Friday, July 22, 2016

රාජ්‍ය අැමතීහු කලබගෑනියක.





මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවස්ථා ගණනාවකදීම ඇමති මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡා කර, කැබිනට් ඇමතිවරුන්ට අයත් විෂය පථයෙන් කොටසක් රාජ්‍ය ඇමතිවරුන්ට ලබා දෙන උපදෙස් දී ඇතත් මේ වන තුර කැබිනට් ඇමතිවරු සිය විෂය පථයෙන් කොටසක් තමන්ට නිළ වශයෙන් බාරදී නැතිබව රාජ්‍ය ඇමතිවරු චෝදනා කරති.
එමෙන්ම කැබිනට් ඇමතිවරු තම ආයතන වල පැවැත්වෙන උත්සව සඳහා ආරාධනා නොකරන බවත් රාජ්‍ය ඇමතිවරු අමාත්‍යංශයට පැමිණියත් නිකරුණේ කාලය ගත කිරීමට සිදුව ඇති බවත් ඔවුන් චෝදනා කරති. මේ හේතුව නිසාම රාජ්‍ය ඇමතිවරු ගණනාවක්ම අමාත්‍යංශයට වාර්තා කිරීම පැහැර හරින බවද වාර්තා වෙයි.
ආරක්ෂක කැබිනට් ඇමති දූරය දරණ ජනාධිපතිවරයා සිය විෂය පථයෙන් කොටසක් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාටත්, ආර්තික ප්‍රතිපත්ති සැලසුම් සංවර්ධන කැබිනට් අමාත්‍ය දූරය දරණ අගමැති සිය විෂය පථයෙන් කොටසක් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාට මහතාටත්, අධ්‍යපන කැබිනට් ඇමති දූරය දරණ අකිල විරාජ් කාරියවසම් මහතා සිය විෂය පථයෙන් කොටසක් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධාක්‍රිෂ්ණන් මහතාටත් ගැසට් මගින් බෙදා දී ඇත. අනෙක් කිසිදු කැබිනට් ඇමතිවරයෙක් නිල වගකීමක් හෝ විෂයක් ගැසට් මගින් පවරා නැතිබව අනාවරණය වී ඇත.
මේ ආණ්ඩුව අපිට ඇමති දූරයා දීලා අවුරුද්දකට වැඩියි. ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයේදී උපදෙස් දීලා තියෙනවා නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට විෂය බෙදල දෙන්න කියලා. නමුත් අද වෙනකම් කැබිනට් ඇමතිවරු කිසිදු වගකීමක් බෙදල දීලා නෑ. අපි කරගෙන යන වැඩි පවා ඒවා මන්දගාමී කරන්න කැබිනට් ඇමතිවරුඋපක්‍රම යොදන්න කටයුතු කරනවා. මේ තත්වෙ තමයි හැම රාජ්‍ය ඇමතිවරයෙක්ටම වෙලා තියෙන්නේ. අපිට බලය නැතුව වැඩ කරන්න බැහැ. බලය නැතුව මෙහෙම නිකම්ම ඉන්න එකේ තේරුමක් නෑනේ. සමහර අමාත්‍යංශවල රාජ්‍ය ඇමතිවරු අමාත්‍යංශයට යන්නෙත් නෑ. මේ බලය බදා ගැනීමේ රෝගය වැළදිලා තියෙන්නේ ඇමතිවරු කිහිපයකටයි. අපි රාජ්‍ය ඇමතිවරු සියලු දෙනාම ලබන පාර්ලිමේන්තු වාරයේදී හම්බ වෙනවා. අපි ඒකේදී මේ තියෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරළා තීරණයකට එළඹෙනවා. (පාලිත රංගේ බණ්ඩාර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය)
පසුගියදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා පවසා සිටියේ මේ වන විටත් එක් රාජ්‍ය මන්ත්‍රීවරයෙක් තමා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවයි. එහෙත් එහිදි එම ඇමතිවරයාගේ නම හෙළිදරව් නොකළේය. ඒ අතරම පුනරුත්තාපන හා යළි පදිංචිකරවීමේ රාජ්‍ය ඇමති ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාවරදී විදෙස් ගතව ඇතැයි වාර්තා වෙයි. මේ තත්වය උඩ ඉදිරි දිනයන්වලදී රාජ්‍ය ඇමතිවරු කිහිපයක්ම ඉල්ලා අස්වන ලකුණු පහළ වී තිබේ.
රාජ්‍ය ඇමතිවරුන්ට බලය නැතිව වැඩකරන්න බෑ කියලා අපි ජනාධිපතිතුමට කියල තියෙනවා. අපි සති දෙකයි බලන්නේ. බලයක් නැතුව ඉන්න එකේ තේරුමක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්වාදී දේශපාලනය තුළ මේ පිළිබඳ රජයක් විදිහට වගකිවයුත්තන් විදිහට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් තීන්දු ගන්න පුලුවන් නම් හරි. දැන් අපි කාලය දීලා තියෙන්නෙ. (ටී.බී. ඒකනායක - ඉඩම් රාජ්‍ය ඇමති)
රාජ්‍ය ඇමතිවරුන් සම්බන්ධ මේ ගැටලුවට ඉක්මන් පිළියමක් යෙදීමට ජනාධිපතිවරයා විසින්අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දී ඇත. ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර නිළ වශයෙන් බලය බෙදීමක් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා අවශ්‍ය වන විශේෂ ගැසට් පත්‍රය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සකස් කොට ජනාධිපතිවරයා ඉදිරිපත්කර අනුමැතිය ලැබූ වහාම රාජ්‍ය ඇමතිවරුන්ගේ අදාල විෂයන් ගැසට් කිරීමට නියමිතයි.
මේ වනවිට දිවුරුම් දී සිටින රාජ්‍ය ඇමතිවරු.
එ.ජා.ප
1.      කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය - රවීන්ද්‍ර සමරවීර
2.      නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය - පාලිත රංගේබණ්ඩාර
3.      ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය - දිලීප් වෙදආරච්චි
4.      ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  රාජ්‍ය අමාත්‍ය - නිරෝෂන් පෙරේරා
5.      ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය - රුවන් විජේවර්ධන
6.      කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය - චම්පික ප්‍රේමදාස
7.      ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි - විජයකලා මහේෂ්වරන්
8.      ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය - සුජීව සේනසිංහ 
9.      වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය - වසන්ත සේනානායක
10.  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය - වසන්ත අලුවිහාරේ

එ.ජ.නි.ස
1.      ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය - ඒ.එච්.එම්. ෆවුසි
2.      මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය - ඩිලාන් පෙරේරා
3.      ඉඩම් රාජ්‍ය අමාත්‍ය - ටි.බි. ඒකනායක
4.      නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය - ප්‍රියංකර ජයරත්න
5.      මුදල් රාජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් යාපා අබේවර්ධන
6.      අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - වී. රාධා ක්‍රිෂ්ණන්
7.      පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය - ඒ.එල්.එම්. හිස්බුල්ලා
8.      විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - මොහාන්ලාල් ග්‍රේරු
9.      නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය - සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
10.  විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය-ලක්ෂ්මන් සෙනෙවිරත්න.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment