Monday, July 18, 2016

නැගනහිර මහඇමතිකිගේ ගොන්පාට්

නැගනහිර මහඇමතිකිගේ ගොන්පාට්

ධූරාවලි අනුපිළිවෙල දන්නෙ නැත්තන් එළියට පළයං මෝඩයා. මාව නවත්තන්න තමුසෙ කවුද? ධූරාවලි අනුපිළිවෙල දන්නවද? ආණ්ඩුකාරයා දන්නෙත් නෑ.  ආදි වචන භාවිත කරමින් නැගනහිර මහඇමතිවරයා නාවික හමුදා නිළධාරියෙකුට බැණවැදින අයුරු දැක්වන වීඩියෝ දර්ශනයක් මාධ්‍යයට නිකුත්විය. නැනගනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් මහතා නාවික හමුදා සාම්පූර් කඳවුරු භාර නිළධාරී කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතාට හා නැගනහිර පළාත් අග්‍රාණ්ඩුකාර ඔස්ටින් ප්‍රානාන්දු මහතාට ඉතා පහත් ලෙස බැණ වැදී ඇත්තේ පහුගිය 20වන සාම්පූර් විදුහලේ පැවැති පාසල් උපකරණ බෙදාදීම උත්සවයකදීය. මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අර්බුධයක් මතුව තිබේ. කපිතාන්වරයාගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම උත්සවයට ආරාධිත අමුත්තන් ලෙස ඇමරිකානු තානාපති අතුල් කෝෂප් මහතාද සහභාගී වී ඇති අතර උත්සවයට සහභාගී වූ පිරිස්ද මහඇමති බැණවදින අයුර දැක ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයෙන් අපි මතවිමසුමක් කළෙමු.

නැගනහිර පළාත් මහඇමති නසීර් අහමඩ්.
මෙතැන්දී ජනතාව විසින් තොරගත්ත මහඇමතිගේ ගෞරවය නැතිකරළා දැමීමක් සිද්ද වුණේ. ඒකට ඉඩ දෙන්න බෑ. අපි කින්නියාවේ පෝමිට් දීමේ වැඩක් නිරීක්ෂණයට ගිහිං හිටියා. එහෙදීත් මටත් පළාත් අධ්‍යාපන ඇමතිටත් ප්‍රොටොකෝල් උල්ලංඝනය කරලයි තිබ්බේ. හිටපු මහඇමතිවරයාට පවා එතුමාගේ ගමේ දේශනයක් කරන්න දුන්නේ නෑ. ඒ බව පෙන්නලා දීලත් අවස්ථාව දුන්නෙ නෑ. ප්‍රොටොකෝල් එකේ ආණ්ඩුකාරතුමාගේ නමට පස්සේ දාලා තිබ්බෙ ඇමරිකානු තානාපතිගේ නම. ඒ අනුපිළිවෙලට තමයි දේශනත් සිදු උණේ. අපේ ජනතාව ඉස්සර අපේ ගරුත්වය කියන දේ වැදගත්. ජනතාව ඉස්සරහ අපිව අගෞරව කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගෞරව කිරීමක්. අපි ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් තෝරාගත් නියෝජිතයෝ. ඒ හැම එකක්ම ඉවසගෙන තමයි අපි සාම්පූර් ත්‍යාග ප්‍රධාන උත්සවයටත් ගියේ. ඒ අය ආවේ චොපර්වල. අපේ නිළධාරීන් පවා ආවේ චොපර් එකේ. අපි අපේ වාහනේ තමයි ගියේ. එහෙදීත් වේදිකාවේ මේ පිළිවෙළට තමයි හැම දෙයක්ම සිදුවුණේ. ආණ්ඩුකාරවරයා, ඊටපස්සේ තානාපතිවරයා, ඊටපස්සේ තමයි මහඇමති. මේක අපිට අපේ පළාතේ ලොකු අගෞරව කිරීමක්. ඒත් ඒවා ගැන අපි ලොකුවට ගත්තෙත් නෑ. ඊට පස්සේ ත්‍යාග ප්‍රධානයට ගරු ආණ්ඩුකාරතුමාව සහ තානාපතිවරයා වේදිකාව ආරාධනා කළා. ඒ වෙලාවේ මමයි අධ්‍යාපන ඇමැතියි හිටියේ ඒ වේදිකාව ඉස්සරහ. අපි දෙන්නගේ නම කිව්වෙ නෑ. ඒක වුණත් අපිට ගැටලුවක් නෙවෙයි. ඒ වෙලාවේ ආණ්ඩුකාරතුමා අපිට වේදිකාවට එන්න සංඥා කළා. ඒ හින්දා අපි වේදිකාවට ගියා. ඒ යද්දි එතන හිටපු නාවික හමුදා නිළධාරි ජනතාව ඉස්සරහා මාව වළක්වපු එක තමයි ගැටලුව වුණේ. කොහොමද ඒක ඉවසන්නේ? මම ඒ වෙලාවේම ඒක ඒ නිළධාරිට පෙන්නලා දුන්නා. ඒයත් සමාව අරගෙන පිළිගත්තා. මට පුද්ගලිකව ඒ නාවික හමුදා නිළධාරිතුමා සමඟ තරහක් නැහැ. මම කතාකරපු එක එයාට රිදුන නම් මම සමාව ගන්නවා. මේක හදිසි සිදුවීමක්. සැලසුම් කරළා කරපු දෙයක් නෙවෙයි. නමුත් මාව සැලසුම් කරළා අගෞරව කළා. මේකේ වගකීම ගන්න ඕන ආණ්ඩුකාරතුමා. එයා තමයි ඒකෙ සංවිධායක. එයා අපේ නම් කියල කතා කළා නම් ඒ නිළධාරි අපිව නවත්තන්නෙ නෑ. අපිට සළකපු විදිහ ඇමරිකානු තානාපතිතුමාත් බලාගෙනයි හිටියේ. මම බැන්නේ ආණ්ඩුකාරවරයාට. එයත් ප්‍රොටොකෝල් දන්නෙ නෑ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර - ඔස්ටින් ප්‍රනාන්දු.
නිවේදකයා නම කියල අඬනොගහපු මහඇමතිව මමයි අඬගැහුවේ. එහෙම කරපු මට එයා බනිනවා ප්‍රොටොකෝල් දන්නෙ නැහැ කියලා. එතුමාට ආරාධනා පත්‍රයක්වත් නොලැබෙන තත්වයකයි හිටියේ. මමයි මැදිහත්වෙලා ආරාධනා පත්‍රයක් දුන්නේ. එහෙම කරපු මටයි ප්‍රෝටොකෝල් නැහැයි කියන්නේ. ප්‍රෝටොකෝල් නැත්තං එහෙම කියාවිද? බුදු දහමේ කතාවක් තියෙනවා මෙහෙම. බුදුහාමුදුරුවන්ට බමුණෙක් ඇවිත් හොඳටම බණිනවා. බැනලා ගියාහම ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අහනව මෙච්චර අපහස කරළත් ඇයි ඔබවහන්සේ කිසිවක් නොකිව්වේ කියලා. එතකොට කියනවා ඒක මට අදාල නෑ, එයා මට දුන්න දේ මං බාරගත්ත නැතිවුණාම ඒක එයා ලඟ ඉතුරුවෙනවා කියලා. ඒකයි මෙතනත් වුණේ. මහඇමති ප්‍රෝටොකෝල් දන්නවා නම් ආණ්ඩුකාරවරයෙක්ට බණින්නෙ නෑනේ. මම එයාට වඩා ඉහළින් නේ ඉන්නේ. ත්‍යාග ප්‍රධානෝත්සවය සංවිධානය කළේ ඒ පාසලේ විදුහල්පතිවරයා. මූල්‍යම දායකත්වය සැපයුවේ නාවික හමුදාව. මම අමුත්තෙක් විතරයි. ඒ හින්ද මට සංවිධාන කටයුතුවලට ඇඟිලි ගහන්න අයිතියක් නෑ. ඒ නාවික හමුදාවේ නිළධාරිට බැණපු එකත් සාධාරණ නෑ. ඒ නිළධාරිට බණින්න තරම් හේතුවක් තිබ්බද කියල අහන්න ඕනෙ මහඇමතිගෙන්මයි. ඉතිං මහජනතාව තීරණය කරයි එයා කරපු දේ හරිද වැරදිද කියලා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්රම් අලවි.
මේ සිද්ධිය සම්බන්ධව නාවික හමුදාපතිතුමා විධිමත් රහස් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යංශයට යොමු කරළා තියෙනවා. ඒ අය නිසි කටයුතු සිදුකරයි. ඒ හින්දා ඒ ගැන කිසිම දෙයක් කියන්න අපිට බැහැ. ඊට අමතරව මහඇමති නසීර් මහතාට නාවික ඳවුරුවලට හෝ ආයතනවලට ඇතුල් වෙන්න තහනම්. ඊට අමතරව මහඇමැති පවත්වන රැස්වීම්ලට හෝ උත්සවවලට නාවික හමුදා නිළධාරීන් සම්බන්ධ වෙන්නෙත් නෑ. මේක නාවික හමුදාව විතරක් නෙවෙයි ත්‍රිවිද හමුදාවම ක්‍රියාත්මක කරනවා. මේක ත්‍රිවිද හමුදාව ගත්ත තීරණයක්.

ආරක්ෂක ලේකම් ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටි ආරච්චි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ සිද්ධියට අදාල නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ආරක්ෂක ලේකම්වරයාට වාර්තාවක්ද භාරදී තිබෙනවා. එම වාර්තාව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයාටත් භාර දී තිබෙනවා. සිද්ධිය වූ අවස්ථාවේ එම නාවික හමුදා කපිතාන්වරයා විනයගරුකව ඉවසිලිවන්තව එයට මුහුණ දීම පිළිබඳව ප්‍රසංසා කරනවා.

හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ.

මීට කලින් අවස්ථාවකදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් ගැන ආන්දෝලනයක් ඇති වූ විට, ආණ්ඩුව එය සුළු සිද්ධියක් ලෙස හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටියේය. දැන් මේ ඊට සමාන දෙවැනි සිද්ධියයි. උතුරේ සිදු වීමත්, සාම්පූර්වල සිදුවීමත් යන දෙකම ලංකාවේ මොන පළාතකවත් සිදු නොවිය යුතු සිදුවීම් ය. මොන පළාතකවත් දේශපාලනඥයන් පූර්ව අවසරයක් හෝ දැනුම්දීමක් නොමැතිව හමුදා කඳවුරකට ඇතුළු නොවිය යුතුය. මොන පළාතකවත් දේශපාලනඥයන් ආරක්‍ෂක හමුදා නිළධාරියෙකුට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ වේදිකාවේ දී කථා කළ ආකාරයට කථා නොකළ යුතුය. 

මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරාගත් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට මේ ආකාරයට දේශපාලන බළධාරීන් විසින් සිතා මතා අවමන් කිරීම නතර විය යුතුය. මේ නවතම සිද්ධිය පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමීමේ වැඩපිළිවෙළේ තවත් අදියරක් දැයි සාධාරණ සැකයක් අපි තුළ ඇති වී තිබේ. කලින් උතුරේ ඇති වූ සිද්ධියත් සුළු කොට පෙන්වා යට ගැසූ ආකාරයට සාම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. 

නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය ගැන විධිමත් ලෙස සොයා බලා මෙවැනි සිද්ධීන් නැවත ලංකාවේ මොන පළාතකවත් ඇති නොවන තැනට වග බලා ගැනීම ආණ්ඩුවේ යුතුකම වේ.


මේ සිද්ධිය සම්බන්ධයෙන් නැගනහිර මහඇමති නසීර් අහමඩ් නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ සභාපති බෂීර් සේගුදාවුද්ගෙන් පක්ෂයේ ස්ථාවරය විමසුවෙමි. ඒ මහතා පවසා සිටියේ “මේ සම්බන්ධව මං මොකුත් කියන්නෙ නෑ. කියන්න අයිතියකුත් මට නෑ. මේ ගැන පක්ෂ මහලේකම් හසන් අලීගෙන් නැත්තං පක්ෂ නායක රවුෆ් හකීම්ගෙන් අහන්න.” ඒ අනුව පක්ෂ මහලේකම් හසන් අලි මහතාගෙන් විමසුවෙමු. “මේක අහන්න ඕන නායකතුමාගෙන්. එයානේ මාධ්‍ය ප්‍රකාශක. අපිට මේ ගැන කිසිම දෙයක් කියන්න බෑ.” අනතුරුව අපි පක්ෂ නායක රවුෆ් හකීම් මහතා සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සහ කළත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

සකීෆ් සාම් තන්වීරි

No comments:

Post a Comment