කච්චතීවෙට රතු ඒලියක්. පල්ලියට කොළ ඒලියක්.
උණුසුම්ව
ඇති තමිල්නාඩු මැතිවරණයේ ප්‍රබල අපේක්ෂිකාව වන ජයලලිතා ඉන්දීය අගමැතිවරයාට
ලිපියකින් සිය විරෝධය පළ කරන්නේ කච්චතිව් අන්තෝනි දෙව්මැදුර ඉඳිකිරීම සම්බන්ධවයි.
ඇය එසේ විරෝධය පළ කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේ නිළ
සංචාරයක නිරතවෙමින් එරට අගමැතිවරයා සමඟ රාජතාන්ත්‍රික සංකාච්ඡාවකට සූදානම්වන
මොහොතකයි. එම ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළාද? නැතිනම්
ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ වෙනත් එකඟතාවකට එළඹුණාද?
පසුගිය
මැයි 11වන දා කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර ඉඳිකිරීම සඳහා මුල්ගල් තැබීම
සිදුවිය. ඒත් සමඟම ජයලලිතාගේ මැතිවරණ වේදිකාවල තවත් මාතෘකාවක් බවට එයද එකතු විය. ඉන්දීය
ධීවරයන්දැනුවත් කිරීමකින් තොරව කච්චතිව් දූපතේ පල්ලිය ඉඳිකිරීම නිතීවිරෝධී
කටයුත්තක් බව ඇගේ වේදිකාවල පැවසුවාය. වහාම එම දෙව් මැදුර ඉඳිකිරීම නැවැත්වීමට
කටයුතුකරන ලෙස ඉල්ලා අගමැතිවරයා ලියුමකින් දැන්වුවාය.
ඒත්
සමඟම කච්චතිව් පල්ලිය ඉඳිකිරීම් කටයුතු භාරවූ ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩකටයුතු
ආරම්භ කර දින තුනක් ගත වෙන්නටත් මත්තෙන් ඉඳිකිරීම් කටයුතු නැවැත්වීමට තීරණය කළේය. එසේ
තීරණය කළේ කුමක් නිසාද? ජනාධීපතිතුමාගේ නියෝගයෙන්ද? නැතිනම් ඉන්දීය විරෝධයට බයවූ
නිසා ද? එසේත් නැතිනම් කතෝලික සභාවේ නියෝගයක්ද?
කාලයක්
තිස්සේම තමිල්නාඩු මැතිවරණ පොරොන්දු අතර ශ්‍රී ලංකාව තුළ වෙනමම රටක් ද්‍රවිඩයන්ට
ලබා දීම හා කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීම ප්‍රධාන පෙරොන්දු දෙකක් විය.
එම පොරොන්දුව ජයලලිතා මෙන්ම කරුණානිධිටත් පොදුය. නමුත් මෙවර එම පොරොන්දුවලට අමතරව එක්වූයේ
ශාන්ත අන්තෝනි දෙව් මැදුර සම්බන්ධ ගැටලුවයි.
කච්චතීව්
දෙරටටම වැදගත් දූපතක් වන්නේ ධීවර කටයුතු වලට ඉතාමත්මත් වාසිදායක ස්ථානයක් වන
නිසයි. එබැවින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දූපතේ අයිතිය සම්බන්ධයෙන් දීර්ඝාලීන
අර්බුධයයක්ද පැවතුනි.එය විසඳාගත හැකිවූය 1974 සිරමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා
ඉන්දිරා ගාන්ධි අතර ඇතිකරගත් ගිවිසුමෙනි. එම ගිවිසුමෙන් කියවුණේ කච්චතිව් ශ්‍රී
ලංකාවට අයත්වන බවයි. ඒ සඳහා ප්‍රමාණවත් සාධකද තිබුණි. නමුත් කච්චතිව් වල පිහිට
ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයට සහභාගීවීමට ඉන්දීයානුවන්ටත් අවසර
තබේ. එමෙන්ම ඉන්දීය ධීවරයන්ට ධීවර කටයුතු සඳහාද භාවිත කළ හැකිවිය. නමුත් ඒ සඳහා
වීසා හෝ විදේශ ගමන්බලපත්‍ර අවශ්‍ය නොවේ.
ස්තීර
මිනිස් වාසයක් නැති මෙම දූපතේ වාර්ෂිකව පවත්වන දේව මංගල්‍යයට දහස් ගණනින්
බැතිමතුන් සහභාගි වේ. පසුගිය වසරේ ඉන්දීය හා ලාංකීය බැතිමතුන් 7000කට අධික ප්‍රමාණයක්
සහභාගී වී ඇත. වාර්ෂිකව පවත්වන එම මංගල්‍යය දින තුනක් පුරා පවත්වන අතර බැතිමතුන්
දින තුන ගත කරන්නේ දූපත තුළයි. පානීය ජලය, ආහාර පාන හා වෙනත් කිසිඳු යටිතල
පහසුකමක් එම දූපතේ නැතත් බැතිමතුන්ගේ අවශ්‍යතා සියල්ල ශ්‍රී ලංකා නාවික හමුදාව
විසින් ඉටුකර දෙනු ලැබේ. එසේ වුවත් බැතිමතුන් දහස්ගණනාවකට එකවර දේව මෙහෙයේ නියලීමට
එම දෙව් මැදුර ප්‍රමාණවත් නොවේ. එයද 1901දී ඉඳිකළ දෙව්මැදුරකි. එබැවින් තාවකාලික නවාතැන්
පළවල් ඉඳිකරන්නටද සිදුවෙයි. එහෙයින් බැතිමතුන් වසර ගණනාවක් තිස්සේ විවිධ
අපහසුතාවන්ට මුහුණ දුන් අතර දෙව් මැදුර පුලුල් කිරීම දිගු කලක් තිස්සේ බැතිමතුන්ගේ
ඉල්ලීම විය.
මේ
වසර වාර්ෂික දේව මංගල්‍යෙයේදීද විවිධ පාර්ශවයන් ශාන්ත අන්තෝනි දේවස්ථානය පුලුල්
කරන ලෙස ඉල්ලූහ. එම මංගල්‍යයට සහභාගී වූ වාණිජ කටයුතු රාජ්‍ය ඇමති විජයකලා
මහේෂ්වරන් මහත්මියත් කච්චතිව් දූපතේ පිහිටි අන්තෝනි දෙව්මැදු අලුත්වැඩිය කර දීමට
මුල්වී කටයුතු කරන බව පොරොන්දු වූවාය. එමෙන්ම වසර 100ක් පමණ එම දෙව් මැදුර ප්‍රතිසංස්කරණය
කිරීමට යාපනයේ අගරදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාසම් කළ ඉල්ලීම අනුව නාවික
හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණවර්ධන මහතා භාරගත් අතර එය ඉන්දීය
පූජකතුමන්ලා 150කගේ පමණ ඇගැයිමටද ලක්විය.
ඒ
අනුව පසුගියදා මුල්ගල් තැබූ එම දෙව් මැදුරේ නව ඉඳිකිරීම් කටයුතු මාස හයකින් නිමකරන
බවත් 2017 වාර්ෂික මංගල්‍යය නව දේවස්ථානයේ සිදුකිරීමට හැකි බවත් නාවික හමුදා මාධ්‍ය
ප්‍රකාශක අක්රම් අලෙවි මහතා පැවසීය. වර්ග අඩි 3500ක් පුලුල් එම දෙව් මැදුර
ඉඳිකිරීම සඳහා රුපියල් මිලියන දහයක් වැයවෙයි. දේවස්ථානයේ මුහුඳු මැද දූපතක පිහිටන
බැවින් එහි ඉඳිකිරීම් කටයුතු නාවික හමුදාවට බාරවූ බවත් මාධ්‍ය ප්‍රකාශක අක්රම්
අලෙවි මහතා පැවසීය.
මුල්ගල්
තැබූ පසු දකුණු ඉන්දියවෙන් එල්ලවූ විරෝධයත් සමඟම දේවස්ථානයේ ඉඳිකිරීම් කටයුතු
නැවතුනි. ඒ සම්බන්ධයෙන් රටතුළ කසුකුසුවක්
ඇතිවිය. එසේ නවතා දැමීමට හේතුව කුමක්ද? ඉන්දීය බලපෑමද? නැතිනම් වෙනත් දේශපාලනික
බලපෑමක්ද? එලෙස දේශපාලනික බලපෑමක් වීමටද ඉඩ ඇත. ඉතිහාසය පුරා එබඳු දේවල් සිදුව
තිබේ.එහෙත් එබන්දක් තවම අනාවරණය වී නැත. නමුත් දේවස්ථානයේ ඉඳිකිරීම් නවතා දමා
නැතැයි හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි. මේ වන විට
දේවස්ථානයේ ඉඳිකිරීම් තාවකාලිකව නවතා ඇත්තේ වර්ෂාව නිසා බවත් වර්ෂාව අවසන් වූ වහාම
එහි ඉඳිකිරීම් නැවත ආරම්භ කරන බවත් විජේගුණරත්න මහතා පැවසීය. එමෙන්ම මේ සඳහා
කිසිඳු ඉන්දීය බලපෑමක් නැති බවත් හෙතෙම පවසා තිබේ.එසේ වුවත් ඉතිහාසය පුරාම ඉන්දීය
බලපෑම එම දූපත සම්බන්ධයෙන් එල්ල වී තිබේ.
2008දී
ජයලලිතා විසින් 1974 ගිවිසුම ව්‍යාවස්ථානුකූල නොවන බව ප්‍රකාශයට පත්කර රිට් ආඥාවක්
නිකුත්කරන මෙන් ඉල්ලා පෙත්සමක් ගොනු කළාය. 2013දී කරුණානිධි විසින් එවැනිම
පෙත්සමිකින් කච්චතිව් දූපත ඉන්දියාවට අයිති බව දක්වා සිටියේය. එහෙත් එරට ශ්‍රේෂ්ඩාධිකරණය
තීන්දුව හා මධ්‍යම රජයේ තීන්දුව වූයේ කච්චතිව් ලංකාවට අයිත භූමි භාගයක් බවයි.
එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේත් මහඇමතිනි ජයලලිත විසින් කච්චතිව් අයිතිය තමන්ට ඇති
බව පවසා සිටියාය. නමුත් ඉන්දීය වෙරළාරක්ෂක ප්‍රධානි වයිස් අද්මිරාල් අනුරාත් පී
දායිවීගල් ආරක්ෂ හේතූන් පෙන්වා කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරාගැනීමට කරන බලපෑම
තරයේ හෙළ දකියි. ඔවුන්ගේ එම ඉල්ලීම් සියල්ල ඉදිරිපත්වන්නේ මැතිවරණ සමයේදීය.
ඩෙල්ෆ්
වෙරළට කිලෝමීටර් 10ක් ඉන්දීය වෙරළට කිලෝමිටර් 22ක් ඈතින් පිහිටි වර්ග කිලෝමිටර්
1.5කින් යුත් කච්චතිව් දූපත තවමත් යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ් ප්‍රාදේශීය කාර්යාලයෙන්
පරිපාලනය වන භූමියකි. එම දූපත ඉන්දීය හා ලාංකීය ධීවරයන් ධීවර කටයුතු සඳහා කාලයක්
භාවිත කළත් වර්ථමානයේ එසේ භාවිත කිරීමත් තහනම් කර තිබේ.එය දැන් විවෘත වන්නේ ශාන්ත
අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික දේව මංගල්‍යයට පමණි. කතෝලික සභාව සාන්ති අන්තෝනි
මුනිතුමා බැතිමතුන්ට පිහිට හා ප්‍රාතිහාර්ය පානා මුනිවරයා ලෙස සළකන බැවින්
අතීතයේදී ධීවරයන් විසින් මුහුඳු අනතුරුවලදි පිහිට වන්නට මුනිතුමන්ගේ නමට මෙම කුඩා
දේවස්ථානය පිහිටුවන්නට ඇති. කච්චතිව් දූපතේ පිහිටි එකම ගොඩනැගිල්ල මෙම දේවස්ථානය
පමණී. එය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දේවස්ථානයකි. එම දේවස්ථානය රටවල්
දෙකක ජනතාව එකට මුණගස්වන දෙව්මැදුරයි. නමුත් එම දෙව් මැදුර රටවල් දෙකක් භේද කිරීමට
හේතුවක් කිරීම අවාසනාවකි.
සකීෆ්
තන්වීරි.
No comments:
Post a Comment