Monday, March 13, 2017

බත් නැත්තම් පාන් කාපන්

මේ දවස්වල ආපන ශාලා හිමියන්ට මුහුණ දීමට සිදුව ඇත්තෙ තිත්ත අත්දැකීමකටයි. දිවා බත් පැකැට්ටුව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම ලොකුම ගැටලුව බවට පත්ව ඇතැයි ආපනශාලා හිමියෝ මැසිවිලි නගති.  ප්‍රමිතියකින් තොර ආනයනික හාල් නිසා පිසින බතෙන් වැඩි කොටසක් කුණුකූඩෙට දැමීමට සිදුව තිබේ. ඒ නිසාම පාරිභෝගිකයන් බහුතරයක් පිටි ආහාර වෙත යොමුව තිබේ. මේ අයුරින් අලුත් පාන් සංස්කෘතියක් නිර්මාණය වී තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
වෙළඳපොළේ සිදුවන වෙනස්කම් ඒ ආකාරයෙන්ම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලටත් බලපානු ලබයි. පසුගිය දින කිහිපය තුළ සිදු වූ හාල් මිල ඉහළ යාමත් සමඟ මිනිසුන්ගේ පරිභෝජන රටාව සීඝ්‍රයෙන් වෙනස් විය. තුන්වේල බත් කෑමට පුරුදු වී සිටි ජනතාව පාන් කන්නට පටන්ගෙන ඇත. උදේ බත් පිසින අම්මලා පවා චූන් පාන් ප්ස්සේ පන්නති. වෙනදා පාන් හා ක්ෂණික නූඩ්ල්ස් කලාතුරකින් කෑ දරුවන්ට අම්මලා දිනපතා ක්ෂණික නූඩ්ල්ස් නැතිනම් පාන් හෝ බනිස් කන්න දී පාසැල් යවති. විවේක වේලාවේ බත් කෑ පාසල් දරුවන් රෝල්ස්, පැටිස්, රොටි, තෝසේ, වඩේ, පරාටා, බිත්තර රොටී වැනි ආහාර කන ප්‍රවණතාවය වැඩි වී තිබේ. රෝහල්වල පවා රෝගීන්ට පාන්පිට ගිල්වීමට සිදු වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස පාන් පිටි අලෙවිය 60%කින් වැඩි වී ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. නමුත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා පවසන්නේ පිටි ආහාර අලෙවියේ පෙන්නුම් කරන්නේ පුංචි වැඩිවීමක් පමණක් බවයි.
හාල් මිල වැඩිවීමට විකල්ප ලෙස පාන් පිටි ආහාර වෙත ජනතාව යොමු වූහ. එක් පැත්තකින් බේකරි හිමියන්ට වැඩි ලාභයක් සහ හොඳ වෙළෙඳපොලක් ලැබී ඇත. අනිත් පැත්තෙන් පාරිභෝගිකයා ලෙඩ වාට්ටුවකට තල්ලු වී ඇත. වෙළඳපොල දත්ත අනුව ලෝකයේ අඩුම පාන් මිල පවතින්නේ ශ්‍රී ලංකාවේය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණ කළ ප්‍රමුඛ කාර්යයන් අතර පාන් මිල පහත දැමීම මූලික විය. ඔවුන් එය සාධාරණීය කළේ ලෝක වෙළඳපොළේ පාන් පිටි මිල පහත වැටී ඇති බැවින් දේශීය පාන්පිටි පරිභෝජනය ඉහළ දැමිය යුතු බව පවසමිනි. නමුත් අවසානෙට සිදු වූයේ පාන්පිටි බදු සහනයේ අතුරු විපාකය ලෙස වී නිෂ්පාදන අතිරික්තයක් නිර්මාණය වීමයි. ගොවියාට සිය වී අලෙවි කරගත නොහැකිය. අවසානෙට ගොවියා සියදිවි නසා ගැනීමට සිදු වෙයි. වී නිෂ්පාදනය අර්බුදයකට ඇද දැමුවේ පොහොර හෝ කාලගුණය නොව ආණ්ඩුවේම වැරදි තීරණ හා ප්‍රතිපත්තීන්ය. එය ඇතැම්විට ඇමරිකාවේ උගුලක් විය හැකිය. සිය තිරිඟු විකුණාගැනීමට සෑම රටකම දේශීය නිෂ්පාදනය බිඳ දැමීම ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රායයි.
මෙරට වාර්ෂික පාන්පිටි පරිභෝජනය මෙ.ටො. ලක්ෂ 17 ඉක්මවයි (මේ වසර තුළ පාන් පිටි ටොන් ලක්ෂ 11ක් වැඩිපු ආනයන කර තිබේ) 2013 වසරේ මෙ.ටො.8ක් පමණි. ඒ අනුව දැන් වසරකට ඒකපුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කි.ග්‍රෑ. 60ටත් වඩා වැඩි වී අත. ඒක පුද්ගල සහල් පරිභෝජනය 135 සිට 105 දක්වා පහත වැටී ඇත. රටේ ජාතික වී නිෂ්පාදනය මෙ.ටො. ලක්ෂ 50කට ආසන්නය. සහල් නිෂ්පාදනය මෙ.ටො. ලක්ෂ 26ක් පමණය. ගොවියන්ගේ එම වී රජය විසින් මිලදී ගනු ලබයි. නමුත් ජනතාව පරිභෝජනය කරන පාන්පිට ප්‍රමාණය හාල් පරිභෝජනයට අඩකට වඩා වැඩිය.  රජය මිලදී ගන්නා වී ගබඩා කර තැබීමෙන් පසු එම වී නරක් වීම හෝ ගබඩා පහසුකම් අවමවීම යන කාරණා නිසා සත්ව ආහාරයට විකුණා දමයි. එසේ නැතිනම් බියර් නිෂ්පාදකයන්ට විකුණා දමයි. එසේ සත්ව ආහාර වශයෙන් විකිණීමට සිදුවුවහොත් රජයට විශාල පාඩුවක් දැරීමටත් සිදු වෙයි.
හාල් මිල නොසිතූ ලෙස ඉහළ යාමට හේතුව විශාල මෝල් හිමියන් හාල් වෙළඳ පොළට ඒම වැළැක්වීමයි. වීවලට පාලන මිලක් නියම කිරීම නිසා කුඩා මෝල් 4000ක් පමණ වැසී ගොසිනි. ආණ්ඩුව ගොවියාගෙන් මිලදී ගන්නා වී මිලදී ගැනීමේ හැකියාව තිබෙන්නේ විශාල මෝල් හිමියන්ට පමණි. එම හේතුව නිසා විශාල මෝල් හිමියන්ගේ අධිකාරයක් හාල් නිෂ්පාදනයේ නිර්මාණය වී තිබේ. හාල්වලට ‍රජයේ මිල පාලනයක් තිබුණද වෙළඳපල මිල පාලනය සිදුවන්නේ විශාල මෝල් හිමියන්ගේ වුවමණාවන් අනුවය. එබැවින් විශාල මෝල් හිමියන්ට පමණක් වී මිලදී ගැනීමට තිබෙන ක්‍රමය වෙනස් කර කුඩා මෝල් හිමියන්ටත් මිලදී ගැනීමට හැකි ක්‍රමවේදයක් රජය සැකසිය යුතුයි. වෙළඳපොල තරඟය විසින් මිල පාලනයක් සිදුවීම බලාපොරොත්තු විය හැක්කේ එසේ කිරීමෙන් පමණි. ඒ වෙනුවට ඉන්දියාවෙන් බංගලාදේශයෙන් තැම්බූ වී ආනයනය කිරීම පැලැස්තර විසඳුමකි.
පාන් සංස්කෘතිය වරදක් නැත. දවල්ට පිසූ බත ද රාත්‍රී සැහැල්ල ආහාරයක් වශයෙන් පාන්ද කෑම සිදුසුය. නමුත් තිරඟු පිටි පාන්වලට වඩා හාල්පිටි පාන් සෞඛ්‍යයට හිතකර මෙන්ම ලාභදායි වේ. දැන් වෙළඳපොලේ තිරිඟු පිටි පාන් 1000ක් පමණ විකිණෙද්දි හාල් පිටි පාන් විකිණෙන්නේ 200ක් පමණි. තිරිඟු පිටි පාන් රාතත්තලයකට වඩා රුපියල් හයක අඩු වියදමික් හාල්පිටි පාන් නිෂ්පාදනය කළ හැකිය. එහෙත් පාරිභෝගියන් එයට හුරු වී නොසිටීම කණගාටුවට කරුණකි. දැන් දැන් පාන් පිටිවලින් සැදූ පිට්ටු හා ඉඳිආප්ප කඩවල තිබෙන්නෙත් පාන්පිටි පිට්ටු සහ ඉඳිආප්ප වීම තත්වයේ සෝචනීයත්වය පෙන්නුම් කරයි. මේ විපර්යාසය අද ඊයේ දිනකින් දෙකකින් සිදු වූවක් නොවේ. සහල් මිල වැඩිවීමට පෙර සිටම ජනතාව ක්‍රමයෙන් සහලින් ඈත්කර තිරිඟුවලට හුරු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී තිබේ.
හාල් මිල වැඩිවීම සහ පාන් පරිභෝජනය ඉහළයාම සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමණායක මහතා මෙවන් අදහසක් පළ කළේය.“රටේ වගා නොකළ කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. දක්ෂිණ අධීවේගය දිගේ යද්දි කුඹූරු 90%ක්ම වගා කරලා නෑ. වතුරත් තියෙනවා. මිනිස්සු කන්නේ පාන්. පාන් ලාභයි, ඒත් මිනිස්සු ඉල්ලනවා කියලා දීලා හරියන්නේ නැහැ. දැන දැන වස කන්න දෙන්න බැහැ. බදු ගහලා හරි ඒවා පාලනය කළ යුතුයි. ලෝක යුද්දෙ කාලේ බජරි කාපු මිනිස්සු පාන් නොකෑව කියලා මැරෙන්නේ නැහැ. ආණ්ඩුව තියන වී ටිකත් කුකුල් කෑමට දීලා පාන් කවනවා. කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා  මුලින් වී වගා කරන්න එපා කියනවා. වතුර දෙන්නත් එපා කියනවා. ඊගාවට අම්මාලා සෞදියට විකුණලා පිටරටවලින් වී ආනයනය කරනවා. මේක ඇමරිකාවෙන් කරන සැලසුම්සහගත මෙහෙයුමකට හසුවීමක්. ඇමරිකාව අවුරුදු 50කට කලින් පාන්පිටි නිකන් දී මිනිස්සු පාන්පිටිවලට පුරුදු කළා. එදා රුපියල් හතර වෙනුවෙන් අද රුපියල් 150ක් ගෙවන්න සිද්ද වෙලා.
රටේ බත් පරිභෝජනයට වඩා ආනයනික පිටි පරිභෝජනය ඉහළ යාම ඇමරිකානුවන්ගේ සහ බහුජාතික සමාගම්වල උගුලක් බව සැබෑය. දේශීයත්වයට සුදුසු පරිදි හාල් හා හාල් පිටි නිෂ්පාදනය දිරිමත් කිරීම හා පිටි ආනයනය අධෛර්යමත් කිරීම රජයේ වගකීමයි. පිටි ආනයනය කරන සමාගම්වලට දෙන සහන කපා හැර ඔවුන්ගෙන් අමතර බද්දක් අයකර පාඩු ලබන ගොවියන්ට සහ කුඩා මෝල් හිමියන්ට දී ඔවුන් ශක්තිමත් කිරීම එක් වැදගත් පියවරකි. ඉන් ගොවියා ආරක්ෂා වන අතර වැඩිම බෝනොවන රෝග ප්‍රමාණයක් සඳහා අංක එකේ වගකියන්නා වන පාන්පිටි පරිභෝජනය අඩුවනු ඇත. එමගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කරන විශාල මුදලක් ද ඉතිරි වනු ඇත. එමෙන්ම රටපුරා වසංගතයක් මෙන් පැතිර තිබෙන කෙටි ආහාර, කඩකෑම හා චූන් පාන් සම්බන්ධයෙන් ද පැහැදිලි ප්‍රතිපත්තියක් රජයට තිබීම වැදග්ය. රටේ ආර්තිකය නිෂ්පාදනය හා සෞඛ්‍යය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනම එකක් මත එකක් රැඳී තිබේ. ඒවා නිසි පරිදි කළමණාකරණය කිරීම ජාතියක් වශයෙන් විශාල ජයග්‍රහණයකි. එකක් හෝ බිඳවැටුනහොත් සමස්තයම විනාශවීම වැළැක්විම උගහටය.

සකීෆ් සාම් තන්වීරි.



No comments:

Post a Comment