෙක්පත් දෙන්නෙ නෑ මුදල් නෑ කියනවා. ලෛස්තුවේ නම් තියෙන අයට පවා චෙක් ලියාගන්න බෑ. නමුත් කියන්නේ නම් මුදල් පාස් වෙලා කියලයි. අනික අපිට මාස එකහමාරක් තිස්සේ අපේ ව්‍යාපාරයේ දෛනික ආදායමත් නෑ. ඒත සේවක පඩිනඩි ගෙවන්න ඕනේ. තාමත් මේ සාලාව නගරයේ ව්‍යාපාරික ස්තාන හදන්න අත ගහලවත් නෑ. සුද්ද කරලා විතරයි තියෙන්නේ. ඒත් දැන් අපි කුඩාවට වැඩ පටන් ගත්තා සේවකයන්ට රැකියාව දෙන්න ඕනි නිසා.
සාලාව හංදිය සිට නැවත සාලාව කඳවුර ඉදිරිපසට ගියේ එහි විනාශවී ඇති නිවාස නිරීක්ෂණය කිරීමටයි. බිත්ති පමණක් ඉතිරිව ඇති නිවාස අසල චීන ධජය ඇලවූ නිල්පැහැති කූඩාරම් තිබුණි. එහෙත් එක් කූඩාරමකවත් කිසිවෙක් සිටියේ නැත. එම නිවැස් අසල පළිස්සී අලුවී ගිය වාහනද තිබුණි. නමුත් එම වාහනය කුමන වර්ගයේ වාහනයක්ද යන්න පවා හදුනාගත නොහැකි විය. ගෙවල් කිහිපයක් පසු කරද්දි ඩී.එම්. දිසානායක මහතාහමුවීමු.මගේ සම්පූර්ණ ගේම විනාශ වුණා. තාම මේවා හදන්නේ කවදද කියලත් නෑ. ඒවායේ වැලිව්වේෂන් ඉවරත් නෑ. දැනට අපි කුලී ගෙදරක ඉන්නේ. මෙහෙ ඉන්න බෑ. තව මාසයක් විතර යයි මේක හදන්න. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කඩිනමින් අපේ වැඩ ටික ඉවර කරළ දෙන්න කියලයි. දැනටමත් දවස් හතලිස් පහක් විතර වෙනවා. අපි තාම මහපාරේ. අපිට හැමදාම ඥාතීන්ගේ ගෙවල්වල ඉන්න බෑ එයාලාටත් එපා වෙනවා. අපිට අපේ දරුවෝ එක්ක එකට ඉන්න ඉක්මන්ට ඉන්න තැන හදලා දෙන්න.
අනතුරුව සාලාව කඳවුර ඉදිරිපස මීටර් 300ක් පමණ ඈතින් පිහිටි නිවසක් වන ඩබ්ලිව්. ඒ.යූ.කේ. මල්කාන්ති මහත්මියගේ නිවසට ගියෙමු. දේශයට එතුමිය ඔවුන් දැනට මුහුණ පා ඇති තත්වය පිළිබඳව මෙසේ පැවසුවාය.දැන් අපිට ඉක්මන්ට වන්දි මුදල් ලැබෙන්නයි ඕනේ. රජයෙන් ඇවිල්ලා ඇස්ටිමේට් කරලා ගියාට අපිට ලිකිතව කිසිම සටහනක් දුන්නේ නෑ. ග්‍රාම සෙවක තමයි පොඩි චිට් චිට් එක්ක මෙච්චරයි කියලා ලියලා දුන්නේ. දෙන්න කිව්ව මුදල දෙතුන් පාරට අදින් නැතුව එකවරම දුන්න නම් හොඳයි. අනික ගිය මාසේ රජයෙන් පනස් දාහක් දුන්නා කුලී ගෙවල් අරං යන්න කියලා. අපි කුලී ගෙවල් ගන්න යද්දි එයාලා මාස තුනක ඩිපෝසිට් ඉල්ලනවා. ඉස්සර රුපියල් හය හත් දාහට තිබ්බ ගෙවල් දැන් දහ පහලොස්දාහ වෙලා. එතකොට මාස තුනකට සල්ලි දෙද්දි පනස්දාහ මදියි. අපිට අහිමි වෙච්ච බඩු මුට්ටු ගැන නැම ආණ්ඩුව මොකුත්ම කිව්වෙ නෑ. අපිට බඩු මුට්ටු නැතත් ප්‍රශ්නයක් නෑ. ඉන්න ගේ ඉක්මන්ට හදලයි ඔනේ. තැන් තැන්වල අපිට ඉන්න බෑ. අපේ පුතා බය වෙච්ච පාර තාම උණ. බයට ගැස්සිලා උණ බහින්නේ නෑ. රෑට බයවෙනවා. අදත් ඉස්කෝලේ ගිහින් අතර මග එක්කං ආවා උණ හින්දා. මෙහෙ ගෙවල් හදාගන්න පුලවන් තත්වයක් තියෙනවද කියලා කියලා නෑ. ඇතුලේ තව බෝම්බ පිපිරෙන් තියෙනවද කියලා බයයි. අපි කෑම්ප් එක ඉස්සරහම ඉන්න හින්දා බයයි. ආරක්ෂාව ගැන තාම හමුදාව සහතික වෙලා නෑ. මේවා හැදුවට පස්සේ ආයේ විනාශෙ වුණොත් අපරාදේ.
ඉන්පසුව අපි සාලාව අත්තම් නිවාස යෝජනා ක්‍රමය වෙත ගියේ සාලාව ග්‍රාම නිළධාරි තැන මුණ ගැසීමටයි. නමුත් ග්‍රාම නිළධාරී මහතා කාර්යාලයට ඒ වේලාව වන විටත් පැමිණ සිටියේ නැත. ග්‍රාම නිළධාරී කර්යාලය අසලම කුඩා කඩ කාමරයක් පිහිටා තිබුණි. එහි හිමිකරු පී.ඩී.ඩබ්ලිව්. පෙරේරා හමුවූ විට ඒ මහතා අප එතුමාගේ නිවසට කෙටුව ගියේය. අපිට වහලේ නම් දාලා දුන්නා. ඒත් බිත්ති ඉරිතලා ගිහින් තියෙන්නේ. මේ හැම තැනම බිත්ති දෙදරලා පුපුරලා තියෙන්නේ. ඒත් ඒවට මොකුත් කරලා නෑ. වහල ගහලා තියෙන්නෙත් පරණ තිබ්බ මගේ ලී වලින්මයි. රීප්පයක් දෙකයි අලුතෙන් දැම්මේ. මේ ගේ මගේ දුවට දීලා තියෙන්නේ. දුවට වන්දි මුදල් හම්බුනා. මගේ කඩේ මම වෙනම කරන්නේ. වෙනම ලයිට් බිල්, වෙනමම වතුර, වෙනමම වරිපනම් ගෙවනවා තාම ඉතිං කඩේට වන්දි දීලා නෑ. ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් දෙයිද කියන්න නම් බෑ. අනික මගේ ලිඳේ වතුර පාවිච්චි කරන්න බෑ. ලිඳ ඉස්සේ නෑ. අනෙක් ලිං ඉස්සා. මේක ඉහින්න කියලා කිහිප වතාවක්ම ගිහින් කිව්වා, ඉස්සේ නෑ. කොහම හරි මග හැරලා අන්තිමට කිව්වා නාවික හමුදාවෙන් තමයි ලිං ඉහින්නේ, දැන් නාවික හමුදාව ගියා කියලා කිව්වා. දැන් ඉති මට සල්ලි දීලා ඉහගන්න වෙනවා.
සාලාව කඳවුරට පිටුපසින් පිහිටියේ රණවිරු ගම්මානයයි. රණවිරු ගම්මානයේ අපට හමුවූ ඒ.කේ.එස් ජයතිලක මහතා අපට මෙසේ පැවසුවේය. අපිට පනස් දාහත් ලැබුණා. ගේ වහලත් ආමි එකෙන්ම හැදුවා. බිත්තිත් හැදුවා. ඒත් ජනේල් දොරවල් නම් හදලා නෑ. ඒවත් උලුවහු ගෙනෙල්ල පස්සේ හදනවා කියලා නම් කිව්වා. ආමි එකෙන් නම් හැම වැඩක්ම කරලා දෙනවා. දුව තාම ඉස්කොලේ යනවා. මෙහෙ පාඩම් කරන්න බෑ. ළමයි පිට අරින්නත් බෑ. මෙහෙ තමයි පන්ති යන්නේ. පිටට ගියොත් පංති යන්න, ඉස්කෝලේ යන්නත් බැරිවෙනවා. දවල්ට මේ කුඩාරම් අස්සේ ඉන්නත් බෑ රස්නයි. වැස්සොත් කූඩාරම යටින් වතුර යනවා. අපිට වහල හැදුවා කියලා පනස්දාහ නතර කරන් නැතුව දෙනව නම් ලොකු දෙයක්. කන්න විදිහක් නෑ. හරියාකාරව උයාගන්න විදිහක් නෑ. ඒ හින්දා හැම එක්කෙනාටම පනස්දාහ ආයෙත් ලැබෙනවා නම් ලොකු සහනයක්.වහල හැදුවා කියලා අපිට තාම ගෙදර ඉන්න බෑ. ගෙදර බඩු මොකුත් නෑ. බඩුත් විනාශ වුණා. දැන් මාසයක්ම ජොබ් එකත් නෑ. අපිට මෙතන නිකන් දාලා යන්න බෑ. තියෙන බඩුත් නැති වෙයි. අනික ආමි එකෙන් වැඩ කරන්නේ අපි මෙතන හිටියොත් විතරයි.  අපි හිටියොත් විතරයි ගෙට ඇතුල් වෙන්නේ.
ජයතිලක මහතා සමග කතා කරමින් සිටිද්දි අප වෙත පැමිණි නිල්මිනි සෙනෙවිරත්න මහත්මිය සාලාව වැඩ කටයුතු ප්‍රමාදවීමට හේතුව පෙන්වා දුන්නාය. අපිට කූඩාරමක් දීලා තියෙනවා. ඒකේ දවල්ට ඉන්න විදිහක් නෑ. අපි කුලියට ගෙයක් අරං ඉන්නේ. අපිට එහෙ ගොඩක් කල් ඉන්න බෑ. ආමි එකේ වැඩ වලට ගල් තයෙද්දි සිමෙන්ති නෑ සිමෙන්ති තියෙද්දි වැලි නෑ. ඔහොම තියෙද්දි වැඩ කරන්න බෑ. ඒගොල්ලන් ඉක්මන්ට සප්ලයි එක දෙනවා නම් වැඩ කරයි. මේ හැම ගෙයකම බාගෙට නවත්තලා බඩු නැතුව. බඩු තිබ්බොත් මෙලහකට වැඩ ඉවරයි.
රණවිරු ගම්මාන සිට ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටි අප හමුවූ සාලාව ප්‍රෙදේශයේ පදිංචි සංජීව ජයසූරිය මහතා නිළධාරීන් පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කළේය.අපිට ආණ්ඩුවෙන් හැම දෙයක්ම කරන්න සූදානම්. ඒත් නිළදාරීන් තමයි අදිමදි කරන්නේ පරක්කු කරන්නේ. ඒකයි මෙතන තියෙන ලොකුම ගැටලුව. අපේ ඒ.ජී.ඒ මහත්තයාට කිසිම වුවමණාවක් නෑ. එයා හැම දේම පස්සට අදිනවා. පනස්දාහේ මුදල් ගෙවන්න දෙසීයක් ආවොත් එයා පිළිගන්නේ සීයක් විතරයි. මේ නිළදාරීන් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මුදල් අමාත්‍යංශයෙන් ආපදා කළමණාකරන අමාත්‍යංශයෙන් ලැබෙන මුදල් ප්‍රමණවත්. දැන් මෙහෙ හමුදාවෙන් ගෙවල්වලට වහලා දාලා යනවා බිත්ති වලට මොකුත් කරලා නෑ. බිත්ති තෙමුනොත් කඩා වැටෙන තත්වෙක තියෙන්නේ. බිත්තිවෙලා ලොකු ලොකු හිල් තියෙනවා. ඒවායින් රෑට සර්පයෝ වුණත් රිංගන්න පුලුවන්. වහලවල් හදා දුන්නට ගෙවල් අනාරක්ෂිතයි.
අවසානෙට සී/ස සාලාව ජනඋදාන සංවර්ධන සමිතිය ගිය දේශයේ අප සමග එහි සේවිකා ඒ.එන්.එස්. ෆරීනා මහත්මිය ඉතාමත් කණගාටුවෙන් කතා කළාය. අපේ සමිතියත් කඳවුරට කෙලින් ඉස්සරහ තියෙන්නෙ. මේක ආණ්ඩුවේ වත් කාගේවත් ගොඩනැගිල්ලක් නෙවෙයි. ගමේ මිනිසුන්ගේ මුදල් වලින් හදාගත්ත එකක්. මේ ගොඩ නැගිල්ලටත් හානි සිදුවුණා. ඒත වහල විතරයි ගහල දුන්නේ. වෙන මොකුත් කළේ. බිත්ති එහෙමත් පුපුරලා තියෙනවා. ආණ්ඩුවෙන් ලක්ෂ හතරහමාරයි පාස් කළේ. ඒත් ආමි එකෙන් ලක්ෂ හයහමාරකට තක්සේරු කළේ. ඒ ලක්ෂ හතර වහළ ගහන්නම ඉවරයි. වෙන මොකුත් කරගන්න බෑ. අනික අපේ සමිතියේ තිබ්බ බඩු සේරම විනාශ වුණා. පුටු මේස සේරම කැඩිලා. තිබ්බ ලියකිවිලි පිච්චිලා. අපි ලග කුලියට දෙන්න උත්සව භාණ්ඩ තිබ්බා. ඒවත් විනාශයි. ඒ හින්දා අපිට ආදායම් මාර්ගයක් නෑ. අපේ තිබ්බා පරිගණක මොනිටර් එහෙම විනාශ වුණා. ඒත් ඉතිං අපි වැඩ කරන්න ඕනි හින්දා ණයට අවශ්‍ය උපකරණ ගත්තා. ඒ ණය ගෙවන්නත් ඕනේ. අපේ සමිතියට වෙච්චි හානියට අපි පනස් දාහක් ඉල්ලුවා. ඒක දුන්නෙත් නෑ. මේ ටිකේ අපිට ආදායමක් නෑ. අපි සාලාවේ කඩවල්වලින් දෛනික ලොකු ආදායමක් පොලී මුදලින් ලැබුවා. සාලාවේ කඩවල් සේරම විනාශයි. ඒ හින්දා දැන් පොලී මුදලක්වත් මොකුත් ගන්න විදිහක් නෑ. අපිට ලයිට් බිලුයි වතුර බිලුයි ගෙවන්නත් බැරි තැනට පත්වෙලා ඉන්නේ. අපිට වැටුපකුත් නෑ. අපිට ආණ්ඩුවෙන් වැටුප් ගෙවන්නෙ නෑ. අපි පොලියට ණය දීලා ඒවා අය කරගැනීමෙන් තමයි ආදායමක් ලබන්නේ. ඒත් දැන් මිනිස්සුන්ගෙන් අපිට පොලිය තියා ණයවත් ඉල්ලන්න බෑ. මිනිස්සු අසරණ වෙලා. එහෙම ලබන ආදායමෙන් තමයි අපිට පඩියක් විදිහට දීමනාවක් ලැබෙන්නේ. ඒත් දැන් උත්සව භාණ්ඩවලින්වත් පොලීවලින්වත් ආදායමක් නැති හින්දා මෙතන වැඩ කරන අපිට පඩියක් නෑ. ඉතිං ආණ්ඩුවෙන්වත් අපිට පඩියක් ගෙවනවා නම් ලොකු දෙයක්. අපි ලෝක අමාරුවක වැටිලා ඉන්නේ. හැම තැනට ඇවිද්දා කිසිම විසඳුමක් නෑ.
සාලාව ප්‍රදේශවාසීන් නැවත නැවත චෝදනා කරන්නේ ඔවුන් පිළිඳව ආණ්ඩුවෙන් ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වන බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිසි අවධානය යොමු විය යුතුය. පසුගියදා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුම පෙන්වා දුන්නේ සාලාව වැසියන්ට ප්‍රමාද නොකර ඉතා ඉක්මණීන් සහන සපයන ලෙසයි. එබැවින් ආයතන සංග්‍රහ නීතිව හේතුවෙන් සහන කටයුතු ප්‍රමාද නොකර කඩිනමින් වසඳුම් සැලසීමට කටයුතු කළයුතුය. ආපදා කළමණාකරන අමාත්‍යංශයද අනතුරට පත්වූ ජනතාව වෙනුවෙන් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පවසයි. සාලාව ප්‍රදේශයේ උප්පැන් සහතික, ජාතික හැදුනුම් පත් ඇතුලු අනෙකුත් සහතික පත් අහිමිවූවන්ට නැවත එම සහතික පත් ලබා දීමට ජංගම සේවකයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමෙන් සාලාව නගර නිර්මාණයේදි විධිමත් නගර සැලසුම් ක්‍රමය අනුගමනය කරන බව පස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශද පෙන්වා දෙයි.


සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment