Monday, March 13, 2017

මු.කොංග්‍රසය දෙකඩ විය.


පසුගිය සතියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රුස්වීම අවසන් වූයේ නැගෙනහිර පදනම් කරගත් නව දේශපාලන පක්ෂයක ආරම්භය සනිටුවන් කරමිනි. නැගෙනහිර වසන්තය යන නමින් සංවිධානය වී සිටි හසන් අලිගේ හිතවතුන් දේශපාලන පක්ෂයක් ලෙස මින් ඉදිරියට නැගෙනහිර පළාතේ තනිව තරඟ කිරීමට තීරණය කළේ උත්තරීතර මණ්ඩලයේ තීරණ කිහිපයකින් පසුවය. මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය වෙනස් කිරීමට ඔවුනට තිබූ සැලසුම ගිලිහී යාමෙන් පසු ජනතාවගේ ආශිර්වාදයෙන් මුස්ලිම් කොංග්‍රස පක්ෂ නායකත්වයෙන් හකීම් නෙරපීමට හසන් ආධාර කරැවන් මෙලෙස සටනට අවතීර්ණ වීමට තීරණය කළහ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පක්ෂය නායකත්වය අතර උග්‍ර ගැටලුවක් කාලයක් තිස්සේ පැවතුනි. පක්ෂ නිර්මාතෘ අෂ්රෆ් මහතාගේ මරණය සිට මුස්ලිම් කොංග්‍රස ඉතිහාසය තුළ අර්බුද ගණනාවක්ම ඇතිවිය. පක්ෂ නායක අෂ්රෆ් මහතා ඝාතනය වීමෙන් පසු පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුවූ ගැටලුවේ අෂ්රෆ් මහතාගේ බිරිඳගෙන් නායකත්වය උදුරාගැනීමට කටයුතු කළේ එවකට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ය. පක්ෂයේ ළදරැවියේ සිටම අභ්‍යන්තර බල අරගල සහ කුමන්ත්‍රණ ආරම්භ විය. ෆේරියල් අෂ්රෆ් මහත්මියට පක්ෂ නායකත්වය ලබා නොදී රවුෆ් හකීම් පක්ෂ නායකත්වයට පත්කිරීමට මුල්වී කටයුතු කළේ අතාවුල්ලා මහතාය. ඉන් අනතුරැව රවුෆ් හකීම් මහතා තම නායකත්වයේ බලතල ක්‍රම ක්‍රමයෙන් වැඩි කරගනිමින් තනි දේශපාලන පෞර්ෂයක් ගොඩනඟා ගනිමින් ප්‍රබල දේශපාලඥයෙක් බවට පත්වන්නේ පක්ෂය තුළ තමාට එල්ල විය හැකි සෑම අභියෝගයක්ම නිහඬ කරමිනි. එම නිසාම පක්ෂ නායකත්වයට හකීම්ව පත්කිරීමට කටයුතු කළ අතාවුල්ලාට පවා පක්ෂය හැර යන්නට සිදුවිය. පක්ෂයේ ප්‍රබල පෞර්ෂයක් වූ රිෂාඩ් බදුර්දීන්ද පක්ෂය හැරගියේ තවත් පිරිසක්ද සමගිනි. එතැන් පටන් මු.කො. ඉතිරිව සිටියේ අෂ්රෆ් මහතා සමග සිටි ජ්‍යෙෂ්ටයන් පමණි. ඔවුන් අතරින් පක්ෂය තුළ සිටිමින් පක්ෂ නායකත්වය සමග නිතර ගැටෙන්නට පක්ෂයේ මහලේකම් ලෙස සිටි ප්‍රබල ක්‍රියාකාරියෙක් වූ හසන් අලි මහතාට සිදුවිය.
රාජපක්ෂ සමයේ මුස්ලිම්වරැන්ට එල්ල වූ බලපෑම් ඉදිරියේ මු.කො. මුනිවත රකිද්දි හසන් අලි මහතා කීවේ මු.කො. ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. එ විතරක් නෙවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු මහලේකම් නවනීදන් පිල්ලේ මෙරට පැමිණි අවස්ථාවක මුස්ලිම් ජනතාව මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් පක්ෂ නායකයාගේ අවසරයෙන් තොරව ඔහුට භාර දුන්නේය. එම සිද්ධියෙන් කෝප වූ හිටපු ජනාධිපතිවරයා පක්ෂ නායක රවුෆ්ට දොස් නැගුවේය. එ වගේම මුස්ලිම් ජනතාවගේ ඉඩම් ගැටලු, කරෛයෝර මාවට්ට දිස්ත්‍රික්ක වැනි කරැණු සම්බන්ධයෙන් හසන් අලි මහතා තනිව පෙනී සිටීම නිසා මුස්ලිම් කොංග්‍රස ආධාරකරැවන්ගේ පිළිගැනීමට හා ආදරයට ලක් විය. නමුත් හසන් අලිගේ ක්‍රියාකාරකම් රවුෆ් හකීම් මහතාට හිසරදයක් විය. පක්ෂයේ තමන්ට අභියෝගය කරන තර්ජනය කරන ප්‍රතිරෑපයක් ගොඩනැගී ඇතිවග වටහාගත් හකීම් මහතා වහාම එම හඬ නිහඬ කිරීමට අවශ්‍ය සැලසුම් යෙදුවේය. අවසානයට පැවැති 2015 මහමැතිවරණයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙපළක් මෙන්ම වසර ගණනාවක් ඇමැති ධූර හෙබවූ හසන් අලි සහ බසීර් ෂේගු දාවුද් යන දෙපළට නාම යෝජනා නොදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිරිනැමීමට හකීම් පොරොන්දු විය.
නමුත් පොරොන්දු වූ පරිදි දෙදෙනාගෙන් කිසිවෙකුටත් ජාතික ලැයිස්තු ධූරය රවුෆ් හකීම් නුදුන්නේය. අදවනතුරැම මු.කො. ජාතික ලැස්තු ධුරය ගැටලුකාරී තත්ත්වයක තිබේ. එ අතරවාරයේ පක්ෂයේ ප්‍රබල භූමිකාවක් මහලේකම් ධුරය හරහා හසන් අලි මහතා අත තැබීමත් නායකත්වයට තර්ජනයක් යැයි සිතූ හකීම් මහලේකම් ධුරයේ බලතල කප්පාදු කළා පමණක් නොවේ තවත් ලේකම් ධුරයක් ව්‍යවස්ථාවෙන්ම ඇති කළේය. එම තනතුරට තම හිතවතෙක් වන මන්සූර් එ කාදර්ව පත් කළේය. එම මහලේකම් ධුරය පත්කීරීමේ බලය, ඉවත් කිරීමේ බලය පක්ෂ නායකයා සතු කරගත්තේය. එම මහලේකම් ධුරය දරන්නාට මැතිවරණ අපේක්ෂකත්වය ඉල්ලීම හෝ පාර්ලිමේන්තු ධුරයක් ඉල්ලිය නොහැකි යැයි ද කීවේය. හකීම්ගේ මෙම හදිසි තීරණය අලු යට ගින්දර මෙන් පැවැති අභ්‍යන්තර ගැටලු උග්‍ර අතට හැරැණේය. පක්ෂ උත්තරීතර මණ්ඩල සාමාජිකයන් නායකත්වය ප්‍රශ්න කළහ. වහාම එම සාමාජිකයන් නායකත්වයට එරෙහි කුමන්ත්‍රණ කළ බව පමසමින් උත්තරීතර මණ්ඩල රුස්වීමට පැමිණීම පක්ෂ නායක රවුෆ් හකීම් තහනම් කළේය. 90 දෙනෙකුගෙන් යුත් උත්තරීතර මණ්ඩලයට පක්ෂයේ තීන්දු තීරණය සම්බන්ධයෙන් අවසාන ඉලය තිබේ. එහෙත් එම මණ්ඩලයේ 60කට අධික ප්‍රමාණයක් හකීම් සිය හිතවතුන්ගෙන් පුරවා ගැනීමට සමත්ව තිබේ.
ප්‍රසිද්ධ දේශපාලනයේ මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු සේ හැසිරෙනි හකීම් පක්ෂය තුළ ඒකාධිපතියෙකි. පක්ෂයේ සෑම බලයක්ම තමා අතට පත්කරගනිමින් අධිකාරි බලයක් ලබාගැනීම හකීම්ගේ අරමුණ එකම විය. නමුත් බල ලෝබයෙන් උද්දාමය වී සිටි හකීම්ට එරෙහිව එල්ල වූ බලපෑම් ඉදිරියේ අභ්‍යන්තර ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගැනීමට සිදු විය. ඒ සඳහා විවිධ සාකච්ඡාවන්ටද සහභාගි වන්නට සිදු විය. එම සාකච්ඡාවන් අවසන් වූයේ නැවතත් හසන් අලි මහතා සියලු බලතල සහිත මහලේකම් ධූරයට පත් කළ යුතු බවත් ජාතික ලැයිස්තු ධූරය ලබා දිය යුතු බවත් පවසමිනි. මහලේකම් ධූරය පැවැති පක්ෂ මහසමුලුවේදී අලි මහතාට පැවරීමට නියමි විය. නමුත් අවසානයේදී තීරණය වූයේ පක්ෂයේ ලේකම් ධුරයේ තවදුරටත් කාදර් එ මන්සූර්ව තබා පක්ෂ සභාපතීත්වය හසන් අලිට පැවරීමටය. එම තීරණයට එකඟ නොවූ හසන් අලි පක්ෂ සභාපතීත්වය ප්‍රතික්ෂේප කර උත්තරීතර මණ්ඩල රුස්වීමෙන් ඉවත් විය. ඔහුගේ මූලිකත්වයෙන් යුතුව නැගෙනහිර උදානය සංවිධානය නැගෙනහිර බලය අල්ලා ගැනීමේ සටන ආරම්භ කිරීමේ වෙඩි මුරය පත්තු කළේය. ඔහු මුස්ලිම් කොංග්‍රසයේ 27වන මහ සමුළුවටත් සහභාගි නොවීය.
හසන් අලීට පොරොන්දු වූ ජාතික ලැයිස්තු ධූරය ලබා දීමට නිර්දේශ වූයේ ජනවාරි 09 දිනය. එමෙන්ම දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොබවන එම්.එච්.එම්. සල්මාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට පොරොන්දු වූ ලිපියක් ද හසන් අලි මහතාට පිරිනමන ලදි. නමුත් දැන් සල්මන් මහතා මන්ත්‍රී ධුරයන් ඉල්ලා අස්නොවන බව පවසයි. එම ධුරයෙන් ඔහු ඉල්ලා අස්නොවන තුරැ අලි මහතාට එම ධුරයට පවා පත්විය නොහැකිය. මේ තත්වය තුළ හසන් අසරණයෙකු වී සිටි. පසුගිය දශක දෙක පුරා පක්ෂයේ සූක්ෂම සැලසුම් සියල්ල සැලසුම් කළේ පක්ෂයේ පතාක යොදයෙකු වූ හසන් ය. හකීම් මුහුණ දුන් සෑම අර්බුදයකම හසන් හකීම්ගේ පැත්ත ගත්තේය. එහෙත් මෙවර මැතිවරණයෙන් පසු තම දේශපාලන හිතවතාට පොරොන්දුව ඉටු කිරීම හකීම් ඕනෑකමින්ම මගහැරීය යැයි සිතීමට ප්‍රමාණවත් සාධක ඇත.
ඉතිහාසයේ කිහිප අවස්ථාවකම ජාතික ලැයිස්තු ධුර සම්බන්ධයෙන් ගැටුම් ඇතිව තිබේ. මැතිවරණයක් පවත්වා අවසන් වෙද්දී සන්ධානයන්වල ප්‍රධාන පක්ෂ කේවල් කරමින් ජාතික ලැයිස්තුවක් තම පක්ෂයට දිනාගැනීමට සෑම පක්ෂයක්ම තරග කරයි. අනතුරැව ඒ ඒ පක්ෂ තමන් ලබාගත් ජාතික ලැයිස්තු ධුරය කුමන අපේක්ෂකයාටද දෙන්නෙ යන්න සම්බන්ධයෙන් තවත් අර්බුධයකට මුහුණ පාන අතර එහිදි මූලිකත්වය හිමිවන්නේ පක්ෂ නායකත්වයට හිතවත්ම තැනැත්තාටයි. 2015 මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් පෙරමුණ සමග සන්ධානගතව සිටි අතර එම සන්ධාන ජාතික ලයිස්තු අනුපිළිවෙලේ හසන් අලි, නිසාම් කාරියප්පර් යන මුස්ලිම් කොංග්‍රස් ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාටත පිටුපසින් සිටි නීතීඥයෙකු වන සල්මාන්ට එම ධූරය දෙන ලද්දේ පක්ෂ නායක හකීම් විසින්ම. ඒ එක් අවුරැද්දකට පමණක්ය යන පොරොන්දුව පිටයි. නමුත් අද එය බොරැ පොරොන්දුවක් බවට පත්වූයේ සල්මාන් මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. සල්මාන් මහතා මෙන් නිහතමාන දේශපාලන චරිතයක් එවැනි තීරණයකට එළඹෙතැයි සිතිය නොහැකිය. ඇතැම්විට නායකයාගේ බලපෑම මත ඔහු එම තීරණයට එළඹුණා විය හැකිය. කෙසේ වෙතත් අලි මහතාට දීමට පොරොන්දු වූ මන්ත්‍රී ධූරයවත් ඉදිරියේදී හිමි වේ දැයි සැක සහිතය.
අපට ලැබුණු තොරතුරැ අනුව පක්ෂ සමුලුවේදී පක්ෂ මහලේකම් ධුරය සහ අලුතින් නිර්මාණය කළ ලේකම් ධුරය යන දෙකම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට හකීම් පාක්ෂිකයන් තීරණය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාවක්ද කොළඹ දී පවත්වා ඇති අතර ඒ සඳහා නැගෙනහිර පළාත් උත්තරීතර මණ්ඩල සාමාජිකයන් සහභාගි කරගෙන නොතිබුණි. අෂ්රෆ් මහතා පක්ෂය නිර්මාණය කරද්දි පක්ෂයේ අනාගතයේ සිතමින් බලතල සහිත මහලේකම් ධූරයක් නිර්මාණය කළේ පක්ෂය තුළ ඒකාධිපති නායකයෙක් බිහිනොවිය යුතුය යන අරමුණු ඇතිවය. නමුත් හකීම් එ බාධක එකින් එක ඉවත් කරමින් තමා වටා බලය සංකේන්ද්‍ර කරගැනීමට සමත්ව ඇත. සමුලුවේදී මහලේකම් ධූරයට නිසාම් කාරියප්පර් පත්කිරීමට සැලසුම් කර තිබුණි. ඒ අනුව හසන් අලිව නිහඬ කිරීම පහසුවනු ඇතැයි හකීම් සිතන්නට ඇත. මෙම තොරතුරැ හසන් අලි දැනගැනීම හේතුවෙන් සිය සැලසුම් වෙනස් කිරීමට හකීම්ට සිදු විය. ඒ අනුව බෂීර්ව පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසු හිස්වන පක්ෂ සභාපතීත්වය හසන්ට දී සැනසීම ඔහුගේ අරමුණ විය. කෙසේ නමුත් පක්ෂය සම්බන්ධයෙන් පාක්ෂිකයන් අතර පවතින විශ්වාසය දැන් පලුදු වී හමාරය.
මු.කො. තුළ හසන් අලිට අමතරව බෂීර් සේගුදාවුද් මතු කළ පක්ෂයේ දේපළ සම්බන්ධ තොරතුරැ හා චෝදනාවන්ද පක්ෂ නායකයා සම්බන්ධයෙන් අර්බුධයක් නිර්මාණය කර තිබේ. බෂීර් සේගු දාවුද් මහතාටද පොරොන්දු වූ ජාතික ලැයිස්තු ධුරය නොදීම නිසා ඔහු මෙතෙක් පක්ෂය සම්බනධයෙන් අනාවරණය නොකළ කරැණු ප්‍රසිද්ධියේ කියමින් පක්ෂ නායකත්වයට දෝෂාරෝපණ නගමින් සිටියි. එම චෝදනාවන් ප්‍රසිද්ධියේ නොපවසා උත්තරීතර මණ්ඩලයට ඉදිරිපත් කළොත් පිළිතුරැ දෙන බව හකීම් සහ හකීම් හිතවත්තු පැවසූහ. එම චෝදනාවන් උත්තරීතර මණ්ඩලයට බෂීර් ඉදිරිපත් කරද්දී උත්තර මණ්ඩලයේ හකීම් පාක්ෂිකයන් හූ කියමින් බාධා කළහ. බෂීර් කතාව නවතා රුස්වීමෙන් ඉවත් විය. කෙසේ වෙතත් පක්ෂ දේපල සම්බන්ධයෙන් බෂීර් ඉදිරිපත් කළ චෝදනා පක්ෂ සාමාජිකයන් පිළිනොගත්තද ජනතාව තුළ කසුකුසුවක් ඇති කර තිබේ. එම නිසා එවාට පිළිතුරැ නොදී පක්ෂ නායකයාට ලිස්සා යා නොහැකි තත්වයක් උදාවී ඇත. මේ චෝදනාවන් ඉදිරීයේ හකීම්ගේ උත්තරය වී තිබුණේ බෂීර් කියන හැම දෙයකටම තමාට පිළිතුරැ දිය නොහැකි බවයි. ජනතා කේන්ද්‍රීය පක්ෂයක් වීමට පක්ෂ නායකයා මේවාට පිළිතුරැ දීම වැදගත්ය.
බෂීර් සේගු දාවුද් මහතාගේ ක්‍රියාකලාපය නිසා පක්ෂයෙන් නෙරපීමට උත්තරීතර මණ්ඩලය තුළ යෝජනා විය. පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද ඇති වීමට හේතුව සේගු දාවුද් මහතා පක්ෂ නායකත්වය විවේචනය කරමින් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විවිධ ප්‍රවෘති පළ කිරීම බවත් ඔවුහු චෝදනා කරයි. එම නිසා සේගු දාවුද් මහතා පක්ෂයෙන් නෙරපීමටත් පක්ෂයේ ඉහළ තනතුරැ ගණනාවක වෙනස්කම් සිදු කිරීමටත් උත්තරීතර මණ්ඩලයේ දී තීරණය විය. සේගු දාවුද් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වුවත් මුස්ලිම් කොග්‍රසය ප්‍රතිව්‍යූහගත කිරීම ඔහුගේ එකම අභිලාෂය යැයි පවසා සිටියේය. නමුත් බෂීර්ව පක්ෂෙන් දොට්ට දමා තිබිය දී කෙසේ පක්ෂය ප්‍රතිව්‍යූහගත කරනු ඇත්දෙයි සිතිය නොහැකිය. එමෙන්ම බෂීර් සහ හසන් අතරත් තවමත් එකඟතාවක් නැත. ඔවුන් දෙදෙනාගේ පොදු සතුරා හකීම් වුවද හසන් සහ බෂීර් අතරත් තරගයක් තිබේ. ඒ ජාතික ලයිස්තු ධූරය නිසාය. දෙදෙනාම හිස්වන ජාතික ලයිතු ධූරයට කුරැමානම් අල්ලමින් සිටියවුන් නිසා දෙදෙනා අතර ද ප්‍රතිවිරෝධයක් තිබේ. කෙසේ වෙතත් දැන් දෙදෙනාම පොදු සතුරාට එරෙහිව සටන් කළ යුතුය. එබැවින් නුදුරේ දීම හසන් සහ බෂීර් නැගෙනහිර උදානයට නායකත්වය දෙනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස රිෂාඩ් නායකත්වයෙන් යුත් පක්ෂයට පුත්තලම, මන්නාරම හා වව්නියාවේ බලයත්, හසන් හා බෂීර්ට අම්පාර හා මඩකලපුවේ බලයත් හිමිවෙද්දි, තව්ෆීක් මන්ත්‍රීවරයා නියෝජනය කරන යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණට මුතූර් හා කින්නියාවේ බලය හිමි වනු ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බලය තීරණය වනු ඇත්තේ මහනුවර, කොළඹින් සහ අනෙකුත් දිස්ත්‍රික්කවලින් ලබා ගන්න ඡන්ද වලිනි. එහිදීද සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ප්‍රධාන පක්ෂ අතර හා අසාද් සාලිටත් බෙදී යන නිසා ඉදිරියේදී මුස්ලිම් කොංග්‍රසය දැඩි පසුබෑමකට මුහුණ පෑමට සිදුවනු ඇත.
අෂ්රෆ් මහතාගේ කාලය කිසිදු පාක්ෂිකයෙක් පක්ෂයෙන් මු.කො.යෙන් ඉවත් වී පක්ෂයට අභියෝග නොකළ අතර හකීම්ගේ නායකත්වයෙන් පසු පක්ෂය කල්ලි කණ්ඩායම් කිහිපියකට කැඩී ගියේය. අද වන විට මුස්ලිම් කොංග්‍රසය සහමුලින්ම විනාශ කර දමන ප්‍රබල ශක්තියක් බවට එසේ කැඩී ගිය කණ්ඩායමක් නිර්මාණය වී හමාරය. පසුගිය කාලයේ මු.කො. මුහුණු දුන් සෑම ගැටලුවක් පිටුපසම පක්ෂ නායකත්වයේ බල ඒකාධිකාරය සඳහා වූ මෙහෙයුම් තිබූ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. එමෙන්ම අෂ්රෆ් මහතා පක්ෂය ආරම්භ කරනවිට පක්ෂය තුළ ප්‍රදේශවාදයක් හො පුද්ගලවාදයක් නොතිබුණි. නමුත් අද මු.කො. ප්‍රදේශවාදි පුද්ගලවාදි පටු පක්ෂයක් බවට පත්ව හමාරය. අෂ්රෆ් අපේක්ෂා කළ ජාතික අරමුණුවලින් අද මුස්ලිම් කොංග්‍රසය බැහැරව ගොසිනි. පක්ෂ නායකත්වය මෙන්ම ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සියලු දෙනම පටු අරමුණුවලට කොටුව ජාතික අභිලාෂයන් නියෝජනය නොකරන අෂ්රෆ් මහතා පක්ෂය අරම්භ කළ අවංක ප්‍රතිපත්තිවලින් බැහැර වී ඇති බව පැහැදිලිය.


සකීෆ් සාම් තන්වීරි

No comments:

Post a Comment