Thursday, August 4, 2016

කොළඹ හතට හෙන හත වදියි.


කොළඹ හත යනු ඉහළ පැලැන්තිකයන්ගේ වාස භූමියයි. කොළඹ හත හෙවත් කුරුඳුවත්ත ප්‍රභූ පැලැන්තිය ජීවත්වන නිහඬ භූමියකි. නමුත් අද හෙට එම ප්‍රභූ පැලැන්තිය මහපාරට පැමිණීමට සැරසෙති. ඒ කොළඹ නගරයේ හදවත බඳු රොස්මිඩ් පෙදෙස, බාන්ස් පෙදෙස, කේම්බ්‍රිච් පෙදෙස, වොඩ් පෙදෙස, ටොරින්ටන් චතුරස්‍රය ආදි ස්ථානවල ජීවත් වන ජනතාවගේ මානව හැඟීම්වලට අනුගත නොවන සංවර්ධනය විසින් ජනිත කළ අනපේක්ෂිත ගැටලුවකි. එනම් ඒ ප්‍රදේශයේ සාමාන්‍ය නිවාස අතර ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි, නිවාස සංකීර්ණ හා තවත් නොයෙක් ඉඳිකිරීම් නිසා එහි මෙතෙක් දශක ගණනාවක් ජීවත්වූ සාම්ප්‍රදායික නිවාස හිමිකරුවන්ගේ ජීවතය බාධාවක් වී ඇත.

ඩබ්ලියු. ඒ. සිල්වාගේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණ නම් වූ නවකතාවේ කුරුඳුවත්ත සසඳන්නේ ලන්දේසි හා ඉංගී‍්‍රසි යුගවල කුරුඳුවත්ත හා සමඟ ය. කාලයාගේ ඇවෑමෙන් කුරුඳුවත්ත ධන කුවේරයන්ගේ ප්‍රාසාද ඉදිවූ ප්‍රදේශය විය. 1922 දී ඩබ්ලියු. ඒ. සිල්වා දුටු කුරුඳුවත්ත මෑතක් වන තුරුම ඒ හැටි වෙනසක් වී තිබුණේ නැත. කොළඹ නගරය වුවද එහි අතිවිශාල තට්ටු ගෙවල් නැත. එහි ඇත්තේ ඉහළ ගෘහ නිර්මාණ තාක්ෂණයෙන් නිමවූ ඉංග්‍රීසි පන්නයේ නිවාස පමණි. වාතය ශබ්දය දූෂණය වී නැත. තදබයක් ඇත්තේ නැත. නිඬ පරිසරයකි. එහෙත් ඔහු එදා දුටු තුරඟ තරග පිටිය නම් අද එහි නැත. ඔහු දුටු මනහර පරිසරය ද නැත. ධන කුවේරයන්ගේ ප්‍රසාද නැත. ඒ වෙනුවට ඇත්තේ සුවිශල් ගොඩනැගිලිය. අහස උසට නැගෙන තට්ටු නිවාසය. මෙලෙස පෞරාණික වටිනාකමක් සහිත පැරැණි නිවාස මෙන්ම ඒ ප්‍රදේශයට ආවේණික පාරිසරික සාධක නසාගෙන මතුවන සංවර්ධනය තමන්ට ඉවසාගත නොහැකි බව කුරුඳුවත්ත ජනතාව මැසිවිලි නගති. සිය නිවාස අවට දැවැන්ත ඉඳිකිරීම් සිදුවෙද්දි පැරැණි නිවාස වලට විවිධ අලාභහානි සිදුවන බවත් තම එදිනෙදා ජීවිතයට එය බාධාවක් බවත් නිවැසියෝ චෝදනා කරති. ඔවුහු ඒ සම්බන්ධව බස්නාහිර පළාත් සංවර්ධන ඇමාත්‍යවරයාට පැමිණිල්ලක් ද කර තිබේ. ඒ සම්බන්ධව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අදහස් දක්වමින් කියා සිටියේ.

කුරුඳුවත්ත ප්‍රදේශය උද්‍යාන නගර සංකල්පය යටතේ තමයි තිබුණේ. ඒත් දැන් ඒ තිබුණ නගර සැලැසුම බිඳවැටිලා කියලා චෝදනා කරනවා. ඒ ප්‍රදේශයේ ඉදිවන විශාල ගොඩනැගිලි, තට්ටු නිවාස හා මාර්ග තදබදය නිසා සාම්ප්‍රධායික පදිංචිකරුවන්ගේ නිවාසවලටත් ඔවුන්ගේ ජීවිතවලටත් කලබලයක් ඇතිවෙලා කියලා මට පැමිණිල්ලක් කළා. කලින් තිබුණ නීති පද්ධතිය 2007දී ඉවත් කරලා තමයි වාණිජ කටයුතුවලට අවසර දීලා තියෙන්නේ. අපි සංවර්ධන කටයුතුවලදී අපේ උරුමයන් ආරක්ෂා කරගන්නත් වගබලා ගන්න ඕනේ.

කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉඳිවන තට්ටු නිවාස පද්දති හා අනෙකුත් ගොඩනැගිලි හේතුවෙන් සිය පරිසරයට මෙන්ම කෞතුක වටිනාකමක් ඇති පැරැණි ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බව එහි ජනතාව පවසති. මහල් පද්ධති ඉඳිකිරීමෙන් පැරැණි නිවාසවල බිත්ති ඉරිතලා හානි සිදුව ඇති අතර බොහෝ නිවාස අබලන්ව ඇති බවද ප්‍රදේශවාසීන් චෝදනා කරති. හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසූ වොඩ් පෙදෙස නිවසටද එවැනි හානියක් සිදුව ඇත. තම ප්‍රදේශයේ සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධන පිළිබඳව අදහස් දක්වන නම් හෙලි කිරීමට අකැමැති වොඩ් පෙදෙසේ පදිංචි ගෘහනිර්මාණ ශිල්පිනියක් ඉතා කණගාටුවෙන් මෙවන් අදහසක් ඉදිරිපත් කළාය.

මේ සිදුවන දේවල්වලින් හුගක් ප්‍රශ්න තියෙනවා. පොළව ගුරුගුරුගාලා වයිබ්රේට් වෙනවා. 1980 ගණන් වල නම් පර්චර්ස් 20කට වඩා අඩුවෙන් මේ ප්‍රදේශයේ කඩන්න තහනම්. දැන් මෙහෙ ඉඩම් පොඩි පොඩි කෑලිවලට කඩනවා. මේ විදිහට කරන්න හදන සංවර්ධනයෙන් ගස්, වතු සේරම විනාශ වෙලා යනවා. පරිසරයේ තියෙන පෙනුම නැති වෙලා යනවා. මෙහෙ ඉදිවෙන තට්ටු ගොඩනැගිලි නිසා අපේ පෞද්ගලිකත්වෙට හානියක්. කැමැති කැමැති අයට උස ගොඩනැගිලි ඉඳිකරන්න අවසර දෙන්න බෑ. මෙතැන්ට ගේන්න හදනවා තට්ටු හතලිහේ ගොඩනැගිල්ලක්. ඒක පොළවට දරාගන්නත් බැරිවෙයි. මේ සංවර්ධන කටයුතු හැම තැනම කරන්න බෑ. ඒවාට වෙනම ප්‍රදේශ තෝරගන්න ඕනෙ. යම්කිසි ප්‍රමිතිකරනයක් තියෙන්න ඕනෙ. අපි දියුණු වෙන ගමන් අපේ හොඳ දේවලුත් අපි ආරක්ෂා කරන්න දැනගන්න ඕනෙ.

තම නිවස අසල ඉදිව ඇති උස් ගොඩනැගිල්ල හා අවට ප්‍රදේශයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නම් හෙළිකිරීම අකැමැති නොරිස් කැනල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු චෝදනා මුඛයෙන් මෙසේ කතා කළේය. මෙතෙන කොංක්‍රීට්  ජාලයක් වෙලා. අපිට ඉන්න හම්බෙන් නෑ. මේක විශාල ප්‍රශ්නයක්. මෙතෙන දැන් හයිරයිස් බිල්ඩිම් (උස් ගොඩනැගිලි) ගණනාවක් එනවා. ලබන මාසෙ ග්‍රගරීස් පාරේ තට්ටු හතලිස් ගාණක බිල්ඩිමක් හැදෙනවා. මේකෙන් පරිසරයට ලොකු හානියක්. නමුත් මේවට පාරිසරික වාර්තාත් දීලා තියෙනවා. ඉස්සර මෙහෙ තට්ටු දෙකේ ගෙයකට තිබ්බ දෙවනි ගේ තමයි මගේ ගේ. ඒත් දැන් මෙහෙ පොඩිම ගේ අපේ ගෙවල්. මේ වෙනස නිසා පාරවල් ලොකු කරන්න වෙනවා. ලොකු වාහන තදබදයක් ඇතිවෙනවා. වැසිකිළි අපවහන පද්ධති පුලුල් කරන්න වෙනවා. වොඩ් පෙදෙසේ හතර පස්පොලක මේ විදිහට එපාර්මන්ට් හදනවා. 1980 දී මේ කුරුදුවත්ත පොළොන්නරුව වගේ‍. ඇලක් ගලාගෙන ගියා. කොක්කු එනවා මාලු අල්ලන්න. හැම තැනම තණකොල වැවිලා තිබුණා. කඳුවැටි වගේ තිබුණා. යතා කාලේදි සංවර්ධනය කියලා කොංක්‍රීට් පුරවලා දැම්මා. ඔක්කොම නැති වෙලා ගියා. දැන් හදන්නේ අපිවත් මෙහෙන් පන්නලා දාන්න. මෙහෙ හිටපු හුඟක් මිනිස්සු ගෙවල් විකුණලා දාල යන්න ගියා.

කොළඹ හත ප්‍රදේශයේ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තා වන නාගරික සංවර්ධන අධිකාරයේ සභාපති ජගත් මුණසිංහ මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසුවෙමු. ඕනෑම නගරයක් විකාශනය වෙනවා. ඉස්සර කොළඹ නගරය තිබ්බෙ කොටුවේ විතරයි. දැන් තියන කොළඹ හත වගේ ඉස්සර නිවාස තිබ්බෙ පංචිකාවත්ත, ග්‍රේන්ඩ්පාස්, මෝදර වගේ ප්‍රදේශවල. නමුත් නගරය විකාශනය වෙද්දි ඒවා සංවර්ධන භාවිතාවන්ට ගන්න වුණා. එතකොට ඒ ප්‍රදේශ වාසස්තානයට නුසුදුසු නිසා වෙනත් ප්‍රදේශවලට ජනතාව ගියා. දැන් කොළඹ හතත් නේවාසික තත්වයෙන් බැහර වෙලා වාණිජ ප්‍රදේශයක් වෙලා තියෙනවා. නගරය විකාශනය වෙද්දි මේ දේවල් සිද්ධ වෙනවා. මේ දේවල්වලින් අපි මිදෙන්න උත්සහ කිරීම රටේ ආර්තිකයට කරන ලොකු පාඩුවක්.

නාගරික සංවර්ධන අධිකාරය කරන්නේ නගර සැලසුම් කිරීම. 1980 සැලැස්මක් හැදුවා. ඒක 2008 යාවත්කාලින කළා. ඒ සැලැස්ම අපි මහජනතාවට ඉදිරිපත් කරළා දින හැටක් තිස්සේ ඔවුන්ගේ අදහස් විරෝධතා හා නිරීක්ෂණ ඉල්ලුවා. පත්තරවල අපි දැන්වීම් පළකළා. ඉන්පසුව ඒ වාර්තාව අනුව තමයි අපි සැලසුම ඇමතිවරයා හරහා ගැසට් කරලා නීතියක් හැදුවේ. ඒ සැලැස්මට අනුව වොඩ් පෙදෙසේ කොටසක් මිශ්‍ර සංවර්ධන කටයුතුවලට යන්න පුලුවන්. ඕනෙ උසකට ගොඩනැගිලි හදන්න පුලුවන්. ඉතිං කවුරු හරි ගොඩනැගිල්ලක් හදන්න අවසර ඉල්ලද්දි අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හේතුව නීතියක් තියෙනවා. අපි අනෙකුත් සාධකත් සළකා බලලයි අවසර දෙන්නෙ. ඒකට සමාන්තරව අපි මාර්ග තදබදයට විසුදුම, ජල සැපයුම, මලපහ අපවහනය, සඳහා කොළොම්බු මෙට්රෝපෝලියන් ව්‍යාපෘති ඇතුලු තවත් ව්‍යාපෘති කරනවා. ඒකේ පුංචි ප්‍රමාදයක් තිබුණත් දිගටම සිදුවෙමින් තියෙනවා. මේ දේවල් අපි කරන්නේ සංවර්ධනයට ඔරොත්තු දෙන්න. ඇත්තටම ප්‍රදේශවාසීන්ට අපහසුතාවයක් තියෙනවා. අපේ මේ ව්‍යාපෘතිය අවුරුදු තුනයි. අවුරුදු තුන ඇතුළත මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙයි. අපි විශේෂ නේවාසික කලාපයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒවායේ අපි තිබ්බ පෞරාණික පරිසරය සුරකිනවා. එහෙ කිසිම වෙනසක් කරන්න අවසර දෙන්නෙ නෑ.

මේ සංවර්ධන ගැටලුව කොළඹ ප්‍රධානම පුරවැසියන් හා පාලනධිකාරය අතර දෙපැත්තට දෝලනය වෙමින් තිබෙ. දෙපිරිස අතුරින් ඉස්මතුවන පාර්ශවය කවුදැයි කිව නොහැකිය. නමුත් සංවර්ධනය කටයුතු සිදුකිරීමේදි මෙවන් ප්‍රායෝගික ගැටලු මතුවිය හැකිය. එහෙත් එම ගැටලු සඳහා තිරසාර විසඳුමක් අවැසිය. එයට සංවර්ධනය වූ රටවල් පූර්වාදර්ශ කර ගත හැකිය. මේ ගැටලුව සඳහා අවසාන වශයෙන් ගන්නා විසඳුම කෙසේවේදයි කොළඹ හත ජනතාව පමණක් නොව මෙරට සෑම පුදගලයෙකුගේ අවධානය යොමු වී තිබේ.





සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment