Friday, July 22, 2016

බලවතුන් අතරේ ජනපති සිරිසේන.


බලවතුන් අතරේ ජනපති සිරිසේන.


මෙවර ජපානයේ පැවැත්වෙන ලෝක ආර්තික බලවතුන් හත්දෙන හමුවන ජී-7 සමුවළුව නම් කර ඇත්තේ “ඉෂේසීමා ජී-7” යනුවෙනි. එසේ නම් කර ඇත්තේ මෙවර සමුලුව ජපානයේ ඉෂේසීම නගරයේ පැවැත්වෙන බැවිනි. 42වන වරට පැවැත්වෙන මෙම ජී-7 සමුළුවේ සභාපතීත්වය හිමිව ඇත්තේ ජපාන අගමැති ෂීන්සෝ අබේ මහතාටයි. වසර අටකට පසුව නැවත වරක් ජපානයේ මෙන්ම ආසියානු මහද්වීපයේ ජී-7 හෙවත් ලෝක බලවතුන්ගේ සමුලුව පැවැත්වීම විශේෂත්වයකි.
2016 ජී-7 සමුළුව ශ්‍රී ලංකාවට වඩාත් විශේෂ වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාටත් ලෝකබලවතුන්ගේ සමුළුවට සහභාගීවීමට ආරාධනාවක් ලැබීමයි. ශ්‍රී ලංකාවේ දිගුකාලින මිත්‍රයෙක් වන ජපානය අගමැති ෂින්සෝ අබේ මහතාගේ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එවා ඇති ආරාධනා පත්‍රයේ කොටසකි මේ. “මා ඔබතුමාගේ රජය සහ ඔබතුමා විසින් සංහිඳියාව දියුණු කිරීමටත් ජාතික ආර්ථිකය වර්ධනය කිරීමටත් ගෙන ඇති පියවර ගැන ඉමහත් පැහැදීමකට පත්ව සිටිනවා. මම සම්පූර්ණයෙන් විශ්වාස කරනවා ශ්‍රී ලංකාව ඔබතුමාගේ නායකත්වයෙන් ජාතික සංහිඳියාව සහ සහෝදරත්වය තුළින් සමෘධීමත් දේශයක් ගොඩනගාගෙන ආසියාවේ දියුණු ආලෝකය බවට පත්වේ යැයි කියා.” මෙවර පැවැත්වෙන ජී-7 සමුළුවට ශ්‍රී ලංකාවට අමතරව බංගලාදේශය, වියට්නාමය, ලාඕසය, පැපුවා නිව්ගිනිය, චැඩ් රාජ්‍ය හා ඉන්දුනීසියාව යන රටවලට ආරාධනා ලැබ තිබේ.
නවසිය හැත්තෑව දශකයේ හටගත් තෙල් අර්බුධයට මුහුණ දීම සඳහා ප්‍රධාන තෙල් පාරිභෝගකි කාර්මික රටවල් පොදු ප්‍රවේශයකට ගොනු කිරීමට ප්‍රංශ ජනාධිපති ගක්සාද් දොස්තේට 1975දී රැස්වීමක් කැඳවීය. ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ඉතාලිය හා ජපානය යන මහා කාර්මික රටවල් එයට සහභාගී වූ අතර ඔවුන් විසින් ජී-6 කණ්ඩායම පිහිටුවගන්නා ලදී. එම කණ්ඩායමට 1976දී කැනඩාව එක්වීමෙන් ජී-7 බවට පත්විය. 1991දී සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසු බටහිර රටවල් විසින් රුසියාවද එම කණ්ඩායමට එක්කරමින් ජී-8 ලෙස නම් කළ අතර 2014දී රුසියාව යුක්රේනයේ ක්‍රීමියාව ආක්‍රිමණය කිරීමට ප්‍රතිචාරයක් ලෙස රුසියාවේ ජී-8 සාමාජිකත්වය අත්හිටුවූ බැවින් නැවතත් එය ජී-7 බවට පත්විය. මෙම මහා කාර්මික රටවල් හෙවත් ලෝක බලවතුන් ලෝක ජනගහනයෙන් 11%ක් පමණී. එහෙත් ලෝක වත්කමින් 64%ක් හා ලෝකයේ සමස්ථ නිෂ්පාදනයෙන් 46% ඔවුන් සතුය.
ජපානයේ පැවැත්වෙන ජී-7 සමුලුවට සාමාජික රටවල් නායකයන්ට අමතරව යුරෝපා සංගමයේ නායකයන්, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකු සභාපති, O.E.C.D හි සභාපති, I.M.F. හි ප්‍රධානි, එක්සත් ජාතීන්ගේ මහලේකම් හා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති යන අයද සහභාගී වෙති.
21වන සියවස ආසියාවේ සාවර්ධන සියවසය බැවින් ආසියානු  ආර්ථික වර්ධනය සහ ඒ සඳහා තිබෙන අභියෝග සම්බන්ධව මෙම සමුලුවේදී විශේෂ අවධානයක් යොමුවෙයි.ආරාධිත රටවල් ගණනාවක්ම ආසියාවේ දියුණු වෙමින් පවතින රටවල් වන බැවින් දියුණු රටවල්වල සහයෝගය හා මඟපෙන්වීමද ලැබෙනු ඇති බවට මෙම සමුලුව වැදගත් සංඥාවකි. එමෙන් ආසියානු ශාන්තිකර කලාපය හා සම්බන්ධ ගැටලුද මෙවර කතාබහට ලක්වෙයි.
එමෙන්ම මෙවර සමුළුවට සහභාගී වන ජපානය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ලාඕසය, පැපුවා නිව්ගිනියාව යන රටවල් දූපත් රාජ්‍යයන් වේ. මෙම දූපත් රාජ්‍යයන් වල එල්ලවී ඇති ප්‍රධාන තර්ජනය ගෝලීය උණුසුමත් සමග මුහුඳු මට්ටම ඉහළ යාම හා පාංශු කාදනයයි. එබැවින් මෙවැනි ගෝලීය පාරිසරික කාරණා සම්බන්ධයෙන්ද සමුලුවේ විශේෂ අවධානය යොමුවෙයි. මීට අමතරව අවධානය යොමුවන අංශයන් වන්නේ උසස් මට්ටමේ ආයෝජන නොදියුණු රටවලට ගෙනයාම, කාන්තා ගැටලු හා කාන්තාව සවිබල ගැන්වීම, ජාතික ආරක්ෂාව, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර සංවර්ධනය හා සෞඛ්‍ය සුරක්ෂිතභාවය ආදියයි.
මෙවර සමුලුවට සහභාගීවීමට ශ්‍රී ලංකා ජනපතිට අවස්ථාවක් ලැබීම විශේෂ වරමකි. බලවතුන්ගේ සමුළුව ඇසුරෙන් සංවර්ධනාත් සංවාදයකට අවස්ථාවක් ලැබෙන අතර බලවත් රාජ්‍යනායකයින් හත්දෙනා පුද්ගිලකව හමුවී අපේ රටේ ප්‍රතිරූපය ඔවුන් ඉදිරියේ ගෙන යාමටත් එමගින් ආර්ථික අවශ්‍යත සපුරා ගැනීමට ඔවුන්ගේ අතහිත ලබාගැනීමටත් අවස්ථාව උදාවෙයි. දැනටමත් ජපාන අගමැති, ජර්මානු නායිකාව ඇතුලු බලවත් නායකයන් සියලු දෙනා සමඟම මිත්‍රශීලි සම්බන්ධතාවයක් වත්මන් ජනපති පවත්වාගෙන තිබෙන බැවින් මෙම හමුව තවත් අධිකව ප්‍රථිලාභ අත්කර දෙනු ඇත. එමෙන් ලෝක බැංකුව ඇතුලු ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් හා එක්සත් ජාතීන්ගේ මහලේකම් වැනි ලොව ප්‍රබල සංවිධාන්වල ප්‍රධානීන්ද සහභාගී වන බැවින් මූල්‍ය ආධාර, ණය ආධාර ලබා ගැනීමටත් අවස්ථාව උදාවෙයි.
ඇමරිකානු ජනපති බැරක් ඔබාමාට මෙම සමුළුව වැදගත් වන්නේ ඔහු සහභාගී වන අවසන් ජී-7 සමුළුව මෙය වන බැවිනි. මෙම සමුළුවෙන් අනතුරුව ඇමරිකානු ජනපාති දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව විසින් පරමාණු බෝමබ හැලූ හිරෝෂීමා නගරයටත් සංචාරයට කිරීමට නියමිතයි. ඇමරිකාව අතින් මානව වර්ගයට සිදුව වරද සම්බන්ධව කම්පාවෙමින් සාමය හා සංහිඳියාවේ චාරිකාවක් ලෙස මෙම එම සංචාරයේ නිරත වීමට නියමිතයි. ශ්‍රී ලංකාවත් වසර තිහක සිවිල් යුද්ධයකින් පසුව සාමය හා සංහිඳිය සමඟ දියුණුව අත්කරගැනීමට උත්සහ කරන රටක් වශයෙන් මෙවැන රාජ්‍ය නායකයන් හමුවීමට ලැබීම වැදගත් කරුණකි.
මෙම සමුළුවට යුරෝපා සංගමය ද සහභාගි වන බැවින් ජාත්‍යන්තරයෙන් අප දිනාගත යුතු බොහෝ දේ සම්බන්ධයෙන් වාසියක් අත්කරගැනීමටත් අවස්ථාවක් උදාවෙයි. ඒ සඳහා යුරෝපයේ සහ ප්‍රබල රටවල සහයෝගය අවශ්‍යයි.  විශේයෙන්ම GSP+ ඇඟළුම් සහනය, යුරෝපයට මසුන් අපනය කිරීමේ අවසරය, මානව හිමිකම් පිළිබඳ තිබෙන ගැටලු ආදියට යුරෝපීය ප්‍රජාවගේ ඇමරිකාවේ සහයෝගය අත්‍යශ්‍යය. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත් මෙම අවස්ථාවෙන් රාජ්‍ය නායකයනගේ සහයෝගය ලබාගත හැකිය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතුරින් වැඩිම සංචාරක පිරිස ජර්මනියෙන් වන අතර ජර්මානු නායිකාව ද සමුළුවට සහභාගි වේ. එහිදි සංචාරක කර්මාන්තය ඇතුළු අනෙක් ව්‍යාපාරික ක්ෂේත්‍රවලට නව ආයෝජන ගෙන්වා ගැනීමටත් හැකියාව ලැබෙයි.
නමුත් එයටත් වැදගත් කරුණ වන්නේ ජපාන අගමැති ශිංෂෝ අබේ මහතා මාධ්‍ය නිවේදනයකින් පවසන්නේ ජපානය ශ්‍රී ලංකාවට වාර්ෂිකව කිසිඳු කොන්දේසියකින් තොරව ඇ.ඩො. 300-400ත් අතර මුදල් ප්‍රමාණයක් සෘජු ආධාර වශයෙන් හා විවිධ මූල්‍ය ආයතන හරහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර ඇති ව්‍යාපෘති සඳහා වෙන්කරන ආධාර ඇතුළුව වාර්ෂිකව ඇ.ඩො. බිලියනයකට ආසන්න ආධාරයක් පිරිනමන බවයි. එබැවින් ජනාධිපතිතුමාගේ ජපාන සංචාරය හුදෙක් ජී-7 සමුළුවට සම්බන්ධ කිරීමට වඩා තවදුරටත් ජපානයේ හොඳහිත දිනාගැනීමේ පුළුල් අරමුණක් කරා විහිදුනු චාරිකාවක් ලෙස සැළකිය හැකිය.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment