Friday, July 22, 2016

රටම ගංවතුරට හසුවෙයි.



රට පුරා දවස් කිහිපයක් ඇදහැලුන වැස්ස හේතුවෙන් ජීවිත හානි ගණාවක් සිදුවුණා. තවත් පිරිසක් තවමත් අතුරුදහන් වෙලා. විශාල පිරිසක් අවතැන් වෙලා. ගෙවල් ගණනාවක් වතුරට පසට යටවෙලා. ගම් ගණානාවක් තාමත් වතුර යට. පහත් බිම් සියල්ලම වගේ වතුරට යටවෙලා.ප්‍රධාන ගංගාවල් උතුරා යනවා. වැව් කිහිපයක්මක් කැඩිලා. පාලම් කැඩිලා. අඩි ගානක් පාරවල්වල වතුර පිරිලා. පාරවල් වහලා. ජනජීවිතය මුලුමනින්ම අඩාල වෙලා. වැස්ස තරමක් දුරට අඩු වුණාත් තාමත් ගංවතුර අවධානම තියෙනවා. මේ ලියන වෙලාව වන විටත් මහවැස්ස හේතුවෙන් ජීවිත හානි 40ක් අතුරදහන් වීම් 90ක් සුදුවෙලා. තවත් විශාල පිරිසක් තුවාල ලබලා. පවුල් 75000ක පමණ ලක්ෂ තුනකට වැඩි සංක්‍යාවක් පීඩාවට පත්වෙලා. පවුල් පනස් දහසක පමණ දෙලක්ෂ විසි තුන්දහස් හයසිය අසූ හත්දෙනෙක් අවතැන් කඳවුරු ‍375ක තාවකාලික රෑඳී ඉන්නවා. දිවයින පුරාම නිවාස 229ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. තවත් නිවාස 2647කට අර්ධ වශයෙන් හානි සිදුවෙලා. මේ විනාශයන් සේරම සිද්ධ වුණේ පැවතුන අයහපත් කාලයගුණයත් එක්ක ඇදහැලුන වැස්ස නිසා ඇතිවුණ නාය යෑම, ජල ගැලීම්, තද සුළං, අකුණූ සැර වැදීම් නිසයි.
පැවැති වැස්සත් එක්ක දිස්ත්‍රික් දහයක විතර විපත් සිදුවුණා. විශේෂයෙන්ම පහත්බිම් වල ගංවතුර තත්වයක් ඇති වුණා. කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, අනුරාධපුරය, කෑගල්ල හා කුරුණෑගලට යන දිස්ත්‍රික්ක වල ගංවතුර තත්වයන් ඇතිවුණා. දැඩි ලෙසම ගංවතුරෙන් පීඩාවුණේ කැලණි ගඟේ වතුර පිටාර ගැලීම නිසා ගං නිම්නයේ පහත් බිම්. වැල්ලම්පිටිය, කැලණිය, කඩුවෙල, හංවැල්ල, මල්වානවගේ පහත් බම් වතුරටයටවුණා.
වතුරට යටවුණ ප්‍රදේශවලට ගිය අපිට දකින්න ලැබුණේ ගැබිණි මව්වරු, දරුවන් වඩා ගත් අම්මලා, වැඩිහිටියන්, රෝගීන් කුඩා දරුවන් ඇතුලු සියලු දෙනාම ඇඳිවතින් අනාථ කඳවුරුවලට යන දර්ශනයයි. පහත් බිම් වල අඩි පහක් හයක් තරම් උසට වතුර පිරිලා. ගෙවල්වල හිරවුණ මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නෑ. ගෙදර උඩු මහලේ හිටපු අයට එලිවයට බැහල ආරක්ෂිත තැනකට එන්න විදිහකුත් නෑ. ප්‍රදේශය පුරාම විදුලිය කපලා. කඩවල් සියල්ලම වහලා. දුරකතන ඇමතුමක්වත් දෙන්න විදිහක් නෑ. වැල්ලම්පිටිය හරහා යන ප්‍රධාන පාර යටවී නොතිබ්බත්මහපාර දෙපැත්තේ අඩි පහක් පමණ යටවෙලා. මහපාර දෙපස වතු කිහිපයකම විශාල ජනගහනයක් ඉන්නවා. ඒ අයට ගෙවල්වලින් බෝට්ටුවක ආධාරයකින් තොරව එන්න විදිහක් නෑ. එසේ බෝට්ටුවකින් ආරක්ෂිත තැනකට පැමිණ සිට ඉර්ෆාන් මෙසේ පැවසුවා.
සාමාන්‍යයෙන් වැල්ලම්පිටියට වැස්සොත් දවස් දෙකෙන් තුනෙන් බහිනවා. මේ පාරත් අපි එහෙමයි හිතාගෙන හිටියේ. හැබෙයි මේ පාර එහෙම වුණේ නෑ. ඒක ආණ්ඩුවත් දන්නවා. නමුත් මේ වෙනකම් අපිව ගන්න බෝට්ටු අරං කවුරුවත් අවෙ නෑ. මිනිස්සු මේ එන්නේ ටයර් ටියුබ් වලින්. ආණ්ඩුවෙන් බෝට්ටු අරං එන්නේ අඩි හයක් විතර වතුර පිරුනට පස්සේ. සමහර තැන් වල හෙලිකොප්ටර වලිනුත් බේරුවා. නමුත් මෙහෙ මොකුත් කළේ නෑ. දැන් දවස් දෙකහමාරක් විතර මෙහෙ වතුර පිරිලා. කෑම බීම ගේනවා. ගෙනල්ලා මේ ළගම ඉන්න අයට දීලා යනවා. ඇතුලේ වතුරේ කොටු වෙලා ඉන්න අය අසරණයි.
ගංවතුරට හසුවූ ප්‍රදේශවල මිනිස්සු බේරගන්න ස්වේච්ඡා සහන සේවකයෝ, හමුදාව, නාවික හමුදා ගුවන් හමුදාව වරාය අධීකාරිය කටයුතු කළා. දැඩි ලෙස ගංවතුරෙන් හානි සිදුවූ වැල්ලම්පිටියේ මිනිස්සු මුදවගන්නවා නිරීක්ෂණය කරන්න පැමිණි සිටි පා.ම. මුජිබර් රහ්මාන්.දැන් කැලණී ගගේ වතුර වැඩි වෙලා. මිනිස්සු විශාල ප්‍රමාණයක් එන්න බැරිව හිරවෙලා ඉන්නවා. දැන් අපි උත්සහ කරනවා බෝට්ටු දාලා ඒගොල්ලව කඳවුරුවලට ගේන්න. දැන් තියෙන ප්‍රශ්න වතුර අඩි හය හතට වගේ නැගගෙනවා කියන එකයි. ඒ හින්දා දැනට බෝට්ටු කිහිපයක් දාලා තියෙනවා. තව බෝට්ටු කිහිපයක් එනවා. ඒ ටිකත් දාලා කොහොම හරි මිනිස්සු බේරගන්න තමයි දැන් මෙහෙයුම යන්නේ.
වැල්ලම්පිටියට බලපෑ මේ ගංවතුරට හේතුව පහදන වැල්ලම්පිටියේ එච්.එම්.වරුණජිත් මහතා. මං දැනුවත්ව 1989 ප්‍රබල ගංවතුරක් ආවා. ඒකෙන් කොලන්නාව හංවැල්ල කඩුවෙල සහ අනෙක් තැන්වලට ගංවතුර දාන්න දවස් පහළොවක් විතර වැස්සා. නමුත් අද දවස් තුනෙන් ගංවතුර ආවා. මේ තත්වයට ප්‍රධාන හේතුව ඉඩම් සහ වෙල් ගොඩ කිරීම. විශේෂයෙන්ම දැන් අඹගහ හන්දිය හා මාණික්කමුලන මහ වෙල්යාය ගොඩ කිරීම තමයි ප්‍රබල ගංවතුර තර්ජනයට හේතුව. කැලණි ගගේ වතුර වැඩිවුණාම ඒ වෙල්යායේ එකතුවෙලා ගලා බසින ආකාරයක් තිබුණා. ඒත් දැන් යම් කිසි කණ්ඩායමක් විසින් ලාභ ලැබීමේ අරමුණින් ගොඩකර විකුණා දැමීම තමයි මේ කොලොන්නාවේ ගංවතුර තත්වෙට හේතු වුණේ.
කැලණිය ප්‍රදේශයේත් කැලණි ගඟ අසබඩ ගෙවල් සේරම වතරට යටවෙලා. ගඟ අසබඩ සියලුදෙනාම ගං වේල්ල උඩ තාවකාලික කුඩාරම් තනාගෙනයි ඉන්නේ. ඒ වේල්ලත් දැඩි ලෙස හානි වෙලා. කැලණිය ප්‍රදේශයට ගං වතුර ගලා ගියේ මේ වේලේ සොරොව් දෙකක් පලුදුවීම නිසා. ඒක දැන් තාවකාලිකව අලුත්වැඩියා කළ බව වාරිමාර්ග දෙපාර්තුමේන්තු ප්‍රධාන ඉංජිනේරු මහත්මිය පැවසුවා.
ඒ ගැන කැලණිය පහේ කණු‍වේ ගඟ අසබඩ වැසියෙක් මෙසේ පැවසුවා. මෙතන සොරව්ව නෑ. ඒක අවුරුද දහයකට කලින් ගලවගෙන ගියා. තාම හැදුවෙ නෑ. දැන් ඒකට වැලි කොට්ට ගෙනල්ලා ගැහුවා. පැතියාගොඩත් සොරව්වක් කැඩිලා. මේ සොරව්ව කැඩිලා අවුරුදු දහයක් වෙනවා. මුලින් වැලිකොට්ට ගහලා තිබිලා කඩාගෙන ගියා. මේ ගෙනල්ල ගහල තියෙන්නෙ දෙවැනි වතාවට. මේකෙන් වතුර යද්දි පාරෙන් එහා ගෙවල් සේරම යටවෙනවා.
කැළණිය ගඟ අසබඩ හැම අවුරුද්දකම ගංවතුරට හසුවුණත් තාමත් ඒ පහත් බිම්වල පදිංචි වලො ඉන්න මිනිස්සු ඉවත් වෙලා නෑ. ඒ ගැන අනතුරට ලක්වූ මවකගෙන් අහද්දි ඈ පැවසුවේ. අපි දැන් අවුරුදු විස්සක් විසි පහක් විතර මෙහෙ ජීවත් වෙනවා. අපිට හැමදාම මෙහෙම්මයි ගංවතුර එන්නේ. නමුත් අපිට කිසිම ආධාරයක් නෑ. ඕනි නං අපිට බත් පැකට් එකක් ගෙනත් දෙයි. ඒකත් එක වේලකට තමයි. අපිට මේ තියෙන ගෙවල් කඩලා දාලා වෙන කොහෙ හරි ගෙයක් හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නෙ. අපි පිටකොටුවේ කරත්ත ඇදලා තමයි ජීවත් වෙන්නේ. අපිට එකපාරටම ගෙවල් දොරවල් ගන්නවත් අපිට යන්නවත් තැනක් නෑ‍.
තවත් කාන්තාවක් ඇගේ දුක ප්‍රකාශ කළේ මෙහෙම. අපිට කිසිම රජයකින් කිසිම උදව්වක් කරළා නෑ. මෙතන ලෙඩ්ඩු හුඟක් ඉන්නවා. අනික වතුර වල විෂබීජ. මෙතැන එක නිළධාරියෙක්, එක මන්ත්‍රී කෙනෙක් එක ඇමති කෙනෙක් ආවේ නෑ. වෙන මොකක් හරි නම් පොලිසිය ඇවිත් නීතිය ක්‍රියාත්මක කරන්න නං ඉන්නවා. අපිට කෑමවත් දුන්නෙ නෑ. අපි කෑම ගෙනාවේ රුපියල් 150ක් දීලා කෑම පැකට් එකක්. ඒක කීදෙනෙක් කන්නද? කෑම ගෙනාවමත් දෙන්නේ එයාලාගේ කල්ලි වලට විතරයි. හැම මැයි මාසේ අපිට මේ ඉරණමම තමයි.
ඉහළ කඳුකරයට නොකඩවා ඇදහැලෙන මහවැස්ස නිසා කැළණි ගඟේ ජල මට්ටම තවත් ඉහළ යන නිසා අවට පෙදෙස් වලින් පදිංචිකරුවන්ට ඉවත්වෙන්න ආපදා කළමණාකරන මධ්‍යස්ථානය බ්‍රහස්පතින්දා වන විට දැනුම් දී තිබුණා. ඒත් එක්කම මල්වතු ඔය, කලාඔය, කුරගඟ, කැලණි ගඟ ඇතුලු සෑම ප්‍රධාන ගංගාවලම වතුර මට්ටම ඉහළ යන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දන්වා තිබුණා.
බස්නාහිර වගේම වයඹ හා උතුරු මැද පළාත්වල ජනතාව අවතැන්වුණේ වැව් අමුණු පිරි උතුරා යාමත් සමඟයි. 19වැනිදා වෙද්දී ප්‍රධාන ජලාස 73ක ජල ධාරිතාව ඉහළ ගොස් තිබුණා. ජලාශ 22ක් වාන් දමමින් තිබුණා. මහවලච්චිය, මහකනදරාව, නාච්චදූව, නුවරවැව, රාජාංගණය, යෝධවැව, බතලගොඩ, දැදුරුඔය, අබකොළ වැව, තබ්බෝව, ඉඟිනිමිටිය, බඳගිරිය, මව්ආර, වෙහෙරගල ජලාශ එසේ වාන් දැමමින් තිබුණා. කලාවැවේ වාන් දොරටු අඩි 20ක් උසට විවෘතව තබන්න සිදුවූ බව මහවැලි කලාපයේ තාක්ෂණ සේවා කළමනාකාර ජයන්ත ප්‍රේමලාල් මහතා පැවසුවා. අඛණ්ඩ වැස්ස නිසා රජරට අක්කර දහස්ගණනාවක කුඹුරු යටවී තිබුණා. සමහර ගම්මානත් යටවී තිබුණත් ගුවන් හමුදාවේ මෙහෙයුම් වලින් ජනතාව බේරා ගන්න කටයුතු කළා. නමුත් ජීවිත හානි කිහිපයක්ම රජරටින් වාර්තා වුණා. ගංවතුර අවධානම් ඇති සෑම ස්ථානයක ගුවන් හමුදාව නාවික හමුදාව යෙදවීමට රජය කටයුතු කළා.

තල්දූව, ගම්පහ, නවගමුව, කැලණිමුල්ල, මල්වාන, රුවන්වැල්ල, කඩුවෙල, රනාල, වැල්ලම්පිටිය, දොම්පේ, ඔවිටිගම, තරාලේ, රාජාංගණය, මන්දගල් ආරු, පුනරීන්, එප්පාවල, නිකවැරටිය, ගිරිබාව, නීලබැම්ම, රස්නායක පුර, සහ තබ්බෝව යන අවදානම් ප්‍රදේශවල ගංවතුරට හසුව සිටින ජනතාව බේරාගැනීමට නිවික හමුදා කණ්ඩායම් 31ක් යොදවාතිබුණා.

No comments:

Post a Comment